25 Jul 2012

සිරිවර්ධන බුදුදහමින් නිවන් ගිය සීයාගේ බීම කඩේ.


                                     
                              අපි ඉස්කෝලේ ඇරිලා බස් එක එනකන් හිටපු හංදියේ ලොකුම කොල්ලෝ ටික තමා අපි. බස් අජිත් ඒ මල්ලි නිශාන්ත ,රොෂාන් මම. අපි තමා හිටපු එකම දිග කලිසම් කාරයෝ. අනිත් උන් පොඩි උන් නිසා උන්ගේ වැඩ ලාමක නිසාත් අපි උන්ව ගණන ගත්තේ නැහැ ඒත් පස්සෙනුත් ආවා. කාලේන් කාලෙට අපි බස් එක එනතෙක්‌ හිටපු තැන් සැරින් සැරේ මාරු කළා. මේ කාලේ අපි හිටියේ සියාගේ කඩේ. සීයාගේ කඩේ කියන්නේ හංදියේ තිබුණු ටොෆි බිම බෝතල් කෑම ජාති තිබුන පොඩි කඩයක්. මේක කලින් ආත්තගේ කඩේ. ආත්තා මියගියාට පස්සේ අපි කිවුවේ ආත්තා හිටපු සීයාගේ කඩේ කියල. නම දිග වැඩි වචනෙත් පොඩ්ඩක් පැටලෙන ගතිය වැඩි පස්සේ ලොකු එකා ඉඳල පොඩි එකා දක්වා හැමෝම කිවුවේ සීයාගේ කඩේ කියලා.


මම එක වසරට බාර දුන්න දවසේ ඉඳල මේ කඩේ හොඳට මතකයි. අවුරුදු ගානකට සැරයක් පොඩි තීන්ත පාරක් දැල් වටේ ගෑවට සමහර බඩු ඇන්ටික් වෙලා. බිස්කට් පැකට් වල පාට පාට කවරය තනි සුදු පාටට හැරිලා. මේ කඩෙන් මම මුලින්ම ටෝෆියක් හොරෙන් කෑවේ එක වසරේදීමයි. ඒ ප්‍රසාද් ගේ හැකියාවෙන්. ප්‍රසාද් කියන්නේ මම එක වසරට බාර දුන්නු වෙලේ මගේ වම් පැත්තේ පුටුවේ හිටපු කෙනා. ලේනෙක් අඳින්න කියපු වෙලේ මගේ පොතේ නරියෙක් ඇඳලා නරියට ලේනා කියපු  ප්‍රසාද් ගේ ආත්තමගේ කඩේ තමා  මේ.  අපි දෙන්න ඉස්කෝලේ ඉවර වුන ගමන්  කඩේට ගියාම ආච්චි අහක බලද්දීම බෝතලෙන් ටොෆි ගන්නේ අනුන්ගේ කඩේකින් හොරෙන් ගන්න විදියට. නිකන් ලැබෙන ටොෆිය කන්න මම හැම දාම ප්‍රසාද් එක්ක යන්න පුරුදු වෙලා හිටියේ මටත් නොදැනීමයි. ටික කාලයක් යද්දී  ඒ පුරුද්ද නැති වෙලාම ගිය.


මේ ආච්චි ගෙන් පස්සේ නිතරඟයෙන් මුදලාලි වුනේ සීයා. සීයා ඒ හැටි පොඩි ළමයින්ට කරුණාවන්ත නෑ නිකන් ටොෆි එකක්වත් දුන්නේ නැහැ කවදාවත්.බස් එක පරක්කු වෙද්දී වතුර බොන්න ළමයි කඩේට යද්දී සීයාගේ නහය දිග් වෙනවා කේන්තියට. හිටපු ගමන් බැනලත් එලව ගත්තු දවස් තිබුනා වතුර නොදී.  දැල් අස්සේ එල්ලිලා සෙල්ලම් කරද්දී  දැල් දොරේ ඔන්චිලි පදිද්දී තරම් මේ සියට කේන්ති ගියේ නැහැ වෙන මොකකටවත්. කොහොම කලත් ලොකු ළමයින්ට පොඩි කැමැත්තක් තිබුනා මොකද කිසි කරදරයක් නොකර ඉන්න නිසා වෙන්න ඕන. අපිට ඒ විදියට සැලකුවාට මම කාලෙක ඉඳං මේ සීයා එක්ක කේන්තියෙන් හිටියේ. ඒ මට  පොඩි කාලේ කරපු වැඩක් නිසා.


