22 Jun 2012

අප්‍රිකාණු ගුරුකම්. African Black Magic



                           ගුරුකම් වලට ලංකාවේ ප්‍රසිද්ද දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයයි.ලංකාවේ ඈත අතීතයේ ලෝකය පුදුමයට පත්වෙන විදියේ ගුරුකම් තිබුනත්  අද ඇති ගුරුකම් වල එතරම් සත්‍යක් නැහැ කියන ඒක ප්‍රසිද්ධ කරුණක්.  ලෝකේ ප්‍රබල ගුරුකම් ශාස්ත්‍රයක් තවමත් තියෙන්නේ ඉන්දියාවේ. ඒත් අප්‍රසිද්ධව තව කොතෙකුත් රටවල් ඇතිද? 14 වන සියවසේ සිට බටහිර රටවල් වලද මේ ගුරුකම් ශාස්ත්‍රය පැවතුනා. ප්‍රධාන වශයෙන් බටහිර රටක් වෙන එංගලන්තයේද එම රටට ආවේනික ගුරුකම් සාස්තරයක් තිබිල තියෙනවා. "රොබින් හුඩ්" කතා මාලාවේ මායාවරුන්ට කතා කරන දර්ශන වල ඇත්තේ 14 වන සියවසේ එංගලන්තයේ තිබුන  ශාස්ත්‍රයි . උදාහරණයක්‌ විදියට අරාබියට ,ජපානයට ඊජිප්තුවට යන රටවල ඔවුන්ටම ආවේනික ගුරුකම් ශාස්ත්‍රයක්ද බටහිර විද්‍යාවෙන් ඉදිරියෙන්ම ඉන්න ඇමරිකාවටද  ගුරුකම් ක්‍රමයක්  තිබිලා තියෙනවා. නමුත් බටහිර රටවල් ඔවුන්ට තිබුන ඒ ගුරුකම් ශාස්ත්‍රය පිළිගන්න තවමත් කැමති නැහැ. 


සති කිහිපයකට  විතර පෙර අප්‍රිකානු ගුරුන්නාන්සේ කෙනෙක් එක්ක කථා කරන්න හැකි වුනා. මේ රටේ ඇති ඇතැම් විජ්ජාවන් ගැන කථා කරන්න. අප්‍රිකාවේ බටහිරට වෙන්න ඇති  රටවල් හා දකුණුට වෙන්න ඇති රටවල් වල  ඇති ගුරුකම් ගැන දැනගන්න. මම මේ කියන ඇතැම් කරුණු පිළිගන්න අමාරු වෙන්න පුළුවන්. එත් ඒ ගුරාත් සමග හිටපු අපේ ආයතනයේ තවත් සේවකයෙක් කියපු සිද්දින් හා ඔහුගේ අත්දැකීම් නිසා මට විශ්වාස කරන්න පුළුවන් වුනා.


අප්‍රිකාවේ රටක් වෙන "බෙනේ" කියන රටේ හා "මලාවි" කියන රටවල් දෙකේ ප්‍රධාන වශයෙන් මේ ගුරුකම් ශාස්ත්‍රය තියෙන්නේ. අප්‍රිකාවේ ඇති ගුරුකම් එකම දේ නොවුනත් ටිකක් සමානයි.මේ හැම දෙයක්ම පැවතගෙන එන්නේ  මේ රටවල වල ඇති ගෝත්‍රයන්ගේ පරම්පරාවෙන්. අනිත් සිසු අප්‍රිකානු රටවල සිට  මේ ශාස්ත්‍රය ගැන වැඩිදුර ඉගෙනීමට  "බෙනේ" රටට එනවා. මේ ගුරුකම් ඇතැම් වෙලාවට අපිට හිතෙන්නේ මේ ශාස්ත්‍රයේ ඇති සැහිසික කම හා පුහු ආකල්පයි. කොංගෝ වේ 2008 අවුරුද්දේ විතරක් ළමුන "පනස් දහසකට" ආසන්න ප්‍රමාණයක් ගෙදරින් එලියට දාල  තියෙනවා එම දරුවන් යක්කුන්ගේ දරුවන් කියල හිතලා. යලිත් ඔවුන්ගේ පවුල් වලට එකතු කරගෙන නැහැ.මේ පිලිබඳ එක්සත් ජාතින්  විසින් කෙටි චිත්‍රපටියක් නිර්මාණය කරලා තියෙනවා පසු කාලෙක.  තව පිරිමින්ගේ පුරුෂ ලිංගය ගුරුකම් මගින් නැති කිරීම වගේ සාහැසික සිද්දීත් කොංගෝවෙන් සහ ඝානාවෙන් වාර්තා වෙනවා. ඒ සියලුම පිරිමින් අධික ලේ යාම නිසා මිය ගිහින් තියෙන්නේ. එම දේවල්  නැති කරල තියෙන්නේ කිසිම ආයුධයක් නොමැතිව. ඒ විදියට නැති කරන්න හේතුව ඒ කට්ටටියන්ගේ බලය වැඩි කරගැනීමට.


