4 Dec 2012

සිංහ උයන.



                                 අපි කාලයක් වටේම තියෙන සංගීත සංදර්ශන බලන්න පුරුදු වෙලා තිබුනා. ඉස්කෝලේ ගමන නවත්වලත් නැහැ ඒ වෙද්දී. ගෙදරට හැම දාම කියන බොරු ටික කියල ගෙදරින් පැන ගන්නේ රෑ 12 කලින් එන පොරොන්දුව පිට. ඒ කාලේ මට හරියට මල ගෙවල්, හත් දවසේ බන ගෙවල්,පිරිත් ගෙවල්,ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්ට වගේ.ඒත් මම යන්නේ වෙන වෙන ගමන්.මැරෙනවා කියල ඒ හැටි මැරෙන්න තරම් අපේ ප්‍රදේශය විශාලා මහනුවර වගේ වුනේ නැහැ.ගියපු ඒ හැම තැනකින්ම  වින්දනයක් ලැබුවා.ඒ කාලේ නරක වැඩ කිසිවක් තිබුන කෙනෙක් නෙවෙයි මම සහ අපි. ගෙදර ඉඳලා 30Km දුර තිබ්බත් අපි යන්න පුරුදු වෙලා තිබුනා. ඒ හැම දවසකම අපි ගියේ අමාරුවෙන් හොයාගත්තු සල්ලි කියක් හරි එකතු කරගෙන ප්‍රෙට්‍රල් බෝතලයක් පුරවා ගෙන.අපිත් එක්ක ඉඳපු බස් අජිත්ගේ මල්ලි නිශාන්ත ගේ බයිසිකලෙන්. පොඩි වුන් වෙච්ච  අපේ ශරීර කුඩුව ඒ හැටි ලොකුත් නැහැ. පහසුවෙන් තුන්දෙනෙක් එක බයිසිකලේ යන්නත් පුළුවන් හෙල්මට් අවශ්‍ය ලියකිවිලි කිසිවක් නැහැ. එත් ඒ කාලේ තිබුන නීතියේ නිදහස් බවේ ප්‍රයෝජනය හොඳට ගත්තා.ප්‍රධාන පාරේ තියෙන පොලිස් ස්ථාන හෙල්මට් නැතුව තුන්දෙනක් එක්ක වයස 18 අඩු අපි පහුකරගෙන යන්නේ වාසනාව උරගාබැලිම වගේ.අපි වාසනාවන්තයි කවදාවත් අපි පොලිසියෙන් නැවැත්තුවේ නැහැ ඒ පාරෙන්ම අපි ආයෙත් ආවත් පොලිසියේ ඉදිරිපිට ඉන්න දෙදෙනා හොඳට නිදි දර්ශන තමා අපි හැම දාම දැක්කේ.

අපි 7 -8   වසරේ වගේ කාලේ කොහේ හෝ ගිහින් එද්දී මේ විදියට පොලිසියක් පහු කරන යද්දී පොලිසියට "හූ" කියල පොලිසියේ ආරක්ෂාවට ඉන්න නිලදාරීන් අවදිකරන භයන්කාර සෙල්ලම ආසාවෙන් කලේ.අපි ඒ කාලේ ෆුට්සයිකල් පැදගෙන ඕන දුරක් ගියා. වටේ පිටේ කසිප්පු තිප්පොළවල් වලින් අරගත්තු කසිප්පු බැරල් පොලිසියේ ගොඩ ගහල තියන්නේ. දවසක් නිශාන්තයි,මම තව දෙදෙනෙකුයි  රෑ ගිහින් එද්දී මේ බැරල් වලට  කළු ගලක් ගහල වේගයෙන් බයිසිකලේ පැද්දා එත් අවාසනාවකට නිශාන්තගේ රබර් සෙරෙප්පුව පාරේ හැලුනා. නමුත් ඕනවට වඩා එඩිතරයා මෝඩයා කියනවා වගේ ආයෙත් හැරිලා ගිහිං සෙරෙප්පුව අරගෙන අපි හිටපු තැනටම  ආවා.ඒ එද්දිත් තව ගලක් ගැහුවලු.(අපි නිශාන්තගේ හැටි දන්නවා ) 

එදා ඉතිං අපි 5 දෙනෙක් බයිසිකල් 2 න් යන්න සුදානම් වුනේ කානිවල් එකක් බලන්න. කලින් කිවුවා වගේ අවධානම අරගෙන අපි ගියේ හැම දෙයටම වඩා කානිවල් එකේ විනෝදය වැඩි නිසා. හැම බාධකයක්ම ජය අරගෙන අපි කානිවල් භූමියට ආවා.ඇතුල් වීම නොමිලේ. මුදල් නොගෙවා බලන්න තිබුනේ වෙළඳ කුටි විතරයි. මෙලිගෝ රවුම්,කතුරු ඔන්චිල්ලා  හැම දෙයක්ම ඉතින් සල්ලි සල්ලි වලින් තමා. කතුරු ඔන්චිල්ලාවේ යන වුන්ගේ කෑගැහිල්ල හරියට අපිට දැනුනේ අපිට "කෝචෝක්" කරන වගේ. තෙල් නැතිව කැරකෙන ඔන්චිල්ලාවේ "චිරි" "චිරි" සද්දේ අපිට ඇහුනේ "වරෙන් වරෙන් පලයන් රවුමක්"  කියන්නා වගේ.අපි යනවයි කියපු දානේ ගෙදරට අරන් යන්න සීනි ගන්න සල්ලි විතරයි ගෙදරින් දෙන්නේ. ඒකෙන් පෙට්‍රල් ගහගෙන ආවේ. අපි කවදාවත් මේවා පැද්දේ නැහැ.ලඟින් ගිහින් ඈතට වෙලා බලන් හිටියා විතරයි. විශාල පිට්ටනියක් නිසා ඇවිදින්න හොඳට ඉඩ තිබුනා අපි ඇවිද්දා ඈතින් ඇහෙන "චිරි චිරි" සද්දෙත් සංගීත සංදර්ශනේ වාදනයත් විඳ ගෙන අපි කොත්තු කඩ අයිස්ක්‍රීම් කඩ පහුකරගෙන යද්දී පිටනියේ එහා කොනට වෙනකන් අපි ඇවිත් තිබුනා. රාත්‍රී 2 විතර වෙලා නිසා වැඩිය සෙනගත් පේන්නත් නැහැ. 

