28 Apr 2012

රුවැත්තියක් මට අත වනනවා මම ඉඳගෙන බෑ බෑ කියනවා..


                                                       සෙනසුරාද වැඩ තියෙන්නේ වෙනද වගේ නෙවෙයි දවස් භාගයයි.වැඩ ඉවර වුන ගමන් මාත් එක්ක වැඩ කරන තනිකඩයෝ හෙව්වේ අපේ සමාජෙට ගැලෙපෙන්නේ එවුන් නිසා.ඒත් එදා මට මේ නව නින්ගිරා වැඩේ සිද්ද වෙන්න ඕනේ නිසා මගේ නපුරු වෙලාවට කාටවත් මාත් එක්ක  සමාජ ගත වෙන්න එදා බැරි වුනා. ඒ හැම දෙයක්ම අසාර්ථක  වුනු  හින්දම බම්බලපිටියෙන් බස් එකට නැග්ගේ පිටකොටුවට ගිහින් තවත් ගමනක් යන්න හිතාගෙන.


වැඩි සෙනගක් නැති බස් එකේ මාත් එක්කම හතර පස් දෙනෙක් හිටගෙන කවුලුවෙන් එලිය බලාන යන්නේ වෙන කරන්න දෙයක් නැති කමට.ජිවිතේ අනිත්‍ය තේරුම යන වයස දහ අටේ  සිට හැත්තෑව දක්වා හිටපු කෙල්ලෝ ඇන්ටිලා ආච්චිලා අතරේ මමත් ඒ බස් එකේම ගියේ... එක එක සුකුරුත්තම් කරන කෙල්ලෝ ගොඩක් එක්ක තනි වුනු තව කෙල්ලෙකුත් ඒ බස් එකේ හිටියා.සුකුරුත්තම් පිරිස කොල්ලුපිටියෙන් බැස්සත් තනි වුනු කෙල්ල තවමත් තනියෙන් . 


ඒ කාලේ ලංකාවට අලුත් විලාසිතාවක් වුනු කොන්ඩේ කෙලින් කරන් (ස්ට්‍රේට්)  විලාසිතාවත් පොල් කටු වලින් හදාගත්තු කරාබු දෙකකුත්, ඇට ඇට මාලයෙකුත් පැලඳ ගෙන.අවු කණ්නාඩිය ඔලුවේ දාගෙන ඉන්න මේ කෙල්ල මට වඩා සීට් පේලි හතරක් එහායින් දොර ළඟ හිටියේ.බස් එක  ඒ වෙද්දී ගොල් ෆේස් කිට්ටු කරලා තිබුනේ .පොඩි කාලේ ඉඳල බලන්නම ආස හින්දාම මම යන්නෙම ගෝල ෆේස් පාරෙන් යන බස් වල විතරයි.පොඩි කාලේ තාත්තත් එක්ක මුහුද දිහා බලන් ඉන්න ආසකරපු මම පස්සේ කාලෙක මල් මල් කුඩයක් යට ඉඳං මුහුද දිහා බලන් ඉන්න ආස කලා.දවල් වෙලාවක කොහේදෝ යන්න එතනින් බැහැපු මට එදා තේරුනා මෙතනට ආදරේ කරන්න  එක්කන් එන්න හොඳ තැනක් නෙවෙයි තමන්ගේ පෙම්වතියට දඬුවම් දෙන්න හොඳ තැනක් විත්තිය.මොකද ඒ වෙද්දී "නයා" කට ඇරියා වගේ පුදුම රස්නයක් තියෙන්නේ.මල් මල් කුඩ යට ඉන්න තිබුණු මගේ ආසාව නැති වුනා.ඒත් බධක ජය ගන්න අවංක ප්‍රේම වන්තයොන්ට ඒ අව්වත් අව්වක්‌ නෙවෙයි විත්තිය මම හැබැහින් දැකල තියෙනවා.


මමත්  තව වයසක සීයා කෙනෙකුත්  අඟනක් වගේ කෙල්ලත් විතරයි හිටගෙන .වැඩි උස නැති එත් උස වෙන්න දාගෙන හිටපු ආඩි උස සෙරෙප්පුවේ උල දැක්කම ලඟට යන්න හිතේන්නේවත් නෑ.මම බැලුවේ නැතත් මගේ ඇස් දෙක යන්නෙම ඒ කෙල්ල දිහාවටමයි.මගේත් ඇයගේත් ඇස් එකට ගැටුණු වෙලාවේ ඇය මාත් එක්ක සිනා සුනාත් මම එක සැරේම හිනාවෙන්නේ නැතිව වට පිට බලලා හිනා වුනේ මීට කලින් මගේ පිටු පස හිටපු කෙනෙක් වෙනුවෙන් මම හිනා වුන ඒ අතීත ලජ්ජා සහගත මතකය නිසාමයි.ඇ හිනා වෙනවා දැකපු සීයා මගේ දිහා බලල ජනේලෙ අතරෙන් අහසත් මුහුදත් ගෑවෙන දිහා බැලුවේ යටි හිතෙන් මට ඉරිසියා කරන ගමන්.ඒ කෙල්ලට ගැලපෙන වයස කෙනෙකුට හිටියේ මම විතරයි ඒ මුළු බස් එකේම ඉතිං දැනගත්තා ඒ හිනා වුනේ මාත් එක්කම තමයි කියල.


ඇ හිටි තැනින් තවත් දොර ලඟට කිට්ටු වුනේ බහින්න විත්තිය මට තේරුන් ගන්න වැඩි වෙලා ගියේ නැහැ.බහින්න කලින් තව වතාවක් හිනාවෙන්න ආසාවෙන් හිටපු මම ඇය දිහා බැලුනේ ඉබේටම.මගේ එතෙක් ජිවිතේට නොහිතපු දෙයක් සිද්ද වුනා.ඇ තව සැරයක් මාත් එක්ක හිනා වෙලා ලඟට කතා කළා බහින්න. ඒ සියල්ල වුනේ හස්ත මුද්‍රාවෙන්.ඒ තැනත් එච්චර හොඳ තැනකුත් නෙවෙයි.පොඩි කාලෙම ගෝනි බිල්ලා ගැන අහල තිබුණු අපි අම්මත් කියා දීලා තිබුනා අඳුරන්නේ නැති කාත් එක්කවත් යන්නවත් කතා කරන්නවත් එපා කියන දේ.පොඩි කාලේ කියා දුන්නත් අද කාලෙටත්  වලංගුයි කියන එක  මට එවෙලේ තේරුනා.මම ඔළුව වනලා බෑ කිවුවා.




