22 Mar 2012

අම්මගේ පරිප්පු හොද්ද හා මගේ තිත්ත පැටියා.

                                


                                    එදා ඉරිදා දවසක් උදේ ඉඳල ගෙදර හිටියේ අම්මයි මමයි විතරයි. ඉරිදා දහම්පාසල් යන්න තිබ්බත් උදෙන්ම බොරු ලෙඩක් අරන් ගෙදර නැවතුනේ දහම්පාසැල් ගියාට මගේ හිතට කිසි ගතියක් දැනුනේ නැති නිසා.දහම්පාසෙලේ ඉන්න කොල්ලෝ අපේ ගමේ වුනාට මම උන්ව වැඩිය අඳුරන්නේ නැහැ.උන් මාව ගනන්ගන්නෙත් නැහැ මම අලුත් කෙනෙක් නිසාත් වෙනත් ඉස්කෝලෙක ඉන්න නිසාත්.

කුකුළා නැතිවුනාට පස්සේ මම ආයෙත් තනි වුනා.ගෙදරට  හුරතල් සතෙක් ගෙන්න කියලා ඉල්ලුවත් කිසිම සතෙක් මට ලැබුනේ නැහැ.ඒ වෙද්දී මාළුවන්ට කැමැත්තෙන් හිටපු මම මාළු ටැංකියක් ඉල්ලලා කරදර කරත් කූඩු වල දාලා ඇතිකරන, ටැංකි වල ඇතිකරන, සත්තුන්ට අපේ ගෙදරින් කිසි අවසරයක්  ලැබුනේ නැ.වටේ ගෙවල්වල ඇති කරන ගිරවු සැළලිහිණි වගේ සතුන් අපේ ගෙදර ඇතිකරන්න කිසි අවසරයක් නැති නිසා මම කෑම අරගෙන ඒ ගෙවල් වලට ගිහින් වුන්ට කෑම දෙනවා.අහල පහල ගැට ගහල තියෙන වහු පැටියෙක් එතනින් ලිහාගෙන ඇවිල්ල අපේ වත්තේ ගැට ගහන්නේ කිසිම හුරතෙලෙක් නැති මට හරක් පැටියෙක්වත් ඇති කරන්න හිතාගෙන.ගමේ කොහේ හෝ වසු පැටියෙක් නැති වුනාත්  හරක් අයිති කාරයෝ කෙලින්ම එන්නේ අපේ ගෙදර වත්තේ බලන්න. ඒ තරම් වැඩේ දරුණු වුනා.

ඉස්කෝලේ ගිහිං ආවගමන් මම ගේ ඉස්සරහ තියෙන පොඩි ලඳු කැලෙට යන්නේ ගහක් බඩගාල ලේන් කුඩුවක්වත් තියෙනවද කියල බලන්න.හදිස්සියෙවත් පැටවූ හිටියොත් එකෙක් කුඩුවේ තියල අනිත් එකාව අරන් එන්නේ ඒ ලේන් අම්මා ගැන හිතලා මොකද පැටවූ දෙන්නම නැති වුනාට වඩා එකෙක් ඉන්න එක ගැන ඒ ලේන් අම්මට සතුටු වෙන්න පුළුවන් නිසා.එත් අපේ අම්මා මං ගැන  නොහිතා ඒ පැටියා ආයෙත් ඒ කුඩුව ළඟටම ගිහිං දානවා.  මට ඒ වෙද්දී අක්කාගේ සෙල්ලම් ගෙදර මුරකාරයගේ චරිතේ කරලා ඇති වෙලා තිබුනේ.ඉතින් මම පුළුවන් තරම් අක්කට නොපෙනෙන්න තමයි  හිටියේ.ඒ වෙද්දී සුරතල් සතෙක් ගෙදර ඇතිකරන්න ගත්තු හැම උත්සාහයක්ම  සාර්ථක වුනේ නැහැ.