ඒ කාලේ මම 7 වසරේ වගේ වෙනද වගේ වතුර තිබහක් හැදිලා අපි වතුර බොන්න ගියේ සීයාගේ කඩේට. පිරිසක් එක්ක ගියාට  කවදාවත් වතුර දෙන්නේ නැහැ. තනි තනියෙන් යද්දී  සියාටත් සංතෝසයි අපිටත් වතුර ලැබෙනවා. මට කලින් කඩේට ගියේ නිශාන්ත ඊට පස්සේ මම. මට දුන්නු වතුර ටිකක් අමුතුයි වෙනද දෙන තැනින් නෙවෙයි වතුර ගත්තෙත්. බොන්න දුන්නේ වතුර එකෙත් තේ කොළ තව බත් ඇටයක් වගෙත් තිබුනා. එක උගුරක්‌ බොද්දි රස වෙනස් බව තේරුණා නිසා බොන විදියට ටිකක් ඉඳල වතුර එක විසිකරලා දාලා නිශාන්ත ඉන්න තැනට ගිහින් විස්තරේ කිවුවාම දැනගත්තේ ඒ ඊට කලින් නිශාන්ත ගියපු වෙලේ අත හෝදපු හා කෝප්ප හෝදපු වතුර මට බොන්න දුන්නේ කියලා.  එතන හිටපු අනිත් එකා අපි දෙන්නටම කලින් ගිහින්  අඹ ගහෙන් ඇහුලුව ගෙඩියත් හෝදලා තියෙන්නේ මට  වතුර දුන්නු තැනින්. එදා ඉඳල වතුර බොන්න අපි වෙන කඩයකට යන්න පුරුදු උනා.


අපි ලොකු පන්ති වලට ගියාම දිග කලිසම් අඳින්න පටන් ගනිද්දී කලින් වගේ නෙවෙයි පොඩි පිළිගැනීමක් තිබ්බා. කඩේ ඇතුලට ඇවිත් වාඩි වෙලා ඉන්න අවසරය ලැබුනා.  ඒ කාලේ තමා දැනගත්තේ පොඩි වුන්ට අකමැති හේතුව. කඩේ දැල් අතරින් අනම් මනං කඩේට ඇතුල් කිරීම දොරේ එල්ලිලා සිසෝ පැදීම හකුරු කෑලි කිරි ටොෆි වගේ දේවල් ණයට ගැනීම පසුව ආයේ මුදල් නොදීම පස්සේ අකමැත්තෙන් වුනාත් ඒ දේවල් අමතක කරන්න සිදු වීම  වගේ සිද්දි නිසා පොඩි වුන්ව පෙන්න බැහැ. මොනවා උනාත් කතාව සාධාරණයි. ඒත් මට කරපු ඒ අලුගුත්තේරු වැඩේ මටනම් තවමත් හොඳට මතකයි. සමහරවිට ආච්චි නැති සොවින් ඉන්න නිසා මේ වගේ වැඩ කරනවද දන්නේ නැහැ .