ටිකක් කළුවර වැඩි ගස් කොලන් වලින් වට වුන තැනක ටකරන් වලින් වටේට ආවරණ කරපු තැනකට අපි ඇවිල්ල තිබුනේ.වැඩි ආලෝකයක් නැහැ, වැඩි සෙනගක් පේන්නත් නැහැ,ටිකක් පාළුයි වගේ තැනක්.ඒත් එය ඇතුලේ මිනිසුන් එකා දෙන්න එහාට මෙහා යනවා පේනවා.තව ටිකක් ලංවෙලා බලද්දී  දොරටුවේ අයිනේ තිබුන බෝර්ඩ් එක දැක්කාම අපි කාගේත් ආසාව වැඩි වුනා. "සිංහ උයන"  ඇතැම් කානිවල්වල සත්තු පෙන්වනවා මම අහල තිබුනා.අපි දැකල තිබුනේ පුහුණු  කරපු අපිට හුරු පුරුදු සතුන් විතරයි.එත් සිංහයෝ දැකලා නැහැ. පොඩි කාලේ අහුන්ගල්ලේ සත්තුවත්ත බලන්න ඉස්කෝලෙන් එක්ක ගිය වෙලේ අපිට බලන්න ලැබුනේ හරි පොඩි වෙලාවයි ඒකත් පෝලිමේ ගිහිං. සිංහ පැටවූ හරි හුරතල්. "බූල් දිග ලොකු පුසෝ" වගේ.අපිත් එක්ක හිටපු දෙන්නේක් "පොඩිවුන්ගේ ආශාවල් බං" කියල වෙන පැත්තකට ගියා. ඒත් අපි තුන්දෙනා මේ අදහසට ගොඩාක් කැමැත්තෙන් හිටියේ.වටේ පිටේ ටිකට් ගන්න කෙනෙක් හිටියෙත් නැහැ.අපි දන්නවා මේ වගේ තැන් වල ඇත්තේ හිලෑ කරපු සිංහයෝ හරියට අහුංගල්ලේ වගේ. ටකරං ආවරණේයෙන් උයනට ඇතුළු උනා. අපි හෙමින් හෙමින් අඩිය තිබ්බේ.. ගස් අස්සේ ඉඳල කොයි වෙලේ අපේ ඇඟට පනිවිද දන්නේ නැති නිසා.පොඩි පැටවුනම් කකුල් හූරනවා. ඒක තමා ඉවසන්නම බැරි.මේ සත්තුත්  බළල් පවුලේ නිසා කොයි පැටියත් එකයි.. තුන් දෙනාට තුන් දෙනා බයෙන් තව ඇතුලට ගියා.


                                            අපි එදා බයෙන් බයෙන් ඇවිද්දේ මේ වගේ.

ගහක් යට එක මිනිහෙක් ගහට හේත්තුවෙලා ඉන්නවා දක්කමනම් ටිකක් අමුතු  බයක් දැනුනා.ඒත් පෙනුන විදියට කරදරයක් වෙලා නැහැ.හෙමින් අපි එතනට කිට්ටු කලාම දැක්කේ.ගහට හේත්තුවෙලා නිදි කියල.පව් දවල් දවසෙම මහන්සියට වෙන්න ඇති.ඇඳුම් එහෙම එහෙ මෙහෙ වෙලා තිබුනෙත්.එක්කෙනා  දෙන්නා ඒ විදියට ගස් යට පොඩි පොඩි මේස තියාගෙනත් ඒවාට ඔළුව තියාගෙනත් නිදි.එත් අපි එක සිංහයෙක්වත් සිංහයෝ දාල තියෙන කුඩුවක්වත් දැක්කේ නැහැ තවම .සර්කස් කාරයෝ වගේ ඇඳන් ඉන්න කිසි කෙනෙක් දැක්කෙත් නැහැ.අපි ගස් අස්සේ වට පිටාව  බල බල බයෙන් බයෙන් ආපු අපි ඔළුව උස්සල ටිකක් දුර බැලුවා. එතකොට අපිට තේරුනා අපිට වෙච්ච දේ. කළු පාට බෝර්ඩ් එකක කහා පාටින් "LION" කියල ගහල තිනුනා. ගස් යට වැටිලා ඉඳල තියෙන්නේ හොඳට ලයන් ලාගර්  බියර් බීපු සෙට් එකක්.ඒ සිදු වීමෙන් පස්සේ අපිට ආයෙත් ගමේ කලිසමක් ඇඳන් යන්න බැරි තත්වයක් ඇති වුනා.


ස්තුතිය සිත්තර තිලිණිට.
Related Posts Plugin for WordPress, Blogger...