ඒ විදියට කොල්ලෝ රවටන් ගිහිං සිහිය නැතිවෙන්න ටොෆි ,චෝකොලට් වගේ දීලා පර්ස් එක සුද්ද කරලා හෙමින් මාරු වෙන කෙල්ලෝ ගැන පත්තරවල අනත්වත් අහල තියෙනවා.ඊට කලින් දවසේ මගේ පඩි පත ලැබුනෙ. මා ගැන දන්නා කෙනෙක් වෙන්නත් ඕනේ.මම වැඩ කරන තැන ඉඳලම මා ගැන ඇහැ ගහගෙන ආපු කෙල්ලෙක් වෙන්න ඕනේ.මගේ මුළු පඩියම පර්ස් එකේ.එක තමා මාත් එක්ක කට පුරෝවල හිනා වුනේ.නැත්නම් වැඩි පුර බස් වල යන්නේ ඔරවන කෙල්ලෝ .හදවතට නෙවෙයි බුද්ධියට ඉඩදෙන්න ඕනේ කියල මට තේරුම ගන්න වැඩි වෙලා ගියේ නැහැ.හදිස්සියෙවත් මෙතනින් බැහැල කතා කර කර ඉන්න ගමන් මොනවා හරි දුන්නනම් මට සිහිය නැති වෙනවා.මාසයක් වැඩකරලා ගත්තු මගේ පඩිය කාටවත් නිකන් දෙන්න බැහැ නේ.එහෙම වුනොත් මට මෙතන ඉඳල මගේ බෝඩිම තියෙන  නාරාහේන්පිටට පයින්ම යන්න වෙන්නේ.කාටවත් කෝල් එකක් දෙන්න ඒ කාලේ මම ෆොනේ  පාවිච්චිකලේ නැහැ.අනිත් එක අපි ලජ්ජා බයට හැදිච්ච කොල්ලෝ.කොහෙත්තම අඳුරන්නේ නැති කෙල්ලොත් එක්ක වැඩි බජෙනට යන්න හොඳ නැහැ කියල මට එවෙලේ තේරුම ගියා.




ඇයත් මම වගේ තනිකඩ කෙනෙක් වෙන්න ඕනේ.ඇයත් තනියෙන් මමත් තනියෙන් දෙන්නම එකතු වුනාම දෙන්නටම තනි නැ එහෙම හිතපු නිසාද දන්නේ නැහැ බහින්න කියන්නේ.හැම බන්කුවකම කුඩ යට දෙන්න දෙන්න ඉන්න දර්ශනමයි තියෙන්නේ.කරන හැම දෙයක්ම මම දෙපාරක් හොඳට හිතන කෙනෙක් නිසා වෙන කොල්ලෝ වගේ එක සැරේ ලඟට ගිහිං හා කිවුවේ නැ.එක සැරයක් බෑ කියපු මගෙන් ආයෙත් ලජ්ජා නැතුව  අතින් කතා කරනවා.බහින හෝල්ට් එක දිහාට අත දික් කරලා පෙන්නන්නේ මෙතනින් බහින්න කියන්නාක් වගේ.දෙවැනි සැරෙත් මම සද්දේ පිට නොවෙන්න  තොල් වලින් බෑ කියන ගමන්  ඔළුවත් වැනුවා. කෙල්ලෙක් කවදාවත් මෙහෙම කොල්ලෙක්ට කතා කරන්නේ නැහැ ඒත් මට මේ කතා කරන විදියෙන් සැක හිතුනා.මේ නම් මාව රවටගෙන අරන් ගිහිං පර්ස් එක සුද්ද කරන කෙල්ලෙක් වෙන්න ඕනේ. විච්චුරන විදියට ඇඳ පැලඳ ගෙන කොළඹ හතේ කෙනෙක් විදියට යද්දී ඕනෙම කෙනෙක් ඉතිං අහුවෙනවා. ඇය එක අතකින් සීට් එකක් අල්ලාගෙන අනිත් අතින් උඩ පොල්ල දිහා බලලා අල්ලන්න හදනේ ඒත් ඇය උස නැති නිසා කොහෙත්තම උඩ පොල්ල අල්ලන්නම් බෑ..


තුන් වෙනි සැරේ මට කතා කලේ ඔළුව පැත්තට හරවාගෙන "අනේ එන්නකෝ" කියනව වගේ.අපි දෙන්නගේ මේ සංවාදේ දිහා මා සිටි තැන වාඩි වෙලා හිටපු අයියා බාලගෙන හිටියේ.ඇ දිහාත් මා දිහාත් මාරුවෙන් මාරුවට බලපු ඒ අයියා හිටපු තැනින් නැගිටලා බස් එක දිගට යන කඹේ ඇදල බෙල් එක ගැහුවා.ඒ එක්කම බස් එක නවතින ගමන් ඩ්‍රයිවර් ගෙන ඇහුනේ සුන්දර වචන ටිකක්."ලඟට එනකන් ඉන්නවා බහින්න මතක් වෙන්න මොන ලෝකෙද ඉන්නේ" බස් එක නැවැත්තුවා කෙල්ල බැහැලා ගියා .එයා කොහෙද මාව රවටන්නේ මම මටම කියා ගත්තා.කඹේ ඇදපු අයියා මගේ ලඟට ඇවිත් "අර ගෑණු ළමයා අච්චර බෙල් එක ගහන්න කියලත් ඇයි මල්ලි ඔයා බෑ කිවුවේ"



 රුවැත්තියක් මට අතවනනවා
මම ඉඳගෙන බෑ බෑ කියනවා..
අනෙ එයා හිටන් කම් කම් කියනවා..
මම ඉඳගෙන නෝ නෝ කියනවා..






18 Apr 2012

මුරලිදරන්ව ඝාතනය කරයි.



                                                    එදාත් හවස ගෙදරින් පිටත් වුනේ සෙල්ලම් කරන පිට්ටනියට යන්න.යකඩ පාලම උඩදී තුසිතව හම්බවුනේ කඩේ ලෑල්ල උඩ තියෙන පත්තරේ කියවල අයෙත් යන ගමන්. පත්තරේ තිබුණු දේයක් ගැන තුසිත කියපු විස්තරේ මම පිලි ගත්තේ නැහැ.ඒත් තුසිත මාව කඩේට එක්කං හිහිං  තිබුන විස්තරේ පෙන්නුවා.පිටුවෙන් භාගයක් පිරෙන්න තිබුණු ඒ ලිපියේ එක තැනක් ඇඟිල්ල තියල පෙන්නලා මා දිහා බැලුවේ නොරිස්සුම් ගතියකින්.  ඒක දැක්ක ගමන් මගේ පපුව හෝස්!!.. ගාල ගියා. මම පත්තරේ නවල ආයෙත් ලෑල්ල උඩ තියල අපි දෙන්නම බයිසිකලේ පදින්නේ නැතුව තල්ලු කරන් ගියේ එවෙලේ සයිකලයක් පදින්න තරම් ඇඟට කිසි පණක් නැති වගේ දැනුනා හින්දමයි. කටේ කෙල නැහැ කියලත් දැනුනා අපි දෙන්නට දෙන්න  කිසි දෙයක් කතා නැතුව දිනේෂ්ලගේ ගේ ළඟ පිට්ටනියට ගියේ වෙනදා වගේ  සෙල්ලම් කරන්න.