එදත්  අපි තුන්දෙනා කඩේ ඇතුලේ බැංකුවේ වැඩි වෙලා ඉද්දි අපිට තිබහක් ඇවිත් තිබුනේ. ටිකකින් අපිට හිතුන දේ නිශාන්ත දෙසැරයක් හිතන්නේ නැතුව ක්‍රියාත්මක කලා. රාක්ක අතරේ පාට පාටින් තියෙන එක එක ජාතියේ බිම බෝතල් තුනක් අපි තුන් දෙනාගේ බෑග් ඇතුලට අතුරුදහන් වුනා. බෝතල් අඩි දෙකක් විතර විශාල කන්නාඩි දෙකක් නිතරම පැළඳගෙන හිටියාට පෙන්නේ නැහැ. කන් ඇහෙන්නෙත් නැහැ කියල අපි දැනගත්තේ බෝතල් දෙකක් එකට වදිද්දී එන ශබ්දයට  කිසි වෙනසක් පෙන්නේවේ නැති නිසා. එක සැරේම කඩෙන් එලියට යන්නේ නැතුව ටිකකින් අපි සීයට සුභ පතල කඩෙන් එලියට ගියේ හංදියෙන් ටිකක් එහාට වෙන්න තියෙන කරදරයක් නැති පාළු තැනකට. මුඩිය කටින් කඩලා වීදුරු බෝතලේ ඇති රතු පාට බිම ටික කටට හලාගෙන ටිකක් රස බලලා  ටිකකින්  උගුරෙන් පහලට යද්දී දැනෙන සනීපෙ ගැන කියල වැඩක් නැහැ. තුන්දෙනාගෙම තිබහත් ගිහින් බඩ ගින්නත් ඉවරයි. හිතටත් සනීපයි. අපි කවදාවත් හිස් බෝතල් අකුලකට වීසි කලේ නැහැ. ඒ බෝතලෙත් බෑග් එකේ දාගෙනම ගියේ. ටිකකින් එන පාන් බාගේ බස් එකේ සැමන් වගේ ළමයි පැක් වෙද්දී අපි දොරටුවේ එල්ලීලා යන්නේ හිස් බෝතලයත් පිටේ එල්ල ගෙන.


                                               අපි එදා මෙහෙමයි හිටියේ.


කිලෝ මීටර් හයක් විතර බස් එකේන් ගිහින් බහිද්දී අපිට ආයෙත් තිබහයි. ඒ පාලතටම සීයාගේ වගේ කඩ තිබුනේ එකක් නිසාත් ආයේ බොනවානම් සල්ලි දීලා තමා බොන්න වෙන්නේ. ඒත් අපි හොරෙන් ගන්නෙත් නැතුව සල්ලි දෙන්නෙත් නැතුව තව බිම බෝතල් දෙකක් ගත්තා. ඒ සාමාන්යෙන් හිස් බෝතලයකට රුපියල් දහයක් ලැබෙනවා බෝතල් තුනෙන් ලැබෙන සල්ලි වලින් අපිට තවත් බෝතල් දෙකක් ගන්න පුළුවන් කම තිබුනා ඒ වායේත් රස බලල කට්ටියම සතුටින් විසිරිලා යනවා. කාලයක් මේ විදියට කරද්දී සීයාට ටිකක් වෙනසක් දැනිල තිබුනා  බෝතල් අඩුවීම ගැන. පස්සේ අපි බෑග් එකේ දාගෙන ගෙදර ලඟට හිස් බෝතල්  ගෙන යන එක නැවැත්තුවා. සීයාගෙන් අරගෙන මගට ගිහින් බිලා හිස් බෝතලේ ආයේ හොරෙන්ම ගෙනල්ලා රාක්කෙන් තියලා කිසි දෙයක් නොවන විදියට ආයෙත් කඩේ වාඩි වෙලා අපි අපේ පාඩුවේ හිටියා. කාලෙකට පස්සේ සීයාගේ පුතා, ප්‍රසාද්ගේ තාත්තා කඩේ බාරගත්තයින් පස්සේ ඉබේම අපි කඩේට යන එක නැවතුනා..