අගෝස්තු මාසේ නිසා අපේ පළාතට හොඳටම පායනවා.ගඟේ වැල්ලත් පෑදිලා.ගඟේ වතුර අඩු නිසා කිසි අවසරයක් නැතිව ගඟට යන්න පුළුවන් කමක් තිබුනා.ගඟ ඉස්සරහම අපේ ගේ තිබුනාත් මම වතුර වැඩි කාලෙට ගඟ ළඟටවත් යන්නේ නැහැ.මාළු ටැංකියට ආසාවේ උපරිමයේම හිටපු මම ගඟේ ඉන්න මාළු දිහා බලාගෙන ඉන්න තරම් ආසා කලා.මාළුවෙක් අල්ලන්න ගියාත් අහුවෙන්නේ ඉස්සෝ.වතුර යට තියෙන කොටන් වතුරෙන් ගොඩට දාපු ගමන් කොට ඇතුලේ ඉන්න ඉස්සෝ එලියට ආවත් කවදාවත් මාළුවෙක් නම් එහෙම ආවේ නැහැ.මාළුවෙක් අල්ලනවනම් දෙන්නෙක්ගේ සහයෝගය ඕනේ.අක්කා ඇඳන් ඉන්න  සාය තමයි සහයෝගයට ගන්නේ. තනියෙන් අල්ලනවනම් කුස්සියෙන් කිරිගොට්ට ගෙන්න වෙනවා.අම්මා කිරිගොට්ට ගන්නවා දැක්කොත් අනිවාර්යෙන් දන්නවා ධීවර වැඩක් කරන්නේ කර අදින බව.එයට දඬුවම වෙන්නේ නිවාස අඩස්සියට පත් වීම.

එදා උදෙන්ම ගඟට බැස්සේ වැල්ලේ වලක් හාරලමායි.වලට වතුර පුරවල ගඟේ මාළුවා ගඟට පොඩ්ඩක් එහායින් තියලා ඇති කරන්න හදන්නේ ගෙදර ගෙනියන්න දෙන්නේ නැති නිසා.ටික වෙලාවකින් ගං කන්ඩිය අතරේ ඉඳල ටිකක් ලොකු තිත්ත පැටියෙක් අල්ලගන්න පුළුවන් වුනා.ඌව අතේ තියාගෙන ටිකක් ඌගේ හැඩ බලල  මමම හදාගත්තු  ටැංකියට ඌව දැම්මා.එදා මට දැනුන සන්තෝසේ මට කුකුළා ලැබුණු දවසේ දැනුනා වගේමයි.

වල වටේ ඌ පිනන දිහා හරි ආසවෙන් බලන් හිටියේ.වටයක් කැරකිලා උඩ පනිනවා. පැනල යන්න තමයි උගේ උත්සාහය.ඒ ගැන මම විශේෂයෙන්ම හිතපු නිසා කලින් සැරේ වගේ නැතිව වල ගැඹුරටම හාරලා වතුර වල භාගෙට පුරවල  තිබුණු නිසා මූ කොච්චර උඩ පැන්නත් යන්නනම් බැහැ.ගෙදර දුවල ගිහිල්ල පාන් කෑල්ලක් බත් ඇට ටිකක් ගෙනත් දැම්මේ කෑම ටිකක්වත් දෙන්න ඕනෑ නිසා.රවුම් කැරකිලා කෑම කාලා මහන්සි නිසා මම පොඩි කොට කැල්ලක් දැම්මේ කම්මැලි හිතුනාම ඌට හැංගෙන්න.