දිනේෂ්ගේ කාමරේ තෙයෙන බැට්‌, බෝල, විකට් කූරුත්, අරං ඇවිල්ල අපි දෙන්නා විකට් කූරුත් හිටවල  ඉතුරු පිරිස  එනකන් පොල් කොටයක් උඩ වාඩි වෙලා හිටියේ. මේ සියලු සිද්දි වෙනකන් අපි දෙන්නා අතරේ වචන දහයක්වත් හුවමාරු උනේ නැහැ.ටික ටික හවස් වෙද්දී එක්කෙනා දෙන්නා සෙල්ලම් කරන්න හිතා ගෙන ඇවිල්ලා . අපි දෙන්න ඉන්න විදිය දැකපු කෙනෙක්  ඇහුවේ 


"මොකද අදත් බොලේ පැලුනද ? හරි හරි තව ටිකකින් කට්ටිය එනවා නේ එතකොට සල්ලි එකතු කරලා එකක් ගේමු."


මොකද හැමදාම අපේ බොලේ පැලෙන එක සාමාන්‍ය දෙයක් වෙලා තිබුනේ.ඒ වෙද්දී ඉරි අල්ලලා සෙල්ලම් කරන්න පුළුවන් පිරිසක් එකතුවෙලා හිටියේ.ඒත් තුසිත සේරටම කලින් කතාව කියන්න ගත්තා.


"අද පත්තරේ බැලුවද ? මුත්තයියා මරලලු..."


නෑ..........


ඒ එතන හිටපු පිරිස පුදුම උන හැටි.ඒ කොහොමද ?මොකක්ද වෙලා තියෙන්නේ මොන පත්තරේද තිබුනේ?.හැමෝටම එක එක ප්‍රශ්න. ඒ වෙද්දී හය හත වසරවල හිටපු අපේ වීරයා වුනේ මුරලි.ලංකාවේ ක්‍රිකට් වසන්තය තිබුණු කාලේ අපි බෝල දාන්නේ මුරලි විදියට අනුකරන කරලා. වේගෙන් දාලා දාල මහන්සි වුනාම  මුරලි විදියට දාන්නා හැමෝම උනන්දු වුනා. ඒ විදියට දුවන් ඇවිල්ලා ඇස් දෙක ලොකු කරලා තොල කරකවල අතත් ඒ විදියට කරකවලා දැම්මත් අපි කවුරුවත් දාන බොලනම් කැරකුණේ නැහැ. හදිස්සියෙවත් ගල් කැටයක් උඩට බොලේ වැදිලා බොලේ යන දිහාව වෙනස් වුනොත් අපි හිතුවේ ඒ මුරලි වගේ දාපු නිසා දඟ කැවුනා කියල.එහෙවු අපේ වීරයාට වුනු දේ ගැන අපි හැමෝම කම්පා වෙලා හිටියේ.


දැන් කොහොමද මැරිලා තියෙන්නේ.කවුද මරල තියෙන්නේ. මිනීය ලංකාවට ගෙනල්ලද? එක එක ප්‍රශ්න.ඔස්ට්‍රේලියාවේදී ලු මැරිලා තියෙන්නේ.කවුද දන්නේ නැහැ මරන්න  ඇත්තේ...අපි සිද්දිය ගැන ගැඹුරින් සාකච්චා  කරගමන් හිටියේ.





මම නම් හිතන්නේ ෂේන් වෝර්න්. මොකද ඌ තරහයි නේ මුරලිත් එක්ක. ඌට වඩා හොඳට බෝල් කරන  නිසා. ඒ තව එකෙක්ගේ අදහසක්. සමහර විට ඊයන් හිලි වෙන්න ඇති මම දැක්කා එදා මැච් එකේ මුරලිට මොනවද කියනවාත්. මමනම් හිතන්නේ උන් ඔක්කොම සෙට් වෙලා වැඩේ කරන්න ඇත්තේ මොකද උන් හැමෝටම මුරලිදරන්ගේ බෝල වලට ගහන්න බැහැ නේ.ඒ එක එක අදහස් ආවේ අපේ යාලුවෝ ටික දෙනෙක්ගෙන්. මට තිබුනේ වෙනත් ප්‍රශ්නයක්. මරපු හේතුවට වඩා  මරපු විදිය ගැන. "මම හිතන්නේ රෑ නිදගද්දී අරුන් හොරෙන් ඇවිල්ලා නහයට ලේන්සුවක් තියල මරන්න ඇත්තේ එතකොට සිහිය නැති වෙනවා අර ටින් ටින් එකෙත් එහෙම කළා මම දැක්කා.කොච්චර ආරක්ෂාව තිබුනත් වැඩක් නැහැ කෑ ගහන්න විදියකුත්  නැහැ නේ." ඒ මගේ හඬ. එක එක්කෙනා එක එක විදියේ අදහස් පල කලා  මුරලි මරපු විදියේ ගැන . හැංගිලා ඉඳල පොල්ලකින් ගහන්න ඇති නැත්නම් හොරෙන් කාමරේට  ගිහිල්ලා බෙල්ල මිරිකුවද දන්නේ නැහැ නේ.ඒ තවත් අදහසක්.






අපිට අයෙත් ඉතිං මැච් දිනන්න අමාරු වෙයි නේ මුරලි නැතුව . අපේ වීරයාට වුනු ඒ අවාසනාවන්ත ඉරණම ගැන අපි හැමෝටම දැනුන දුක කියල නිම කරන්න බැහැ. ඒ කාලේ අපි දැනගෙන උන්නු කුණු හරුප හැම එකකින්ම අපි බැන්නේ හිතේ තියෙන ආවේගය නිසා.වැඩි පුර බැන්නේ ෂේන් වෝර්න්ට හා ඔහුගේ දෙමා පියන්ට. මේක කරපු වුන්ට හෙනම ගහන්න ඕනේ දත් කුරු හපන ගමන් දෙස් තියන්නේ මේ ආරංචිය මුලින්ම දැගත්තු තුසිත.සමහර විට රජයේ ශෝක කාලයක් දාවි නේද ඒ තව එකෙක්.  එහෙම වුනොත් ඉතින් ඉස්කෝලත් නිවාඩුත් දෙවිනේ.අපි එහෙම වුනොත් අපි එදාට එහා ගමත් එක්ක මැච් එකක් ගහමු.මොන දේ වුනත් ඒ දේ වාසියට පෙරලා ගන්න අපේ එකෙක් ඒ විදියේ ගොන් කතාවක් කියපු එක ගැන අපි හැමෝටම ඌත් එක්ක කේන්ති ගිහින් හිටියේ.