ටැන්සානියාවේ, කෙන්නියාවේ වගේ රටවල් වලත් ඒ ඒ ගෝත්‍රිකයන්ට ආවේනික ක්‍රම තියෙනවා. ලංකාවේ තොවිල් වගේ ශාන්තිකර්ම වලට සමාන දේවල්  කරනවා. ඒ අවස්ථාවල ඔවුන් අදහන ආගම් අනුව ඔවුන්ගේ දෙවියෝ ලඟට යන්න මිනිසුන් ඉදිරිපත් වෙන්නේ කිසි පැකිලමකින් තොරවයි. ශාන්ති කර්මය ඇති අවස්ථාවේ දෙවියන් ලඟට යන්න අවශ්‍ය පුද්ගලයා එම ස්ථානයේ බිම නිදාගෙන  ඉද්දි කට්ටඩියා ඇවිත්  උල් ආයුධයකින් පපුව පළලා හදවත එලියට ගන්නවා. ඒ හදවත ලේත් සමඟ ආහාරයට ගන්නේ ගුරුන්නාන්සේගේ බලය වැඩි වෙන්නත් අර පුද්ගලයා දෙවියෝ ලඟට යන්නත් එක්ක. හදවත වගේම තවත් ශරීරයේ කොටස්  ඒ විදියටම ගැලවීම් ක්‍රම තියෙනවා.නමුත් දැන් එම රටවල පොලිසිය  මගින් කට්ටඩියන්ව  අත්තඩංගුවට ගැනීම සිද්ද කරනවා.


මට මුණ ගැසුන කෙනා  ඒ ගෝත්‍රයේ නෙවෙයි. මිනිසුන්ට සෙතක් වෙන දේවල්. කරන්නේ. ලේ මිශ්‍ර වෙන කාර්යක් සිද්ද කලොත් ඔහුගේ පලය නැති වෙනවා.මේ රටවල ඇති වගා ඉඩම් වලට කිසිම ආරක්ෂාවක් නැහැ. අප්‍රිකාවේ එතරම් ආහාර නැතත් කිසි දිනක මේ ඉඩම් වලට දිළින්දන්  බඩගිනි වුනත් ඇතුල් වෙන්නේ නැහැ.ඔවුන් දන්නවා ඒ ඉඩමට ඇතුළු වුනොත් සිද්ද වෙන්නේ මොන වගේ දෙයක්ද යන වග. හදිස්සියෙන් වත් ඇතුළු වුනොත් ඉඩමේ අයිති කාරයා නැවත එනකන් ඒ ඉඩමෙන් එලියට යන්න බැහැ ඒ සොරාට එලියට යන්න හිතෙන්නෙත් නැහැ. පලතුරු ගස් කොච්චර තිබුනත් අයිතිකාරයා ඇවිත් ඵල නෙලාගන්නකන් ගහ  යටට කිසිම  කෙනෙක් එන්නේ නැහැ. මේ සිදුවීම සාමාන්‍ය සිද්දියක් මේ රටවලට. 


ඇමරිකානු ජාතිකයෙක් ඝනාවට මිට අවුරුද්දකට කලින් ඈවිත් තිබෙන්නේ  මේ  ශාස්ත්‍ර ඉගනගන්න. මාස තුනකට පසු ඔහු යලිත් ගියේ ගොඩාක් දක්ෂ කට්ටඩියෙක් විදියට. තමන්ගේ දැනුම විදේෂකයන්ට විකුනන්න කිසිම විදියකින් මැලි වෙන්නේ නැහැ..  ඇමරිකානු පුද්ගලයත් එක්ක අපේ ආයතනයේ මිතුරා වැඩකරලා ඇති නිසා ඔහුත් පිළිගත්තා අමරිකානුවගේ හැකියාව.  මේ කාරනා ඇතැම් විට විහිළු විදියක් වෙන්න පුළුවන්. මේ දවල් පිළිගන්න කියල කියන්නෙම නැහැ ඒත් මෙහෙම දේවල් තියෙනවා කියල තහවුරු කරන්න පුළුවන් කියල මේ රටේ කිහිප දෙනෙකුගෙන් දැනගන්න පුළුවන් වුනා.විශේෂ ගහක කොලයකට මැතිරිමෙන් එම කොලය බිම දිහේ ඇවිදීම, ලංකාවෙ වගේ කනප්පුව ඇවිද්දවනවා වගේ. එක වර විශාල පුද්ගලයන් පිරිසක් සමඟ සටන් කිරීමේ හැකි බලයක් ලැබීම . ප්‍රශ්නයක් වෙන අවස්තාවලදී  එම වස්තුව නැතිකිරීම වගේ දේවල් උදාහරණයක්‌ විදියට කිසියම් ලියකිවිල්ලක් අපිට අවශ්‍ය ආයතනයට යැවීම උසාවියේ විභාග වෙන නඩුවක් ජය ගැනීම හෝ තමන් කැමති අයුරින් විසඳීම වගේ දේවල්. ඔහුට හැකි තවත් දෙයක් නම් යම් තැනක ඉඳල තවත් තැනකට අතුරුදහන් වීමේ හැකියාව. හදිසි අවස්ථාවකදී. මේ හැකියාව මිට අවුරුදු 100 කට කලින් සුලබ දෙයක්. එත්දැන් ඒම හැකියාව තියෙන පුද්ගලයෝ ඉන්නේ ඉතා සීමිත පිරිසක්. ඔහුගේ පියාට මේ හැකියාව තිබී නැහැ. 