අපි දන්නා කාලේ ඉඳල සීයා බෞද්ධ පොත් කියවන ගමන් හිටියේ . සීයා "සිරිවර්ධන බුද්ධාගමේ" සරණ කියපු උපාසකයෙක්.  දැන් කාලේ ප්‍රසිද්ධ සිරිවර්ධන කියන තැනැත්තා ඒ කාලේ ඉඳලම මේ වගේ වයසක මිනිසුන්ගේ මනස විකුර්ති කරලා තිබුනේ. ඔහුගෙන් බණ අහල සියදිවි නසාගත් එකම පුද්ගලයා මේ සීයා වෙන්න ඕනේ. අපේ පාසල් ගමනේ අවසාන දවස් කිහිපයේදී දැනගන්න ලැබුනේ මුහුදට පැනලා සියදිවි නසා ගත්තා කියන සංවේදී පුවත.  ගාල්ල කොටුව උඩ ඉඳල මුහුදට පැනලා තියෙන්නේ "මේ මගේ කුණු ශරීරය මුහුදේ ඉන්න මාළුන්ට ආහාරයක් වේවා ඒ පිනෙන් නිවන් දකින්න ලැබේවා" කියල. ඒ වෙලාවේ කොටුවේ හිටපු හිඟන මනුස්සයෙක් සාක්ෂි දීලා තියනවා අන්තිමට පනින්න පෙර  සීයා කියපු වචන ටික. මිය යන්න කලින් සිකුරාදා දවසේ "සිරිවර්ධන"  බණක් දේශනා කරද්දී මේ වගේ වයසක පිරිසකට කියල තියෙන්නේ මේ කුණු ශරීරය කෙනෙකුට ආහාරයට දෙන්න වගේ අදහසක් එන දෙයක්. සීයා මුහුදට කෙසේ වෙතත් මුහුදු රැල්ලට පැනලා තියෙන්නේ. උඩ ඉඳං පනිද්දී ගොඩට ආපු රැල්ල අයෙත් ගිහින්. කෙලින්ම වැටිලා තිබුනේ කළු ගල් ගොඩට. කොහොම උනාත් නිවන්නම් දකින්න බැරි වෙයි ඒ කාලේ කරපු ඇතැම් වැඩ නිසා. සිරිවර්ධන ගෙන් බණ අහපු කි දෙනෙක් මේ විදියට අකාලේ ජිවිත නැති කරගත්තද දන්නේ නැහැ.



වෙනදා වගේම සිත්තරේ තිලිණිගෙන්.



16 Jul 2012

කඩු නැති කටු ගේ .


                        ලෝකයේ  බොහෝ රටවල කෞතුකාගාර ඇත.තම රටේ ප්‍රෞඩ ඉතිහාසය ඒ හා බැඳුන අමිල වස්තුන් වගේ දෑ අනාගත පරපුර වෙනුවෙන්  ආරක්ෂා  කිරීමටත්, ලෝකයේ අනිකුත් රටවලට දැනගැනීමට  ඇති  ස්ථානය නිසා එයට රාජ්‍ය අනුග්‍රහය ලැබේ. එවැනි ස්ථානයකට නිසි ආරක්ෂාවක් නොලැබුනොත් රටේ අනාගතයට තම රටේ ඉතිහාසේ ප්‍රෞඩත්වය පෙන්වීමට ඇති සුළු සාක්ෂි පවා නැතිව යෑම වැලක්විය නොහැක. ඝානාවේ ඇති කෞතුකාගාරය නැරඹීමට ගියපු මට දැකගන්න ලැබුනේ පාලුවට ගියපු විශාල ගොඩනැගිල්ලක ඉතා සුළු ප්‍රමාණයේ භාණ්ඩ කිහිපයක්.පමණයි. ලංකාවේ කඩු නැතිවීමට දින කිහිපයකට පෙර  එම ස්ථානයට ගියපු මම ඊට පසු සතියේ ලංකාවේ කෞතුකාගාරයේ සිදුවුන ඒ කනගාටුදායක සිද්දිය ආරංචි විමෙන් මට අපේ රටේ කෞතුකාගරයටත් මෙවැනි දෙයක් වීමට ඉඩ ඇතිබව නිකමට වගේ දැනුනා. මට දැනුන දේ ඔබටත් දැනේවි. පහත පලවන්නේ එම කෞතුකාගාරයේ ඇති හොඳම භාණ්ඩ කිහිපය පමණයි. 1957 දී ආරම්භ කරන ලද මෙම ආයතනය දිනෙන් දින අභාවයට යනබව දේශීය දෑ අගයන ඝානා වැසියන් පවසයි.