   
මේ විදියට එකී නෙකගේ අදහස් දෙස් දොවොල් තියෙන අතරේ සම්පත් ආවේ සෙල්ලම් කරන්න වෙනදට වඩා පරක්කු වෙලා.අපි හය වසෙරේ හිටියත් සම්පත් හිටියේ එකළහ වසරේ.අපිත් එක්ක හිටපු උන්ගෙන් ශිෂ්සත්වේ පාස් වෙලා හිටපු එකම කෙනාවෙනදා මේ වෙද්දී හොර ලකුණු දාගෙන දෙපිලම රණ්ඩු වේවි ඉන්න වෙලාවේ කවදාවත් නැතුව අපි වට වෙලා කතා කරනවා දැකපු සම්පත් සාක්කුවෙන් සල්ලි ගත්තේ තවත් පරක්කු නොවී ඕවර හයේ මැච් එකක් ගහන්න එරෝප්ලේන්බෝලයක් ගේමුද  කියල අහන ගමන්.එත් සිද්ද වෙලා තියෙන දේ ගැන තව එකෙක් සම්පත්ට විස්තර කළා. එත් සම්පත් දුකෙන් හිටපු අපි ගැන සමච්චලේට හිනාවෙල නිකා හිටියා.


හිනා වෙන්න නෙවෙයි මුත්තයියාව මරලලු පත්තරේ තිබුනා මම දැක්ක නේ.පත්තරවල බොරු තියෙන්න විදියක් නැහැ නේ.තුසිත පොළොවට අත ගහන ගමන් දහ අතේ දිවුරනවා.(ඒ කාලේ අපි හිතන් හිටියේ පත්තරවල යන හැම දෙයක්ම ඇත්ත කියල.). බොරුනන් අහපන් මුගෙන් තුසිත මා ගිහාවට අත දික් කරලා පෙන්නුවේ මමත් එක් සාක්‍ෂි කාරයෙක් නිසා. ඉතිං මට මගේ ඇස් දෙක විශ්වාස නිසා මම කිවුවා මම දැකපු දේ. මං දැක්කා පත්තරේ  තිනුනා මුරලිදරන්  ඝාතනය කරල කියල ඉතිං ඝාතනය කරනවා කියන්නේ මරනවා කියන එක නේ.මමත් තුසිතගේ පැත්තට කතා කලා. එහෙම කොහෙත්තම වෙන්න බැහැ. එහෙනම් අපිට මීට කලින් ආරංචි වෙනවා. අනික හෝටල් වල ඇතුලට එහෙම කාටවත් යන්න බැහැ අපේ කණ්ඩායමට ආරක්ෂාව දීලා නේ තියෙන්නේ. කාගේ හරි බොරුවක් වෙන්න ඇති .සම්පත් අපි කියන දේ පිලිගන්න ලෑස්තිම නැහැ. අපිට වඩා කොච්චර වැඩිහිටියෙක් උනාත් අපි හැමෝම සම්පත් එක්ක කේන්තියෙන් හිටියේ.


හරි බොරුනන් යමන් කඩේට ගිහින් පත්තරේ බලමු.එතකොට උඹටත් තේරේවි මම කියන්නේ ඇත්ත කියල.තමන්ගේ  ආරංචිය පිළිගත්තේ නැති සම්පත් දිහා කේන්තියෙන් බලන ගමන් තුසිත කිවුවේ ඒ අවනම්බුවෙන් බේරෙන්න හිතා ගෙනමයි.අපි හැමෝම කඩේට යන්න පිටත් වුනේ බැට් බෝල තේ ගස් අස්සේ හංගලා.අපි කට්ටිය දහ දෙනෙක් විතර කඩේට කිට්ටු වෙද්දීම කඩේ මාම කිවුවේ "ටෙනිස් බෝලනම් ඉවරයි නේ පුතේ ". අපි දවසට එක බොලේ ගානේ මිලදීගන්න හොඳ පාරිභෝගිකයෝ හින්දා වටේ පිටේ කඩවල් වල රබර් බෝල විතරයි ඉතුරු.එත් අපි ආවේ පත්තරේ බලන්න කියල දැනගත්තු ගමන් කඩේ මාමගේ මුණ හරියට ඔට්ටපාළු බෝලයක් වගේ වුනා. අපි හැමෝම කියන සම්පත් විතරක් අවිශ්වාස කරන ඒ කණගාටුදායක ප්‍රෞතිය තිබුණු තැන තුසිත පිටු අතරෙන් වෙන් කරලා සම්පත්ගේ අතට දුන්නා. ඉඳා කියවපන් කියල. ඒ දිහා ටිකක් වෙලා බලන් හිටපු සම්පත් හිනා වෙලා අපි හැමෝටම ඇහෙන්න ශබ්දනගා කියවන්න ගත්තේ අපේ නොරිස්සුම් ගතිය නිසාමයි.මුලින්ම මතෘකාව කියෙවුවෙ මෙහමයි.  "ඔස්ට්‍රේලියානුවෝ මුරලිගේ චරිතේ ඝාතනය කරති"

(සම්පත් පසුව ගුවන් හමුදාවට බැඳුනු රණවිරුවෙක් එත් අවාසනාවත විදියට හදිසි අනතුරකින් ඔහුත් ඔහුගේ බිරිඳත් මෙලොවින් සමුගත්තා ඔහුන්ගේ එකම දරුවා අසාද්‍ය තත්වෙන් හිටියේ.) 


අප්‍රේල් 17 වෙනිදා සිය 40 වෙනි උපන්දිනය සමරන මුත්තයියා මුරලිදරන්ට දිර්ගයුෂ වේවා!!

සැ/යු: වැඩි දෙනාගේ අකමැත්ත නිසා "අසර්" කියන නමින් මින් ඉදිරියට පෙනී නොසිටින බව කරුණාවෙන් සලකන්න.

9 Apr 2012

අපේ අම්මට අකුරු බෑ මිස්...