ටිකක් වෙලා බලාන ඉඳල ආයෙත් ගෙදර දුවන්නේ සැරින් සැරේ අම්මට පෙන්න නොහිටියොත් මාව හොයාගෙන අම්මා එන නිසා නැත්නම් ගෙදර ගියපු වෙලාවක ආයෙත් ගෙයින් එලියට එන්න  දෙන්නේ නැ. ඒ වෙලාවේ අම්මා දවල්ට උයමින් හිටියේ.දවල්ට උයනගමන් මට කතාන්දර කියල දෙනවා.ඊලඟ දවසේ දහම් පාසල් නොගියොත් ලොකු හාමුදුරුවන්ට කියනවා කියල මාව බයකරනවා.හැබැයි එදා අම්මා කේන්ති යන කිසි වැරද්දක් මම  කලේ නැහැ.දවල් එකට විතර ආයෙත් දිවුවේ වැල්ලේ ටැංකිය වෙතට.ඒ යද්දී උදේ පින පින හිටපු මාළුවා සුදු බඩ උඩු පැත්තට හිටින්න ඔළුව පතුලට හිටින විදියට  ටැංකිය වටේටම ඔහේ කැරකි කැරකි හිටියා.කැරපොත්තෙක්,ගෙම්බෙක්,වගේ සතෙක් උඩු බැලිව  හිටියොත් කවදාවත් උන්ට හරි විදියට ඉන්න බැහැ කාගේ හරි උදවුවක් නැතිව.මමත්  ඌව අරගෙන හරි පැත්තට හරවල තියන්න හිතාගෙන ටැංකියට ඇත දැම්මේ මූට උදවුවක් කරන්න. ගඟේ හිටියනම් වෙනත් සහෝදර මාළුවෙක්ගේ හරි ඉස්සෙක්ගේ හරි උදවු තියෙනවා නේ මේ ටැංකියේ කවුරුවත් නැති නිසා මම ඌට උදවුවක් කරන්න දෙපාරක් හිතුවේ නැහැ.අනිත් එක සතෙක්ට උපකාර කිරීම පිංසිද්ද වෙන වැඩක් කියල කලින් දවසක දහම් පාසලේදී කියල දුන්නා. අත  දැම්මට වඩා  වේගයෙන් ආයෙත් ගත්තේ මගේ අතට වේදනාවක් දැනුන නිසා.


ටිකක් වෙලා කල්පනා කරලා බලද්දී තේරුනේ කවුරු හරි මේ ටැංකියට උණු වතුර  දාල නේ කියල.මගේ අත පිච්චුනත් මම මාළුවා කෙලින් කරලා තිබ්බත් ඌ ඉන්නෙම උඩු බැලි අතටමයි.ටිකක් වෙලා කොටේ අස්සේ හිර කරලා  තිබුනත් ටික වෙලාවකින් ආයේ උඩ මතුවෙනවා.කරන්නම දෙයක් නැති තැන මම ඌ අරගෙන අයෙත් ගඟට දැම්මේ හුරු පුරුදු තැන නිසා ඌට සනීප වෙයි කියලා හිතුනු නිසා.එත් ඌ ඉන්නෙම උඩු බැලි අතට.ටිකකින්  තේරුණා අවුවේ රස්ස්නේට ටැංකියේ වතුර රත්වෙලා රස්නේ වැඩි කමට ඌ ටැංකියේම තෑම්බිල මැරිලා කියල.


අමාරුවෙන් අල්ලගත්තු මාළුවා එහෙම ලේසියෙන් ගඟේ පා කරලා යවන්න මට හිතුනේ නැහැ.ඌ අතට අරගෙන උගේ දත් කියක් තියේද වරල් මොනවගේද, පාට කියාක්‌ තියේද,මාළු බිත්තර දාන තැන මොනවගේ ද, කියල සියුම්ව පරික්ෂා කලා.ආයෙත් ඌව ගඟේ ඔබල  අරගෙන උඩ සාක්කුවේ දාගෙන ගෙදර ගියේ නිකන්ම විසිකරන්න ලෝභ හිතුන නිසා.
          
අම්මා ඒ වෙද්දී පරිප්පු වගේ දෙයක් හදනගමන්  හිටියේ.දෙපාරක් තුන්පාරක එහාට මෙහාට ගිහිං වට පිට බලද්දී අම්මා හිතුවේ මට බඩගිනි ඇති කියලා.හොදි එක "උතුරනවානම් කියන්න" කියල අම්මා ගියේ තව ටික වෙලාවකින් ගෙදර හැමෝම එන නිසා කෑම මෙසේ හදන්න වෙන්න ඕනේ.එතෙක් වෙලා සාක්කුවේ හිර කරන් හිටපු මාළුවාව අතට ගත්තේ නිකමටනම් නෙවෙයි.අනිත් අය කන්න කලින් මට කෑම ඕනේ වලදෙ ඉඳල කෙලින්ම පිඟානට බෙදන්න කියල අම්මට කිවුවේ මට අසාධාරණයක් වෙයි කියල බයට.