විනාඩි 30 ක් වගේ සුළු වෙලාවක් තුල නැරඹීමට හැකි ඒ විනාඩි 30 වැඩි වෙලාවක් ගත වෙන්නේ  ගොඩනැගිල්ලේ ඇති භාණ්ඩ දෙකක්  අතර ඇති දුර ගෙවා ගැනිමටයි. කෞතුකාගාරයේ සේවකයෝ වගේම තව රටේ බලවත් පිරිසේ උපරිම දායකත්වයෙන් විශාල භාණ්ඩ ප්‍රමාණයක් විදේශිකයන්ට අලෙවිය හා ප්‍රභූ වරුන්ගේ නිවස් තුලද එම භාණ්ඩ විසිර පැවතීම නිසා එම ස්ථානය අභාවයට යමින් පවතී. සත්ව ඇටකටු සතුන්ගේ ඡායාරූප  හා දේශීය ශාන්තිකර්ම වල  ඡායාරූප වැනි දේවල් හිස්තැන් පිරවීමට යොදාගෙන. ආයුධයක්‌ විදියට මා දැක්කේ  ලොකුම ආයුධය ආඩි 5 ක් පමණ දිග "මන්නා පිහියක්."

                                           ලි කැටයම් සහිත ආසන කිහිපයක්.



             

 මැටි වලින් කරපු නිර්මාණයක්.

දේශීය සංගීතයෙදී භාවිතා කරන බෙර විශේෂයක්.

                                     
                                                          සම්ප්‍රධායක ඇඳුම් පිරිමි හා ගැහැණු.
                                
                                                             19 වන සියවසේ   ප්‍රභූවරයෙක්.

ලී කැටයම්.


                                                   විදේශ ආක්‍රමණ වලට පෙර සිටි ප්‍රභූන්ගේ ආසන.


                                                     මෙම කැටයමේ ඇති අලියා ආසියානු අලියෙක්


          
                                    "CAPE COST" 13 වන සියවසේදී ගොඩ නගපු බලකොටුවේ ආකෘතියක්.




මෙම බලකොටුව විදෙශි යන්ගේ සිත් ඇදගන්නා ස්ථානයකි.මා රැකියා කරන  ස්ථානයේ සිට 200 Km ඈතින්ව පිහිටා ඇති මෙය ගාල්ලේ කොටුව මෙන් ප්‍රෞඩත්වයෙන් ඉහලයි. ළඟදීම එම ස්ථානය නැරඹීමට සිතාගෙන ඉන්නේ. එම ගමනෙන් පසු  වැඩි විස්තර බලාපොරොත්තු වන්න.



5 Jul 2012

වහල උඩ සෙල්ලම



                               වස්  දෙකක නිවාඩුවෙන් පස්සේ ඉරිදා  දවල් ගෙදරින් ආවේ වේලාසනින් අපි කිහිප දෙනෙක් එකතු වෙලා ගත් කුලී ගෙදරට. ඇළ ඉස්සරහ තියෙන බෝඩිම් ජිවිතෙන් වෙන් වෙලා ටික කාලයක් වෙනවා. මේ ගෙදර පිහිටලා තියෙන්නේ නුගේගොඩ ආසන්නයේ.ඒත් ගේ පිහිටි ඉඩමට ඇතුල් වෙද්දී කිසිම කෙනෙකුට හිතෙන්නේ නැහැ මේ නගර බද පිහිටි ඉඩමක් කියල. අක්කරයක් විතර  විශාල ඉඩමක්. ඉඩමේ හරි මද ඇති ඉතා පැරණි නිවසක් ඉඩම වටේ පිහිටා ඇති ගස් කොලන් දැක්කම කිසිකෙනෙකුට හිතන්නේ නැහැ කොළඹ පිහිටි ඉඩමක්ය කියා. පොල් ගස්, උණ පඳුරක්, උණ පඳුර ලඟම ළිඳක්.කොස් ගස්, පේර ජම්බු මේ හැම දෙයක්ම තිබුනා මේ වත්තේ. මේ හැම දෙයක්ම භාරව හිටියේ මාත් එක්ක හිටපු පස් දෙනාට. අයිතිකරු ඕස්ට්‍රේලියාවේ පදිංචිය. ගේ ඇතුලෙත් නිවසකට අවශ්‍ය සියලු ගෘහ භාණ්ඩ පවා දෑ තිබුනා. පාවෙන බෝඩිමේ හිටපු අපිට මේ ගෙදර අපේම වගේ තමා .අයිතිකරු ලංකාවේ හිටපු ඉංජිනේරුවෙක්. කළුතර මහා දාගැබ වෙනුවෙන් විශාල මෙහෙයක් කරපු පුද්ගලයෙක්. ඔහුගේ ගෙදර කරපු ඇතැම් නිර්මාණත් ගොඩාක් අද කාලෙට ගොඩාක් වැදගත්.(ගෙදර එකතු වෙන කුණු කසල වලින් බයෝ ගෑස් නිපදවල ඒ ගෑස් වලින් උයන්න සැලැස්වීම. වහලෙන් වැටෙන වතුර හා නාද්දී එකතු වෙන වතුර වෙන වෙනම ටැංකි දෙකකට එකතුවෙන්න සැලැස්වීම ඉන කිහිපයක්.)