                                    


                                                 මම 8 වසරේ ඉද්දි අපේ පන්ති භාර මිස් අපේ සිංහල මිස්. ආසම විෂයක් එපා වුනේ අපේ සිංහල මිස් ගේ දැඩි දඬුවම් ක්‍රමය නිසා. ඒ කාලේ අපේ පන්තියට ගැහුවේ කිඹුරු මඩවද්දී අම්බරුවෝ පාලනය කරන්න ගන්න කෙවිටක් වගේ  එකකින්.හදිස්සියෙවත් ඒ කෝටුව නැති වුනොත් ඒ හා සමාන කෝටුවක් ගේන්න පන්තියෙන් කෙනෙක්ට ස්වේච්චාවෙන්  ඉදිරිපත් වෙන්න වෙනවා.කෝටුවක් ගෙන්න සුදානම් වෙන්නේ හැමදාම ගුටි කන්න කන්න ලෑස්ති වෙලා ඉන්න කෙනාගේ තරහා කාරයෙක්.තමන්ගේ තරහ පිරිමහගන්න හොඳම අවස්තාව එනකන් හැමෝම බලන් ඉන්නේ.ගෙනාපු කෝටුව මිස්ගේ හිතට හරියන්නේ නැත්නම් ගෙනාපු කෙනාටම දඬුවම් විඳින්න වෙන නිසා කවුරුවත් පොඩි කෝටුනම් ගෙනාවේ නැහැ.


වයසට වඩා  විලාසිත කරන පාසලකට උචිත නොවීන පාවෙන හෙට්ටි විදිය වගේ රත්‍රන් පුරවාගෙන  ඉන්න  කෙනක් මේ අපේ සිංහල මිස්.ආදරේට කිවුවේ "චවුලා" කියල.හිටපු ගමන "ජුහි චවුලා" කියලත් කියනවා.ගහන්න කොටුව උස්සන් එද්දී සාරියේ ලස්ස නැත්නම් කාරුබුවේ වටිනාකම ගැන කතා කලොත් මිස්ගේ කේන්තිය නැති වෙන්නේ  අයිස් දිය වෙනවා වගේ වේගයකින්.ඒ කාලේ ගුටි නොකා බේරෙන්න කරපු තව දෙයක් වුනේ මිස්ගේ  රුවට "ජුහි චවුලාගේ" රුව සමාන කිරීම.ලතා වල්පොල වගේ රුවකට සැබවින් හිමිකක් කියපු සිංහල මිස් ඒ කාලේ ස්ටාර් කෙනෙක්ට සමාන කිරීම ගැන ඇය සතුටු වුනා.පස්සේ පස්සේ මේ කරන්නේ බොරුවක් විත්තිය මිස්ට තේරුම ගිය බව දැන ගත්තේ දවසක් හරක් මඩවන කෙවිටදික් කරන් එද්දී මිස් අද ජුහි චවුලා වගේ ලස්සනයි කියල හැමදාම ගහපු තුරුම්පුව ගහපු දවසේ "චවුලා නෙවෙයි උඹල වවුලාට වගේ එල්ලලා ගහන්නේ ඊළඟ දවසේ කෑ ගහල අහු වුනොත්" .එයින් පස්සේ කට්ටියටම තේරුම ගියා මිස්ගේ ඇත්ත තත්වේ මිස්ටම තේරුම ගිය බව.


දවසක් සිංහල පාඩමේ කියා දෙන වෙලේ සුපුරුදු පරිදි වෙන වැඩ කර කර ඉද්දි කියා දීලා තියෙන්නේ පණිවිඩ කරුවන් පණවිඩ පතුරවන විදිය රජ කාලේත්  වර්තමානේත්. පනීවිඩ කරුවෙක් ලියන විදියට පනීවිඩ ලියන්න මුළු පන්තියටම පැවරුමක් දුන්නා..තම තමන් ගේ පණිවිඩය  හඬ නගා කියවන්න සිද්ද වුනේ එදා දවසේ මගේ තිබුණු අවාසනාවන්ත කම නිසාමද කොහෙද?. උගුරේ රැලි බුරුල් කරලා පටන් ගත්තා මගේ නිවේදනය කියන්න.


"ඩේන් කුටු ඩේන් කුටු   ඩාන්.... ඩාන්....ඩාන්....."  වරහන් ඇතුලේ බෙරේ සද්දේ.


"අසවු අසවු.."


මට එච්චරයි කියන්න ලැබුනේ සිංහල මිස් ගේ හඬ අවදි කළා. "අසවු නෙවෙයි යකෝ සරනේරු".රජ කාලේ එකෙක් නෙවෙයි වර්තමානේ එකක් ලියන්න දුන්නේ වෙන වැඩ කරන එකේ ඵලවිපාක නිසා මගේ කාර්ඩ් එක ටික කාලෙකට "සරනේරුවා" කියල වැටුනා.


කාලෙන් කාලෙට ඒ මිස් අලුත් අලුත් නීති අඳුන්වල දෙනවා.පාසල් එන්නේ නැති හැමෝම දවසකට රුපියලක් ගානේ දඩ ගෙවන්න ඕනේ ඒ සල්ලි වලින් පංති කාමරයට අවශ්‍ය කරන පොඩි පොඩි දේවල් ගන්නේ..දඩේ එකතු කරන්නේ පංති නායකයා වෙච්ච මම. වැස්ස දවසට පස්සේ දවස මට මගුල් වගේ අනිවාර්යෙන්ම ළමයි පස් දෙකෙවත් එදා ඉස්කෝලේ එන්නේ නැති නිසා මට ගෙඩි පිටින් රුපියල් පහක් ලැබෙනවා. වසර ඉවර වෙද්දී මට පන්තියේ හැමෝගෙන්ම ලොකු ගානක් ලැබිල තිබුනා ඒත් කවුරුවත් හොයල බැලුවේ නැහැ එකතු වුනු මුදල් වලට සිදිවුනු දේ ගැන. ඒ නිසා සිංහල මිස්ට පොඩි කැමැත්තක් තිබුනා මගේ හිතේ.