තරුණයෙක් සමඟ හාවයි දුපතට යන අවස්ථාව.

එක් අවස්තාවක ඔහුත් ඔහුගේ පියාත් "මාලි" කියන රටට ගියපු දවසක ඇති වූ කරදරයකදී ඒ රටේ සිට එතනින් අතුරුදහන් වෙලා ඝානවට ඇවිත් තියෙන්නේ ඔහුගේ මේ බලය පාවිච්චියෙන්. ඒ එද්දී තමන්ගේ පියාත් රැගෙන  එන්න හැකිවෙලා තියෙනවා. ඒ බලය ඔහු පාවිච්චිකරන්නේ හදිසි අවස්ථාවකදී යුද්ධයකදී වගේ. ඒ වගේම තව කෙනෙකුට නොපෙනෙන්න ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවාලු. ඇමරිකාවේ මජික් ශුරයෙක් වෙන "ඩේවිඩ් කොපිෆිල්ඩ්" ගේ ඒක් දර්ශනයක් තියෙනවා ඔහු සිටින තැන ඉඳල හාවයි දුපතට තව තරුණයෙක  රැගෙන යන සජීවී දර්ශනයක්. ඇතැම් විට මේ දෙදෙනාම කරන්නව ඇත්තේ එකම ක්‍රමයකට වෙන්න පුළුවන්. ඔහුගේ ඇතැම් හැකියාවන් මා ඉදිරියේ පෙන්වීමටත් එම දේවල් වීඩියෝ ගත කිරීමටත් ඔහු කැමති වුනා. නමුත් අහුගේ ඇති අධික වැඩ රාජකාරි කම නිසා තවම මුණ ගැහෙන්න හැකියාවක් ලැබුනේ නැහැ.  එම වීඩියෝ දර්ශනත් වෙනත් පොස්ට් එකක් හරා ඉදිරිපත් කිරීමට   බලාපොරොත්තු වෙනවා.



මේ දර්ශනය අවට ලෝකයේ සුලභ දර්ශනයක් වැඩි වශයෙන් දෙසැම්බර් ජනවාරි කාලයයේ. ඒත් ගැහැණියෙක් සහ පිරිමියෙක්  මේ විදියට ඉන්න අවස්තාවක් ගැන අහල තියෙනවද? අප්‍රිකානු ගුරුකම් නිසා මේ වගේ දකින්න පුළුවන්. අසම්මත ඇසුරක  ඵලවිපාක. පහත වීඩියෝ ඒක එවැනි සිද්දියක්.මෙතනින් ගිහිං බලන්න පුළුවන්. "මෙය වඩාත් සුදුසු වැඩිහිටියන්ට. මෙම වීඩියෝවේ මැද හරියේ සුදු පාට කමිසයක්‌  ඇඳන් ඉන්න පුද්ගලයාගේ බිරිඳ වෙනත් පිරිමියෙක් සමග අනියම් ඇසුරක් පවත්වනවා කියන සැකය නිසා ගුරුකමක් මගින් අතටම අල්ලගන්න කරපු උපක්‍රමයක්. මේ කෙන්නියාවේ  දිළිඳු ගමක සිද්දියක්. එම ගමේ නිවාඩු නිකේතනයක ගියපු අවස්ථාවේ ඔවුන් දෙදෙනා ඒ විදියට හිර වීමෙන් පැය 4ක් වගේ කාලයක් ඉඳල තියෙනවා පුට්ටු වීමෙන්.පසුව පොලිසියෙන් නීතියට සම්බන්ධ නිලදාරීන් ද ඇවිත් දොර කඩා දෙදෙනා කොටු කරගත් අවස්ථාවයි මේ. පසුව එම කාන්තාවගේ සැමියාට හොර පුද්ගලයා කෙන්නියානු මුදලින් 20,000ක  මුදලක් දෙන්න පොරොන්දුව පිට ඔහු කට්ටඩියෙක් හරහා එම බන්ධනයෙන් නිදහස් කරනවා. වීඩියෝවේ   අවසානයේ තියෙන්නේ එම ගමේ ඇති මුදල් ගන්න ටේලර් මැෂින් ඒක. ඒ දේ දැක්කම හිතාගන්න පුළුවන් නේ ඒ ගමේ දියුණුව.