හොඳ සිරිත් පුරුදු වෙලා හිටපු මම කෑමට පෙර සබන් දා අත හෝදන්න කවදාවත් අමතක කලේ නැහැ.අම්මා  පුරවල දුන්නු වතුර බේසම ළඟ අත හෝදන අතරේදී කුස්සියෙන් ඇහුනේ "ඊඊඊඊඊඊඊයා....."චෙඑඑඑඑඑඉ වගේ සද්දයක්.මම සබන් පිටින්ම කුස්සියට දෙවුවේ මොකක්ද වෙලා තියෙන්නේ කියල දැනගන්න.මොකද ඒ වෙද්දී උණු උණු හොදි එකක්නේ අම්මා බෙදා බෙදා හිටියේ මට ටිකක් බය හිතුනා. මම එතනට ලං වෙද්දීම  මට ලැබුණු ගුටි කිහිපයක් විතරයි."මොකක්ද මෝඩයෝ මේ කලේ.දැන් කොහොමද මේකේ කන්නේ.ජරාවනේ  සම්පුර්ණ හට්ටියම විසිකරන්න වෙනවා ."පරිප්පු එකේ මාළුවෙක්". මම කිවුවත් එකේ ජරාව නැහැ කියල පිළිගත්තෙම නැ.ඌ ඉන්නෙත් ගඟේ වතුරේ සාක්කුවේ දාගන්න කලින් හොඳට හෝදලා දාගත්තේ.ඒත් මට ඒ මාළුවා පිරිසිදුයි කියල ඒත්තු ගන්නවන්න බැරි වුනා.අපිරිසිදුනම් මම ඇඳන් ඉන්න කමියේ අම්මා හරියට හෝදලා නැති වෙන්න ඕනේ.


උඩ සාක්කුවේ මාළුවා  හිටපු නිසා මාළුවාගේ ඉස්ම බේරිලා කමිසේ ගෑවුන දේවල් ඇඟේ ගෑවිලා  මුළු ඇඟම පීලි ගඳයි.එතෙක් වෙලා බඩගින්නේ හිටපු මාව ඇදගෙන ගඟට අරන් ගියේ මාව නවාන්න.දෙවැනි සැරෙත් අම්මා පරිප්පු හදනකම් ගෙදර හැමෝම මාව කෑවා.හැම ඉරිදාම දහම්පාසැල් යන්න මට සිද්ද වුනා.දහම් පාසලේ තුන වසරේ හිටපු මම පන්සලේ ලොකු හාමුදුරුවොන්ට කියලා අයෙත් දෙක වසරට  දැම්මේ මුල ඉඳල ආයෙත් ඉගන ගන්න ඕනේ නිසාලු.නෑමට හැර අනිත් කිසම දෙයකට ගඟ පැත්ත පළාතේ යන්න කිසිම අවසරයක්  ලැබුනේ නැහැ.ආයෙත් අකමැත්තෙන් වුනත් අක්කාගේ සෙල්ලම් ගෙදර මුරකාරයා වෙන්න සිද්ද වුනා.


~~අසර්~~


ප/ලි: මට අදටත් හිතාගන්න බැහැ එච්චර ආසාවෙන් ඇතිකරපු මාළුවාව හොදි එකට දාන්න හිතුනේ ඇයි කියලා.පසු කාලේදී තේරුනා එකේ වැරැද්ද?.

14 Mar 2012

සුනීතාගේ මංගල තෑග්ග

                        


                                                       


                                          මගේ යාලුවෙක් වුනු සමන් මට වඩා පන්ති දෙකක් ඉහලින් ඉගන ගත්තේ.සමන්ගේ අක්කා සරසවි අධ්‍යාපනය හදාරමින් හිටියේ.කාලෙකට පස්සේ  කැම්පස් ඉවර වෙලා ගෙදරට වෙලා ඉද්දි අපි එහෙ ගියපු දවස් වලට දකිනවා කැරකි කැරකි ඉන්න සමන්ගේ අක්කාව.ඒ කාලේ ටිකක් ගැමි ගතිය තිබුණු වෙල් යායක් ළඟ තිබුණු ගෙදරක මෙයාලා ජිවත් වුනේ.ඒත් සමන්ලගේ අක්කා සුනීතා කැම්පස් ගියපු මුල් දවසේ ඉඳල හැසුරුනේ බටහිර පන්නෙට.ගමේ ඉඳල කොළඹ ගියාම කොළඹ දකින්න ඇත්තේ අමුතු විදියට වෙන්න ඇති.ඒත් ගමේ ආවම ගම දැක්කෙත් කොළඹ විදියට.