තවත්  නීතියක් තමා ඉස්කෝලේ එන්නේ නැත්නම් ගෙදරින් ලිවුමක් අරං එන්න ඕනේ කියන නිතිය. එක දවසක් අවේ නැත්නම් නිදහසට කරුණු නැත්නම් ලිවුමක්.දවස් දෙකක් නෑවිත් ලිවුම නැත්නම් ගුටි. දවස් දෙකකට වඩා නෑවිත්ව ලිවුමකුත් නැත්නම් ප්‍රින්සිපල් ළඟ. ඒ විදියට තමා නීති සම්පාදනය  වෙලා තිබුනේ. එදා බ්‍රහස්පතින්දා මහා වැස්ස දවසේ  අමාරුවෙන් ගෙදර නැවතුනා.සිකුරාදා දවස බොරු ලෙඩ අරං අයෙත් ගෙදර නැවතුනා.එක දිගට දවස් හතරක් නිවාඩුවක් ලැබෙන්නේ හරි කලාතුරකින්.ඉරිදා දවසේ අල්ලපු ගමත් එක්ක ගහපු මැච් එක දිනපු ප්‍රීතියෙන් පහුවද ඉස්කෝලේ යන දේවල් සුදානම් කරගන්නේ නැතිව නින්දට ගියේ. පහුවදා සිංහල මිස් දැක්කම මතක් වුනේ  පන්තියේ තියෙන නිතිය.හැමදාම ඉස්කෝලේ යන්න පුරුදු වෙලා හිටපු මම කලින් දවසේ සතුටත් එක්කම හැම දෙයක්ම අමතක වෙලා තිබුනේ.


සම්ප්‍රදායකව ඉස්කෝලේ එන්නේ නැති තුන් දෙනෙකුත් හදිස්සෙයෙන් එන්නේ නැති දෙන්නෙකුත් ඔක්කොම හය දෙනෙක් මට වගේම ලිවුම ගෙන්න අමතා වීම නිසා මරණෙට කැප වුනු  බොයිලර් කුකුල්ලු වගේ බය වෙලා වුන්නේ. හැම දෙනාම දවස් දෙකක්ම ඇවිත් නැහැ.ඒ හැමෝටම ලැබෙන්න තියෙන දඬුවම කෝටු පාරවල් කැමති අතක් තෝරාගෙන ලබා ගැනීම.එදා මුලින්ම ගියපු කෙනා නිදහසට කරුණු කියන්නේ වෙවුල වෙවුල. ගොඩාක් දෙනෙක්ට ලිවුම ගේන්න අමතක වෙලා. තව කෙනෙක්ට ලිවුම ලියපු පොත ගෙනල්ල නැහැ.ඒ කිසි කෙනෙකුට ගුටි නොකා ඉන්න බැරි තරම් කරුණක් කියන්න බැරි වුනා. තව කෙනෙක් ඒ නිතිය දාපු දවසේ ඉස්කෝලේ ඇවිල්ල නැති නිසා එහෙම නීතියක් ගැන දැනගත්තේ එදා. ඒ නියා වැරදි දෙකකට දඬුවම් දෙකක්ම ලැබුනා.
 


අන්තිමටම ආවේ මගේ වාරෙ. හැමෝම කිවුවේ එකම විදියේ බොරු. ඒ කිසි කෙනෙකුට බේරෙන්න බැරි වුනා.අන්තිමට හිටියේ මම නිසා කලින් හැමෝටම ගහල කොටුවත් කැඩිලා තියෙන්නේ.එකේ වාසියත් ගන්න පුළුවන් නිසා කලින්ම මම අන්තිමයා වෙන්න තිරණය කලා.මගෙන් නිදහසට කරුණු අහන්න පටන් ගත්තේ උසාවියේ නඩු අහන වගේ.අනිත් අයට වඩා වැඩි සද්දෙකින්.


"මොකද අවේ නැත්තේ"....."උණ හැදුනා මිස්"...."කෝ ලිවුම ??.".අනිත් අයට වගේ අමතක වුනාද?... මිස් දිහත්  පන්තිය දෙපැත්ත බැලුවේ නිකමට වගේ. මුළු පන්තියක්ම දැන් බලන් ඉන්නේ මගේ දිහා.ගෑණු ලමයිනම් හිත යටින් සතුටු උනා.මට කලින් ගුටි කාපු දෙන්නෙක් තවමත් අඬනවා. තව කෙනෙක් ඇස් රතු කරන ඉන්නේ. මුලින් ගුටි කනවට වඩා  අන්තිමට ගුටි කද්දී වේදනාවට වඩා ලැජ්ජාව වැඩියි කියල මට එවෙලේ තේරුම් ගියා.


"කෝ ලිවුම කියනවා මොකද වුනේ".දරුනු අපරාධ කාරයෙක් ගෙන් හොර බඩු ගැන විස්තර අහනවා වගේ මගෙන් ප්‍රශ්න කරන්නේ. මට තවත් නිශ්ශබ්ද වෙලා ඉන්න බැරි වුනා.අහිංසක මූණක් මවාගෙන බිම බලාගෙන මිස්ට විතරක් ඇහෙන්න හේතුව කිවුවා.


"මිස් අපේ අම්මා අකුරු දන්නේ නැහැ ඉතිං ලිවුමක් ලියන්න බැහැ.එකයි ලිවුම ගෙනාවේ නැත්තේ".මගේ දිහා ටිකක් වෙලා බලන් ඉඳල මිස් පංතියෙන් එලියට ගියා.මම හිතුමේ මම ගැන දුක හිතල කාටවත් නොපෙනෙන්න සාරි පොටෙන් කඳුළු පිහදන්න ගියා කියල.පංතියම හොල්මන්  හැමෝටම ගහල මට විතරක් නොගහ හිටපු එක ගැන.මිස් එලියට ගියාම පන්තිය පුරා යන බැල්මක බලල මට කලින් ගුටි කාපු  වුන් දිහා බලල මාපට ඇඟිල්ල උස්සල "ෆිට් තමා" කියල හස්ත මුද්‍රවක් දුන්නේ මගේ බොරුවේ සාර්ථකත්වය පෙන්නන්න.


                       
ටිකකින් අයෙත් පංතියට එද්දී ඇගෙ සුරතේ රැඳුනු දේ ගැන මගේ හිතේ පොඩි කැමත්තක්වත් තිබ්බේ නැ. පාවිච්චියෙන් පසු නැවත ලබා දෙන පොරොන්දුව මත එහා  පංතියෙන් ණයට ඉල්ලාගත් ගොඩපර කෝටුව දකිද්දී මගේ පපුව හෝස්!! ගාල ගියා.අඩි දෙකක් විතර දිග  කොටුවක් මිස්ගේ අතේ දුරට එහාට වෙන්න මම හිටියේ. කිසි දෙයක් කියාගන්නවත් හිතා ගනන්වත් බැරි වෙන්න පහර පිට පහර ලැබුනා ඉතා සැහැසික විදියට.හදිස්සියේ වත් මුණට වදින එක වලක්වන්න විතරයි මට කරන්න පුළුවන් වුනේ.කොටු පාරවල්  විස්සක් විතර වැදුනා කියල ඉස්සරහ පේලියේ හිටපු ගෑණු ළමයින්ගෙන් පස්සේ දැනගත්තා.සුදු පාට ෂර්ට් එකේ කොළ පාට ඉරි  විස්සකට වැඩිය තිබුනා.ඈතට මගේ ෂර්ට් එක  ගොඩාක් ලස්සනට පෙනිලා තිබුනා. බොරුවට වෙනසක් කරන්න ගියපු මට ඉතුරු පීරියඩ් දෙකත් දණ ගහගෙන ඉන්න සිද්ද වුනා.සාමාන්‍ය බොරුව කිවුවනම් කොටු පාරවල් හතරකට වැඩිය ලැබෙන්නේ නැහැ.