මේ ඇතැම් කරුනුත් ඔබට පිළිගන්න අමාරු ඇති ඒත් තවමත් හිතාගන්න අමාරු ගුප්ත හැකියාවන් මොවුන් සතුව තියෙනවා. සුළු සුළු ක්‍රම මටත් උගන්වන්න කැමතියි කිවුවා ඒ පිරිසක්ව පුදුම කිරීමේ හැකි ක්‍රියාවන්.
"අනියම් ඇසුරු අතටම අසුකර දෙනු ලැබේ"




12 Jun 2012

පාවෙන බෝඩිම

                       


                                             මම රස්සාව කරන්න පටන් ගෙන පළවෙනි අවුරුද්ද ගෙවුනා විතරයි. ඒ වෙද්දී මීගමුවේ පැත්තේ "නෙට් වර්ක්" එකකට ගිහිං කලින් හිටපු බෝඩිමට යන්න බස් නැතුව බස් හෝල්ට් එකක නිදාගෙන උදේ සිඟන්නේක් එක්ක නැගිටින්න වුන ඒ සිද්දිය වෙලා කාලයක් ගිහිල්ලා. පස්සේ වැඩකරන තැනට ටිකක් ලඟින් ඒ කාලේ වැටුපට ඔරොත්තු දෙන තැනක් හොයා ගත්ත්තා හරිම අමාරුවෙන්. වටේ පිටේ සුන්දරත්වයක් නැති රාත්‍රී 12 න් පස්සේ ඉතා නිශ්ශබ්ද ප්‍රදේශයක්. අළුත් කෙනෙක් ආවාම බෝඩිමේ පාලකයා අපිව සුර ලෝකේ මවා පෙන්වන සිද්දිය මදි නොකියන්න මටත් ලැබුනා. දවස් දෙකක් යද්දී  පළවෙනි වෙනි දවසේ ලැබුන විශේෂ සැලකිල්ල දෙවැනි දවසේ ඉඳල අනිත් අයටම වගේ මටත්  ලැබුනේ සියල්ලන්ටම සම තැන දෙන්න ඕන නිසා වෙන්න ඇති. අපි හිටිය උඩ තට්ටුවේ මට ලැබුණු ඇඳ තිබුනේ මුදුන් වහලට කෙලින්ම. ඒ වැහි කාලේ හැම වැහි දවසකම  මගේ කොට්ටේට වතුර බිංදු වැටිලා කෝට්ටේ පෙගිලා යනවා. ඇඳ පස්සට ඇද්දොත් කකුල් දෙකට වතුර වැටිලා හිරිකිත සීතලක් දැනෙන්නේ. මේ දුක ටික දවසක් ඉවසගෙන නොගැලපෙන අළුත් යාළුවොත් එක්ක ආමාරුවෙන් සතියක් ඉඳල ඒ අයිතිකාරයගේම වෙනත් ගෙදරකට මාරුවීමක් ගත්තා.


ඒ ගෙදර වෙනම පැත්තක බෝඩින් වෙන්න ඉඩ තිබුනත්  දැනට ඉන්නේ මම විතරක් නිසා මගේ පාසැල් කාලේ මිතුරන් දෙන්නෙකුත් කතා කරගත්තා සහයෝගයෙන් බෝඩින් ජිවිතේ කටුක කම විඳින්න.එක්කෙනෙක් කේක් බස් හෝල්ට් කතාවේත්  සමීරගේ පත්තෑයා කාපු වෙලේ  සිද්ධාලේප ගාපු අසංක. අනිත් කෙනා තවත් පාසැල් මිතුරෙක්. ගෙවල් විස්සක විතර පොඩි වත්තක් මැද්දේ තියෙන අපේ බෝඩිමේ දොර ඇරියාම කෙලින්ම වැටෙන්නේ  වත්ත මැද්දෙන් වැටිලා තියෙන පාරට. පාරෙන් එහා පැත්තේ ඇති ඇල අපිට තිබුන කරදර තවත් වැඩි කළා. ඇලට මායින්ව ඇති ගෙවල් වලින් විසි කරන ඉඳුල් ගෙයින් එලියට දාන හැම දෙයක්ගෙන්ම මේ ඇල පුරවල තිබුනේ මේ නිසා වත්ත  එහා කොනේ ඉඳල මෙහා කොනට වෙනකං ඇලේ වතුර බැහැලා යන්නේ ලොකුම වැස්සකදී විතරයි. එතකං මේ ජරාව ඇල ඇතුලෙම පල් වෙනවා.