                                      සතියේ මැද පෝය දවසක රොබින් හුඩ් සෙල්ලම කරන ගමන්.

                                                            උණ පඳුර ළඟ ඇති බංකරේ.

හවස හතර විතර වෙද්දී මම ගෙදරට ආවේ. ඒ වෙද්දී කවුරුවත් නැහැ. මාසෙකට සැරයක් ගෙදර ගියාම අම්මා හදල දෙන කිරි ටොෆි පාර්සලෙන් ටිකක් වැඩිපුර තනියෙන් කාලා ඉතුරු ටික අනිත් අයත් එක්ක බෙදාගෙන කන්නමයි එහෙම වේලාසන ගියේ. තනියෙන් කෑම නරක පුරුද්දක් වුනාත් ඒ දේ කලේ මට සාධාරණයක් වෙන්න ඕනේ නිසා. ගෙදර ගියත් ඇතුලට යන්න විදියක් නැහැ   යතුර හංගන තැන යතුර නෑ. එක තැනක නැතත් තව තැන් දෙකකම යතුර හංගන උපක්‍රමය අපි භාවිතා කලේ සොරුන් නොමග යවන්න. අවාසනවට කිසිම තැනකින් යතුර හොයාගන්න බැරි වුනා. යතුර නැති විත්තිය තේරුණා නිසා ඒ සතියේ ගෙදර නොගියපු කෙනා ළඟ අනිවාර්යෙන්ම යතුර ඇති තැන දන්නා නිසා කෝල් කලේ වෙන කරන්න දෙයක් නැති කමට. 


මම : "කෝ... බං යතුර" 


එහා පැත්තෙන් : "අඩේ.. උඹ ආවද ? මගේ ළඟ බං යතුර. මම කෙල්ල බලන්න ආවා තව පැයක් විතර යද්දී එනවා. අනේ බං කොහෙට හරි ගිහින් ඉඳපන් ... ඉතින් ඇයි බං උඹ වේලාසනින් ආවේ."


යතුර අරන් ගියපු එක නෙවෙයි වැරැද්ද මම වේලාසනින් ආපු එක. ඒ විදියට  ඌ අදහස් කලේ. ඒත් ඒ කියපු පැය රබර් පැයක් කියන විත්තිය දන්නවා. අනිත් එක ඌ හෙන ඇබලයා. ගැලවෙන්නෙම නැහැ. කරන්න දෙයක් නැති තැන ගේ වටේ කැරකුණේ මිට කලින් හොරු ගෙට ඇතුළු උණු කවුලුවක්වත් තියේද බලන්නත්, පිටිපස්සේ දොර ගැන බලන්නත් එක්ක. ඒත් එදා මට මේ සිද්දිය වෙන්න ඕනේ නිසාම කිසිම දොරක් ජනේලයක් ඇරලා නැහැ. වට දෙකක් දොරවල් වලට  තට්ටු දදා යද්දී තමා මට මතක් උනේ කොහොම හරි මැද මිදුලට පැනගත්තොත් එතනින් ගේ ඇතුලට යන්න පුළුවන් විත්තිය මැද මිදුලට එන දොර හැමදාම ඇරලා කියලා. ඒත් එතනට යන්න ඕනේ වහලට නැගලා. බෑග් එක ඉස්සරහ දොර ළඟ තියල තව වටයක් යද්දී දැක්කේ නගින්න ලේසි තැනක්. වතුර ටැංකියට අඩිය තියල වහලට නගින්න  හිතපු තරම් අමාරු වුනේ නැහැ.