මම නොදන්නා වුනාට අපේ අම්මගේ මිතුරියක්‌ වුනු අපේ සිංහල මිස් මම ගැන හැම විස්තරයක්ම දන්නවා.ඉස්කෝලේ කරන හැම වැරද්දක්ම මම ගෙදර යන්නත් කලින් අපේ ගෙදරට තොරතුර ලබන්න හැකි  අදී තාක්ෂණ උපකරණය මොකක්ද කියල දැනගත්තා.උප විදුහල්පතු  තුමාගේ සිට ගොඩක් දෙනෙක් මම කාගේ කවුද කියන විත්තිය දැනගෙන ඉඳල තියෙන්නේ.කාලයක් යනකම් යහපත් ළමයෙක වගේ ආයෙත් සංවරව හිටියා.

~~අසර්~~

ලබන්නාවූ සිංහල හා හිංදු අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!..

5 Apr 2012

මම මුලින්ම නටපු දවස.

                                   




                                       දා දෙසැම්බර් 26 වෙනිදා නත්තල් දවසට පසු දින  විභාගේ නිවාඩුයි.ඒ මම සාපෙ ලියපු අවුරුද්ද.විභාගේ ලියන්න හැර අනිත් කිසිම දෙයකට ගෙදරින් පිට වෙන්න කිසි අවසරයක් ලැබුනේ නැහැ.පාඩම් කලේ නැතත් පොතක් අතේ තියාගෙන ඉන්න ඒක අම්මට සතුටක් ගෙනාවා.විභාගේ ලියන  මට වඩා අම්මට වුවනාව තිබුනේ මට පාඩම් කරවන්න.එහෙම තත්වයක් තියෙද්දී හන්දියේ පාලම,තරංගගේ ගෙදර මට මැවි මැවි පෙනුනා.එදා රෑ අපේ ගමේ තිබුනා සංගීත සංදර්ශනයක් එතනට මගේ යාළුවො හැමෝම එකතු වෙන්න කතා වෙලා තිබුනේ.මම හැර අනිත් යාළුවො හැමෝම මට වඩා වැඩිමල් නිසා කිසි අමතර කරදරයක් නැතුව එතැනදී මුණගැහෙන්න ස්ථිර වෙලා තිබුනේ.


අපේ ගෙදර ඉඳල පාරේ දිගේ ගියොත් කිලෝ මීටර් දෙකක් විතර දුර ගුවන් සැතපුම් වලින් බැලුවොත් මීටර් 200 ක්.ඒ කියන්නේ ගෙදර ඉස්සරහම තියෙන පිටියේ තියෙන්නේ.ගෙදරට කොච්චර කිට්ටුවෙන් තිබ්බත් මේකටනම් යන්න දෙන්න නැහැ කියල හොඳා කාරම දන්න නිසා මම නිකන් වචන නාස්ති කරගන්න ගියේ නෑ.ඒ වෙද්දී රුපවාහිනියේ හැර සංගීතයක් බලල නැති මම ගේ ළඟ තියෙන එකටවත් යන්න දෙන්නේ නැති ඒක ගැන කලකිරීමෙන්  හිටියේ.ගායකයෙක් වාදකයෙක් සියසින් දැකගන්න තිබුණු ආසාවට කාලෙන් කාලෙට අපේ ගම අවට තියෙන සංගීත සංදර්ශන තියෙන තැන් වලට හවස් වෙලාවට ගිහින් බලන්නේ වැරදිලාවත් ගායකයෙක් වත් ඉන්නවද කියල බලන්න.ඒත් ඒ හැම දාකම හිටියේ සංගීත කණ්ඩායමේ වැඩ කරන අප්‍රසිද්ද වේදිකාවේ ලයිට්  හයිකරන නැත්නම් බෆල් හයිකරන සේවකයෝ විතරයි. රෑ වෙන්න කලින් ගෙදර ගියේ අම්මා බනිනවට නෙවෙයි බයිසිකලේ ඩයිනමෝව වැඩ නැති නිසා.(කරුවලේ යන්න බැහැ බයයි.)


අම්මගේ මතය වුනේ සංගීතයක් බලන්න යනවා කියන්නේ උතුරු නැගනහිර රාජකාරි කරන්න යන රණවිරුවෙක් වගේ.සංගීතයක් තිබුණ දවසට පසු දින අම්මට ආරංචි වෙන්නේ තුවාල කරුවන් ගනන සහ මියගිය ගණනන පිහි ඇනුම් හා දේශීය නිෂ්පාදනයක් වුනු සැමන් ටින් බෝම්බ වලින්.මෙහෙම යුධ  වාතාවරණයක් තියෙද්දී සංගීතයක් බලන්න යන්න අවසර දෙන්න තරම් අම්මා එඩිතර වුනේ නැහැ.ඒත් මේ ගේ ලඟටම ආ අවස්ථාව මග අරින්න කොහෙත්තම මගේ හිත ඉඩ දුන්නේත් නැ.


හවස මම හෙදරින් පිටත් වුනේ ඉක්මනින් ආයෙත් ගෙදර එන පොරොන්දුව පිට.වෙනදා මගේ බයිසිකලේන් පාරට ගියත් එදා මගේ බයිසිකලේ ඒ ඇතුලේ දාලම  ඇවිදගෙනම ගියේ මගේ යටි හිතේ තියෙන අරමුණ ඉටු කරගැනීමේ අදහසින්.මම යද්දිත් තරංගලගේ ගෙදර කට්ටිය පිරිලා.කාලය ගත කරන්න වැඩියෙන්ම ආස මේ කොල්ලෝ ටිකත් එක්ක ඒත් මගේ ආවාසනාවට විභාගයක් තියෙන නිසා ඒ දේ මට ලැබුනේ හරි අඩුවෙන්.බයිසිකලේ ගේ ඇතුලේ දාලා පයින්ම ආපු ඒක ගැන අම්මගේ හිතේ සැකයක් ඇති වුනේ නැහැ.අම්මට වුනු පොරොන්දුව නිසා මම ඉක්මනින් ගෙදර යන්න පිටත් වුනේ යාලුවෙක්ගෙ බයිසිකලයක් ඉල්ලගේනමයි.ඇවිදන් ගියපු මම බයිසිකලේ එනවා දැකපු අම්මා කර කර හිටිය වැඩේ නවත්වල බැලුවේ මොකද මේ අනුන්ගේ බයිසිකල් එකක් අරගෙන එන්නේ කියල.පොරොන්දු වුනු විදියට ඉක්මනින් එන්න ඕනේ නිසා යාළුවෙක්ගෙන් බයිසිකලයක් ඉල්ලගෙන ආවා කියල අම්මට තේරුම් කරලා දුන්නම අම්මා අමුතු හිනාවක්‌ දාලා අහක බලාගත්තේ ආඩම්බර කමක් හිතිලද නැත්නම් මම කීකරු වීම ගැන සන්තොසටද කියල හිතුනේ නැහැ.