මේ පල් වතුරෙන් නහයට දැනෙන ගඳ දැනුනත් ඇඟට දැනුනේ මා වවුලෙකුට වඩා පොඩ්ඩක් පොඩි මදුරුවෙක් විදින වේදනාව විතරයි.පල් වතුරේ හැදෙන මදුරුවෝ හිටියත් ඒ වටේ ගෙවල් වල කිසි කෙනෙක් මදුරුවන්ට බය වුනේ නෑ ඩෙංගු නොවන විත්තිය දන්නා හින්දමයි. හවස වැඩ ඇරිලා ගෙදර  ඇවිත් නාල තුන් දෙනා  යන්නේ මදුරු දැල් යටට.  අපේ දවසේ හවස් යාමේ ගත වුනේ  මේ මදුරු දැල යට. අපි ඉන්නේ මොන තරම් අපිරිසිදු තැනකද කියල තේරුම ගියපු නිසා අපි තුන්දෙනාට අමතරව කිසි කෙනෙකුට අපේ මේ සුන්දර වාසස්ථානය ගැන දැනගන්න සැලැස්සුවේ නෑ. ඒ වෙද්දී ගිටාර් වාදකයෙක් වෙන්න ආසාවෙන් හිටපු මට අනිත් දෙන්නගෙන් ලැබුනේ ගැරහීම් විතරයි.  ඇලෙන් එන "පල් පුවක් ගඳත්" මගේ ගිටාරයෙන් එන ශබ්දයත් ඒ දෙන්නට ජිවිතේ දුක තවත් වැඩියි මට වඩා. ඒත්  මාව අඩපණ කරන්න හැදුවත් මටම බෑ කියල නවත්වනකන් ඒ දෙන්නට මගේ ආසාව නැති කරන්නම් බැරි වුනා. ඒත් ගිටාරයේ ශබ්දයට මදුරුවෝ අඩු වීමක් තිබිල තියෙන බව පස්සේ දවසක මට ඒ දෙන්නගෙන් දැනගන්න ලැබුනා.


ආරක්ෂාව ගැන තත්ව සහතිකයක් දීලා තිබුන නිසා අපි බයක් නැතිව රස්නේ දවස් වලට දොර , ජනේලේ ඇරගෙන නිදාගන්න පුරුදු වෙලා හිටියේ. සොර සතුරු කරදර ඒ වත්තේ වෙලා නැති නිසා. වටේටම කරදරයක් වුන හොරු ටික ජිවත් වුනේ අපි හිටපු වත්තේ නිසා තමන්ගේ වත්තේම ගෙවල් වලට පැනල මංකොල්ල කෑම් කරන්නේ නෑ කියන ඒක බෝඩිම් පාලකයා හොඳට දන්නා නිසා ඒ වගේ සහතිකයක් දුන්නේ. මේ වත්ත කොළඹ ඇති මුඩුක්කු ප්‍රදේශයක් නොවුනත් ඒක ළඟ ගෙවල් ගොඩාක් තිබුනා . රජයේ රැකියාවල් කරන හා තවත් වැදගත් රැකියා කරන මිනිසුනුත් මේ වත්තේ ජිවත් වෙනවා. රාත්‍රී ඇඳුම පිටින් වත්ත මැද්දෙන් ගමන් කරන කාන්තාවන්  ඇසට (අ)ප්‍රිය  දසුන් මහා දවාලටත් දකින්න පුළුවන්.


එදා දවසේ රෑ හිටියේ මම විතරයි ටිකක් රස්නේ නිසා ජනේලය ඇරලා දොරත් භාගෙට ඇරගෙන නිදාගත්තේ පොඩි හරි සිතල හුළඟක් වදින්න ඕනේ නිසා මදුරු දැල තිබුනොත් හුළඟ බාල වෙන නිසා රෑ 10 න් පස්සේ මදුරුවොත් අඩු නිසා  මදුරු දැල   උඩ එල්ලා නිදාගත්තේ. එළිවෙන යාමේ මහා වැස්සෙ "හෝ" හෝ" සද්දෙත් වතුර බිංදු වහලට වැටෙන ශබ්දයත් මම ආසකරන සුන්දරම ශබ්ද දෙකත් එක්ක හීතල හුළඟත් නිසා ඔලුවේ ඉඳල පොරවාගෙන හොඳට නිදාගන්න පුළුවන්. ඇරලා තියෙන ජනේලෙන් එන හිරිකඩ තවත් අමුතු ගතියක් ගෙනාවා. ඒ ශබ්ද වැඩි වෙලා ඇහුනේ නෑ තිබුන සනීපෙට හොඳට නින්ද ගිහිං.  උදේ ඒක සැරේම අත ඇඳෙන් එලියට වැටෙද්දී කවදාවත් නැති සීතලක් "ජබුක්‌..!!" සද්දයකුත් ඇහුනා. මිට කලින් නින්දෙන් ඒ වගේ සීතලක් සද්දෙකුත් ඇහිලා නැති මම  ටිකක් කල්පනා කරලා අමාරුවෙන් ඔලුව උස්සල බලද්දී  බලන්න ලස්සනයි  පුටු දෙකත් මේසයත්  මගේ සපත්තුත් කාමරේ තැන් තැන් වල පාවෙනවා. ඇරලා තිබුන දොරෙන් හා ජනේලෙනුත් කමරේට ආපු වේලුනු පොල්ලෙලි විසිකරපු සපත්තු සෙරෙප්පු  වගේ දේවල් කාමරේ පිරිලා. ඇලේ තිබුණු කුණු රොඩු  ගෙවල් වලින් දාන ඉඳුල් හැම ජරාවක්ම හේදිලා ඒ වතුර මගේ කමරේ පිරිලා ඇඳ මිට්ටම ලඟට වෙනකං.