වහලේ උළු දිගේ මැද මිදුල තියෙන තැනට යන්නත් ටිකක් අමාරුයි. උඩක ඉඳං බිම බැලුවාම කකුල් වෙව්ලනවා, කැරකිල්ල හැදෙනවා. ඉස්සරනම් හිටියෙම ගස් උඩයි වහලවල් වලයි. ඒත් දැන් පොඩි උසකට නැග්ගත් බය වැඩි. වහල දිගේ යන්න ඕන තැනට මම දන ගා ගෙන ගියේ. ඉඩමේ පිහිටීම නිසා වත්ත ලොකු නිසාත් වහලක් උඩ දන ගාන කොල්ලෙක් ඒ වටේ පිටේ කිසි කෙනෙකුට දැකගන්න ලැබුනේ නැහැ.විනාඩි පහක වගේ කාලයක් ගියා මට එතනට යන්න. හෙමින් හෙමින්. වහල උඩ ඉඳං පහල බලන්නේ නැතුව ඈත බැලුවාම හරි ලස්සනයි වටේම පේනවා.

වහල උඩ ඉඳං පනින්න කොහෙත්තම බැහැ මෙතනට ආව වගේ නෙවෙයි කොහොමද බහින්නේ. ආයෙත් ගිහිං වතුර ටැංකිය දිගේ බැහැල යාළුවා එනකන් ඉන්නත් හිතුනා. ඒත් දැන් පරක්කු වැඩි. වහලේ ගැට්ටටම ගියා. පනින්න බැහැ අඩි 6ක් විතර උසයි. ඉස්කෝලේ තාප්පෙ මිට වඩා උසයි  ඒ කාලේ හදිස්සියට අපි ඒ හරහා ගියාට මේ වගේ බයක් දැනුනේ නැහැ ඉස්සර. හොරෙන් ගස් වල පළතුරු කඩද්දි අයිතිකාරයා එද්දී ගහෙන් පැනල දුවපු මම දැන් මේ පොඩි උස තැනින් බහින්න බැරුව ඉන්නේ. එතෙක් වෙලා දනගහගෙන හිටපු මම වහල දිගේ බඩ ගෑවේ දිග ඇදිලා උළු වලට යටින් තියෙන පරාල දෙකේ එල්ලිලා පනින්න. පරාල ලඟට යද්දී මට පෙනේවා මෙතනට වඩා අනිත් පැත්තේ වහල පාතයි කියලා. ආමාරුවෙන් ඒ කොනට ආයෙත්  දනගාගෙන යන්නේ.එතැනදී  මට පේනවා හිටපු පැත්ත අනිත් හැම පැත්තටම වඩා පතයි කියල. දෙපැත්තට මාරු වේවි හිටපු මම වහලේ උඩ වැඩි වුනේ මොකක්ද කරන්නේ කියල කල්පනා කරන්න.