අම්මත් එක්ක කතා කරලා හැමෝටම කලින් කාමරේට ගියේ පාඩම් කරන්න තියෙන නිසා.පාඩම් කරද්දී නිදිමත වුනොත් තේ බොන්න මට උණු වතුර බෝතලයකුත් බිස්කට් පැකට එකකුත් ගෙනල්ල දුන්නා.වෙලාව රෑ 10ට විතර ඇති බෆල් වල සද්දේ ඇහෙන්න  ගත්තා අම්මා ගෙදර පිරිත් දානවට වඩා සද්දෙට  ප්‍රසංගය පටන්ගන්න කලින් ගිටාර්,ඩ්‍රම් සෙට්, ටේස් කිරීම පටන් ගෙන තිබ්බේ. ඒ සද්ද ඇහෙද්දී මට දත් කැක්කුම හදුනා වගේ.වාඩි වෙලා ඉන්නත් බැහැ ඇවිද ඇවිද ඉන්නත් බැහැ නිදාගෙන ඉන්නත් බැහැ යන්නමයි  හිතෙන්නේ.ගේ ඇතුලේ කිසි සද්දයක් නැහැ වටේම කරුවලයි හීනියට වැහි පොදකුත් ගිහිල්ල තිබුනේ සීතලත් එක්ක ගෙදර හැමෝම සැප නින්දේ.දුන්නු බිස්කට් පැකට ඒකෙන් ටිකක් කාලා හදල දුන්නු තේත් බිලා හෙමින් දොර ඇරියේ ගෙදර ඉන්න බ්‍රවුනටවත් සද්දේ ඇහෙන්නේ නැති අඩු හර්ට්ස් ගානකින්.


ගේ ඇතුලෙන් එලියට මම අඩිය තිබ්බේ කොරවක්කා නෙළුම් කොළ ඇවිදින විදියට.යටි පතුලේ පොළොවේ වදින සද්දෙවත් තව කෙනෙක්ට ඇහෙන්නේ නැති වෙන්න. වටේම ඝන කළුවරේ කලාමැදිරි එලිය රැහැයියන්ගේ සද්දෙත් එක්ක කණ ලඟම ඇහෙන සංගීතය හරි අමුතුවට දැනුනේ.කලිම සැලසුම් කරපු විදියට මිදුලේ නවත්වල තිබුණු යාළුවගේ බයිසිකල් ඒක ලඟට කිට්ටු වෙන්න කලින් අයෙත් වට පිට බැලුවේ කවුරුවත් දැක්කොත් ඔක්කොම ප්ලෑන් වතුරේ යන නිසා.ඒත් මං දැක්ක දෙයින් ගැස්සිලා ගියා මගේ කකුල් දෙක ළඟ බ්‍රවුනා.සාක්කුවේ දාගෙන තිබුණු ඉතුරු බිස්කට් ටික ඌට දීලා එතනින් ගියේ ඌ බිස්කට් කද්දී  කිසි කෙඳිරිලි සද්දයක් එන්නේ නැති නිසා.මේක පැදගෙන ගියොත් කරත්ත සද්දේ වගේ. තල්ලු කරන් ගියත් සද්දේ වටපිට බලල බයිසිකල් ඒක ගත්තා කරට ටික දුරක් උස්සගෙන යන්න. ඒත් හෙමින් අඩි තියල වැඩි දුර යන්න ලැබුනේ නැහැ.



"මොකද පුතේ බයිසිකල් ඒක කරේ තියාගෙන."


ඈ... අම්මා ලිඳ ළඟ.


"ඕක තමා වේලාසනින් පාඩම් කරන්න කියල කාමරේට වැදුනේ. දැන් තියනවා බයිසිකල් ඒක බිමින්. හ්ම්..හ්ම්...  යනවා යනවා ගිහින් 12 කලින් ගෙදර එන්න ඕනේ නැත්නම් දොර අරින්නේ නැහැ රෑට" කියල බොරු සද්දයකුත් දැම්මා.


භාධක ජයගෙන එතනට යද්දී කට්ටිය බලං හිටියේ මං පරක්කු නිසා.සෙනග ගොඩේ ඉස්සරහටම ගිහිංඉන්න බෑන්ඩ් එකේ හැමෝම හොඳ හැටි බලාගෙන අයෙත් හිටපු තැනටම ආවා.වටේම ඉන්න හැමෝම නටනවා.ඒත් මම මිට කලින් ගෙදර කවුරුවත් නැති වුනාම දොර වහන නැටුවට මෙහෙම කවදාවත් නටල නැහැ. අඳුම් ඇඳන් ඉන්න පිරිසක් මැද්දේ නිරුවතින් සිටීමත් නිරුවතින් ඉන්න පිරිසක් මැද ඇඳුම් ඇඳන් සිටීමත් හාස්‍යට ලක්වීමක් වගේ නටන පිරිසක් මැද නටන්නේ නැතිව බලාගෙන සිටීමත් හාස්‍යට ලක්වෙන ඒක නවත්වන්නත් බැහැ.වට පිට බලල ගමේ කිසිම කෙනෙක් පෙන්න නැති නිසා ජැමෙයිකාවේ ඉඳල ආපු කොල්ලෙක් වගේ එකෙක් නටන දිහා බලං ඉඳල මමත් අතපය දිග ඇරලා හොඳට නැටුවා.ඒත්  විභාගෙන් පස්සේ පාරේ යද්දී ගමේ කොල්ලෝ  එදා මම නටපු විදිය නටල පෙන්වනවා විලි ලෑජ්ජාවේ බැහැ.එදා දැක්කේ නෑ කියල හිතුවට ගමම  දැකල.විභාගෙන් පස්සේ කොළඹ ආවා අයෙත් ගමේ යද්දී ඒ දේ හැමෝටම අමතක වෙලාම ගිහිං.

~~අසර්~~
Related Posts Plugin for WordPress, Blogger...