                                             මෙහෙමයි කාමරේ උදේ තිබුනේ

ඒ වත්තේ මිනිස්සුන්ටනම් ඒ දේ එච්චර ගානක් නැති බව කතා කරන දේවල් වලින්, හිනාවෙන් තේරුනා එදා ඉස්කෝලේ යන්නේ නැති පොඩි වුන් බෝට්ටු හදල පා කරන සිද්දි මම ඇඳ උඩට වෙලා බලන් හිටියේ. කුණු රොඩු අස්සේ මගේ ඒක සෙරෙප්පුවක්  තිබුනත් අනිත් ඒක දක්කින්න තිබුනේ නෑ. පාවෙලා ගියපු අනිත් සෙරෙප්පුව ඇතුලේ වෙනත් කාමරේක  තියෙනවා දැකපු තව කෙනෙක් ගෙනත් දුන්නත් මම මේ ජරා වතුරටනම් බැස්සෙම නෑ.  වත්තේ ටිකක් වැඩිහිටි  කෙනෙක් ඊට කිලෝ මීටරයක් විතර දුරින් ඇති සොරොව්ව ඇරලා විනාඩි පහළොවක කාලයක් ඇතුලත වතුර ඔක්කොම බැහැල ගියා. වතුර බැහැල ගියාත් ඉතුරු වුණු මඩ, කුණු රොඩු, අයින් කරලා පෙගිච්ච සපත්තුත් දාගෙන දවල් ඔෆිස් යද්දී ආයතනයට නොදන්නවා සේවයට වාර්තා නොවුන නිසා  වරුවක පඩි කපාලා.


ගිය සැරේ නිවාඩුවට ගියපු වෙලේ පරණ මතකයන් බලන්න ඒ ලඟට ගිහිං ඈතට වෙලා බලන් හිටියා .ඉස්සෙර  අපි වගේම තවත් පොඩි කොල්ලෝ දෙන්නෙක් ඒ බෝඩිමේ ජිවත් වෙනවා. අපි විඳපු දුක උනුත් දැන් විඳිනවා ඇති.. පව් වැඩේ..

5 Jun 2012

පාසැල ජිවිතේ තවත් අඳුරු දවසක්..

                 
                             අපි  හතර වසරේ ඉද්දි පිරිසිදු කිරීම තිබුනේ එළියේ. මිදුල අතු ගාන්න.හතර වසර පටන් ගද්දි මුලින්ම ලැබුනේ  පංති කාමරය පිරිසිදු කරන්න. ගෑණු ළමයි ගොඩේ ඉන්න දැන් වගේ නෙවෙයි ඉස්සර අපි පොඩ්ඩක්වත් කැමති නැහැ.පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න තමයි බැලුවේ. ගෑණු ළමයින්ගේ පුටු අස්සේ, ඩේස් යට කුණු අතු ගාන්න අපි කැමති වුනේම නෑ. මොකවත් නිසා නෙවෙයි ගෑණු ළමයි කියන කථා ඉවසන්න බැරි කමට. මාස දෙකකට විතර පස්සේ පංති භාර මිස්ට වැඳලා මිදුල අතුගාන්න පුළුවන් විදියේ සුහද මාරුවක් ගත්තා. ඒකටනම් ගෑණු ළමයිනුත් කැමති වුනා මොකද එයාල අව්වට අකමැති නිසා.


 ඒ කාලේ අපේ පංති නායකයා දුමින්ද. දුමින්ද 2 වසෙරේ ඉඳලම මම හිටපු පංතියේ හිටියේ. ඒ නිසා මම දිමියා ගැන දන්නවා හොඳට. නායකත්ව ලක්ෂණ හොඳට තිබුන කෙනෙක් එත් ටිකක් කපටි. තුන වසරේදී  තවත් කෙනෙක් එක්ක සම සමව සල්ලි දාලා බබල්ගම්  එකක් අරං දෙන්න හවුලේ කාපු හැටි මතකයි. ඒ සිද්දිය "හතරරියන් හා දෙරියන් කවි පන්තිය වගේ". ඒ ගත්තු බබල්ගම් ඒක දුමින්ද සම්පුර්ණයෙන්ම කටේ දාගෙන විනාඩි 10 ක් හපල ඩිලාන්ට දුන්නේ ඉතුරු ටික ඉස්කෝලේ ඉවර වෙනකන්ම හපලා ආයේ දෙන්න කියන පොරොන්දුවෙන්. පළවෙනි විනාඩි දහයේ තියෙන රසය ඊට පස්සේ නෑ ඩිලාන් දවසම හපන්න පුළුවන් නිසා දෙවනියට කන්න තීරණය කලා. හොඳම හරිය දුමින්ද රස බලල හාපෙ විතරක් ඩිලාන් බඩේ හුලන් පිරෙනකන්ම හැපුවා.