හදිස්සියෙන් හරි මම බහින්න ගිහිල්ල වැටුනොත් කෙලින් කරන්නවත් කෙනෙක් නැහැ. නැගිටින්න බැරුව හිටියොත් ආයේ මාව දකින්නේ කට්ටිය මහා රෑ නැත්නම් ඊළඟ දවසේ උදේ රෙදි වේලෙන්න දන්නා කෙනෙක් ආපුවාම.එතකොට මට වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයි.  එල්ලීලා ඉද්දි බිම වැටුනොත් කකුල් දෙකට මොනවා වෙයිද?. ඇවිදින්න බැරි වෙයි ද? රෝද පුටුවෙන් යන්න වෙයිද? එහෙම වුනොත් රස්සාව කරන්න වෙන්නේ නැහැ. විකාර අදහස් එකින් එක මැවෙනවා.කාලෙකට කලින් පත්තරේ තිබුන සිද්දියක් මතයක් වෙලා තවත් බය හිතුනා. වහලට නැගපු ගෙදර ගෘහමුලිකයා වැටිලා සිහිය නැතිවෙලා. දවසක්ම ඉඳල පස්සේ මිය ගිහිං. මට මේ හැම සිද්දියක්ම මතක් වෙනවා. වටෙන් පිටෙන් දැන් කරුවලත් වැටීගෙන එන්නේ. පැයකට වැඩි කාලයක් වහල උඩ, අරු කියපු විදියට කොහේ හරි ගිහිං හිටියනම් දැන් ඌ කෙල්ලව බලල එන වෙලාව. එහෙනම් මම මේ වෙද්දී ගේ  ඇතුලේ.මදුරුවෝ එකා දෙන්න කන්න පටන් ගද්දි මම කරපු මෝඩ කමේ තරම තේරුනා. 


අයෙත් බඩ ගාගෙන පොල් පරල දෙකක් අල්ලලා හෙමිහිට එල්ලුනා දැන් මුළු ඇඟේම බර තියෙන්නේ මගේ අත් දෙකේ.පොල් කීරකට අත හිල් උනා. එක අතක් අත ඇරියොත් අනිවාර්යෙන්ම මම  වැටෙනවා. වේදනාව ඉවසාගෙන ටිකක් ආමාරුවෙන් එල්ලිලා හිටියේ. අත් දෙක ඇත ඇරියොත් බිම. උඩක ඉඳල එක සැරේ කකුල පොළොවේ වැදුනොත් අඩුම  තරමේ වළලු කර ලඟින් උලුක්‌ වෙන්නත් බැරි නෑ. අත් දෙක වෙවුලන තරම් වෙලා එල්ලිලා හිටියා බැරිම තැන මම ඇත අතෑරියා. අයියෝ.... කකුලයි පොලවයි අතර අඩියක තරම් පරතරයක් වත් තිබිලා නැහැ. හිතේ තියෙන බියගුළු ගතියට මට හිතුන සිතුවිලි.


                                             මම එල්ලිලා හිටියේ මෙහෙමයි.

දැන් මම ඉන්නේ මැද මිදුලේ .ගේ ඇතුල හොඳටම කරුවලයි. මීට කලින් හොරු දෙවතාවක් ඇවිත් ගිහිං තිබුන නිසාම හිත පොඩ්ඩක් බය වෙලා තිබුනේ මේ ගේ ඇතුලේ  කරුවලේ ඇවිදින්න.ඇතුලට ගිහිං ඇතුලෙන් දොර ඇරගෙන බෑග් එක අරං එන්න අඩිය තියද්දීම වැටුණු ලයිට් එළියක්‌  එක්ක  ඇහුන කට හඬින් මම ගැස්සිලා  ගියා. " මොකද බං කරන්නේ බෑග් එකත එළියේ තියෙල කවුරු හරි ආවනම්!! මොකෝ බං දාඩිය දාගෙන කොහොමද බං ඇතුලට ආවේ" යාළුවා එහෙම අහද්දී මට වහල දිහා බැලුනේ ඉබේටමයි.  ටිකක් වැඩි පුර කන්න ගෙනා කිරිටෝෆි ටික වෙනදා වගේම අයිතිකාරයාට අඩුවෙන් දෙන නීතිය යටතේ මට ලැබුනේ හරි පොඩ්ඩයි. මගේ යාළුවා  හැම වැඩක්ම කරගෙන ගෙදර එනකම් මම වහල උඩ .



ප/ලි: හැමදාම වගේ සිත්තරේ ඇඳලා දුන්නු "තිලිණිට" ස්තූතියි!! 





Related Posts Plugin for WordPress, Blogger...