බ්‍රහස්පතින්දා මිදුල අතුගාන කණ්ඩායමේ පංති නායකයා වුන දුමින්දත් හිටියා. ගෙදර ලඟින් උදේ තියෙන බස් ඒක ඉස්කෝලේ ලඟට වෙද්දී ඉස්කෝලේ පටන් ගන්න ලඟයි. හැමදාම මම අතුගාන්න යද්දී අපේ කණ්ඩායම අතුගාල ඉවරත් වෙලා සෙල්ලන් කරනවා. වෙන පංති වල වගේ නෙවෙයි අතුගාපු නැති කෙනාගේ කොටස ඉතුරු කරන්නේ නැහැ. තනියෙන් හරි ඉන්න කෙනා අපේ පංතියට අයිති කොටස පිරිසිදු කරනවා. හැම දාම දුමින්දට කිවුවාම කියන්නේ "හරි හරි කමක් නෑ" අපේ පාරේ බස් ගැන හොඳට දන්න නිසා මට කිසි ප්‍රශ්නයක් වුනේ නෑ.එත් අපේ පංතිභාර  මිස් වුනේ හතර වසරේ ඉන්නකං මගෙන් පළිගත්තා වජිරා මිස්. දුමින්දගේ හොඳ කම නිසා මට කිසි ප්‍රශ්නයක් වුනේ නෑ. අන්න නායකයෝ.


එත් මට මේ දේ හරි ප්‍රශ්නයක් වුනා මගේ හිතට. ඒක දවසක් වත් මගේ කොටස ඉවර කර ගන්න බැරි වුනානේ. මම එන බස් ඒක තමා අපේ පාරෙ ඉස්කෝලේ පැත්තට උදේන්ම යන  බස් ඒක. කොහොමත් ඉස්කෝලේ පටන් ගන්න කලින් ඉස්කෝලේ ලඟට යන නිසා කාටවත් කරදරයක් නෑ. ගුරුවරු එන්නෙත් මේ බස් එකේනේ. වජිර මිසුත් ආවේ අපිත් එක්ක. එත් මම බස් එකේ නොගිහින් වෙනත් විදියකින් වෙනදට වඩා උදේන්ම පාසලට යන්න විදියක් ගැන කල්පනා කලා. එතකොට තමා මතයක් වුනේ බස් අජිත් ගේ මල්ලි නිශාන්ත්ව. නිශාන්තට ඒ කාලේ පොල්ලට උඩින් කකුල දාල බයිසිකලේ පදින්න පුළුවන්. ඒ වෙද්දී මම පැද්දේ කුඩුව ඇතුලේ. කලින් කථා කරගත්තු විදියට නිශාන්ත බස් ඒක නවත්වන තැනට බයිසිකලෙන් එනකං බලන හිටියත් නිශාන්ත වෙනදා වගේම ආවේ බස් එකේ යන්න සුදානමින්. බයිසිකලේ ගැන ඇහුවාම කිවුවේ "ඩිෆාරන්සල්" එකේ ප්‍රශ්නයක් තියන නිසා පදින්න බැහැලු. පස්සේ කාලෙක දැනගත්තේ ඩිෆාරන්සල් තියෙන්නේ ලොකු වාහන වල විතරයි කියල. ඌ මාව රැවට්ටුවා. හවුලේ කරන වැඩ එහෙමම අමතක කරලා දැම්මා.


මම තනියෙම ඉස්කෝලේ යන්න තීරණය කලා. මට ප්‍රශ්නයක් වෙන්න කලින් ඒ දේ නැති කරගන්න මම ගත්තු උත්සාහය ගැන උඩ ඉන්න කිසි දෙවි කෙනෙක් දැක්කේ නෑ. උදේ හයට විතර ගෙදරින් ගියොත් ඒක දවසක් හරි මිදුල අතුගාන්න උදවු වෙන්න පුළුවන්. ඊට පස්සේ සතියේ උදේන්ම යන්න අම්මගෙන් අවසරෙත් අරගෙන යන්න පුළුවන් කෙටි පාරවල්  වල  ඊට කලින් දවසේ  ඇවිදලා වලවල් බෝක්කු ගැන හොඳ දැනීමක් ගත්තා.


උදේන්ම නැගිටලා කට්ට කරුවලේ හයට විතර ගෙදරින් පිටත්වුනේ  අම්මගේ බැනුම් සද්දෙත් එක්ක. අද නම් කොහොම හරි මිදුල අතුගාල මම වෙනුවෙන් මෙතෙක් කල් කුණු ඇදපු මගේ යාළුවො වෙනුවෙන් ප්‍රතිඋපකාර කරන්න ඕන කියන හොඳ ප්‍රාර්ථනයක් එක්ක මම එලියට බැස්සේ. එත් මට වැඩි දුර යන්න ලැබුනේ නැහැ. පාර දෙපැත්ත කරුවලයි ගඟ අයිනේ කෙටි පාර දිගේ යද්දී උණ පඳුරු අස්සේ ඉඳන් කෑ ගහන කොරවක්කන්ගේ සද්දේ හුළඟට හෙළ වෙන වියලි කෙසෙල් කොළ, අවෙලාවේ මම දැකපු නිසා ඩොන්කා  ගස් වල වහල හිටපු වවුලු අත්තටු ගහල පියාබිද්දී ඇහෙන සද්දේ නිසා මම බය වෙලා හිටියෙ. ආයෙත් ගෙදර ගියේ තව ටිකක් එලිය වැටෙද්දී යන්න හිතා ගෙන. 


තව ටිකක් එලිය වැටෙද්දී මම කලින් දවසේ  හොයාගත්තු  පාරවල් දිගේ ඇවිදගෙන ගිහිං අපි  උදේට බස් එකට නගින තැනයි ඉස්කෝලෙයි අතරේ මැද හරියෙන්  වගේ තැනකින් මම මහා පාරට වැටුනා. පාර දෙපැත්තේ ඉන්න මිනිස්සු අහන ප්‍රශ්න වලට උත්තර දීලාම එපා වෙලා. කවදාවත් නැතුව පයින් යද්දී මිනිස්සු මොනවා කියනවා ඇත්ද. කාටවත් ඇත්ත විස්තරේ කියන්න බෑ. තව ටික දෙනෙක් මගේ පස්සෙන් එන්න හදන්නේ වෙන මොනවා හරි ප්‍රශ්නයක්වත් නිසාදෝ කියල. ඉර එළියත් දැන් ටිකක් වැටිලා කණ දෙපැත්තෙන් දාඩියත් බේරෙනවා. හැම හංදියක් ලඟම ඉස්කෝල බස් ඒක එනකං ඉන්න ළමයි මගේ දිහා බලන්නේ හරි අමුතු විදියට වට පිට බලද්දී මට දැනෙනවා ටිකක් දවල් වෙලා වගේ. සමිරලගේ ගේ ටිකක් පහු වෙද්දී,  ඇඟටත් ටිකක් මහන්සි එත් හිතටනම සතුටුයි ඉස්කෝලෙට තියෙන්නේ තව ටික දුරකින් නේ. සමීරගේ ගෙදර පහු වෙලා වැඩි දුර යන්න ලැබුනේ නැහැ  මගේ පිටි පස්සෙන් ඇහුන ලොරි හෝන් සද්දෙට මම පාරේ කාණුවට බැහැල අයින් වුනේ ඒ ලොරිය  ලොකු වැඩි නිසා සද්දෙන් මම දන්නවා ඒ කාගේ ලොරියද කියල. එත් ඒ ලොරියක් නෙවෙයි අපි හැම දාම උදේට ඉස්කෝලේ යන ඩිපෝ බස් ඒක. බස් ඒක මාව පහු කරන යද්දී මට හූ කිවුවේ, හිනා වුනේ කොළ කෑලි වලින් ගැහුවේ මම එද්දී පාර දෙපැත්තේ හිටපු උන් ටිකයි මම නගින තැනින් නගින නිශාන්තල කට්ටිය.


                                             බස් ඒක පහුකරන් යද්දී  කේන්ති ගියපු මම

බස් ඒක පස්සෙන් දිවුවත් වැඩක් වුනේ නැහැ. කිලෝ මිටර හතරක් විතර ඇවිදන් ඇවිල්ල  දුවන්න කකුල් දෙකට පණ නෑ. මෙච්චර උදෙන් ඇවිල්ල කාලයක් හිතේ කැකෑරෙමින් තිබුන දේ ඉෂ්ඨ කරගන්න වෙන්නේ නැහැ කියන දුකයි බස් ඒක පහු කරන ගියපු කේන්තියත් එක්ක මම ඉස්කෝලේ ලං වෙද්දී  "ටිලිං".... "ටිලිං"... සද්දේ ඇහුනා ඒ ඉස්කෝලේ පටන් ගන්න සීනුව. ඉතුරු ටිකක් අමාරුවෙන් ඇවිදලා ගේට්ටුව ලඟට එද්දී ගාථ කියන්න පටන් ගෙන. විනාඩි දහයක් විතර එළියේ ඉඳන් ගාථ කියල ඉස්කෝලෙට ඇතුල් වෙද්දී ලොකු සර් ( ඒ කාලේ ප්‍රින්සිපල්ට කිවුවේ ලොකු සර් කියල) වේවැලත් වන වනා ඉද්දි මගේ බඩ පපුව පිච්චිලා  ගියා.  පරක්කු වුනාට දඬුවම විදියට ස්කෝලෙ ගේට්ටුව ලඟ ඇති කුණුයි, බෝ ගහෙන් වැටෙන කොළයි ඔක්කොම සුද්ද කරලා පන්තියට ගිහිං එදා දවසම උතුරා යන සන්තෝසෙන් ඉගෙන ගත්තා. හතර වසර හිටපු මුළු අවුරුද්දෙම මම අතුගාන වැඩේට සම්බන්ධ වුනේ නැහැ.
Related Posts Plugin for WordPress, Blogger...