වෙනද වෙළෙන් එහා පැත්තේ තියෙන ඇයගේ ආච්චි අම්මගේ ගෙදරට යන ඒක පවා මග ඇරියේ වෙල් නියෙරේ තියෙන ගොම පෑගෙන නිසා හා ගොම ගඳ නිසා.හදිස්සියටවත් යන්න ඕනේ වුනොත්  යන්නේ ගම වටේන් ගිහින්  වැඩි පුර හැතක්මක් විතර ත්‍රිරෝද රථයකින්.උපන්දා ඉඳල ගොම ගඳ හොඳට හුරු සුනීතා වෙනස් වුනේ සරසවි අධ්‍යාපනයේ තිබුණු බටහිර ගැති මොනයම් දෙයක් නිසාද කියල ඒ අම්මලා බයෙන් හිටියේ.ගොම වලට වෛර කලත් සුනිතලගේ ගෙදර හරක් පට්ටියක්ම හිටියා හැම උදේම කිරි බිවුවේ ඒ එළ වැස්සියන්ගේ කිරි.පැණිත් එක්ක කිරි කෑවේ හිටපු මී වැස්සියන්ගෙන් ගත්තු කිරි වලින්.සුනිතලගේ කුස්සියේ බිමට දාලා  තිබුනේ මැටි ගොමත් එක්ක කවලම් කරලා.


දෙවෙනි වසර ඉවර වෙනවත් එක්කම  බැලු බැල්මට හිතෙන්නේ කුරුඳු වත්තේ මනෝරි කෙනෙක් වගේ.අපි සමන්ලගේ ගෙදර යන්න ඒ කාලේ බයෙන් හිටියේ මොකද සුනීතා කතා කරන්නෙම ඉංග්‍රීසියෙන්.සුනිතගේ අම්මත් එක්ක රණ්ඩු වුනාම බනින්නේ ඉංග්‍රීසියෙන් නිසා ඒ අම්මා සුනිතාව කේන්ති ගැස්සුවේ නැහැ.සමන් අපිත් එක්ක කිවුවේ ඉස්සරහට ඉංග්‍රීසි නැතිව මොනවත් කරන්න බැරි නිසා අපිවත් ඒ විදියට හැඩ ගස්සවන්න ඕන නිසාලු අක්කා එහෙම කතා කරන්නේ.සුනිතගේ ගෙදරට එන වට පිටේ අහිංසක මිනිස්සුන් එක්ක වචන දහයකට 5 ක් විතර ඉංග්‍රීසියෙන් කතාව.එදා වේල හම්බකරන් ජිවත් වෙන මිනිස්සු වෙච්ච ඒ වයසක අච්චිලත් එක්ක ඉංග්‍රීසි වචන පාවිච්චි කලේ ඒ ආච්චිලගේ ආනාගතය වෙනුවෙන් කියලා ඒ වයසක මිනිස්සුන්ට තේරෙන්නේ නැතුව ඇති.ගමේ කොල්ලෝ නම් කියන්නේ වෙන කතාවක් සුද්දෙක් මොනවා හරි කරලා කියල එකලු එහෙම හැසිරෙන්නේ.


සරසවියෙන් පිට වෙද්දී බඳින්න කෙනෙකුත් හොයාගෙන හිටියේ.ඔහු නම් සාමාන්‍ය විදියට ඉන්න කෙනෙක්.වැඩි කාලයක් යන්න කලින් ඔහු රැකියාවකුත් කළා.සුනිතානම් කිවුවේ ඒ ලංකාවේ තියෙන හොඳම රස්සවකින් එකක් කියලා.ඒ කාලේ එයා ළඟ තිබුනේ හොඳම දේවල් අනිත් හැමෝම බාල දේවල් පාවිච්චි කරද්දී සුනීතා විතරක් හොඳම දේවල් මිලදී ගත්තා ඇය කියන විදියට.එකම අවුරුද්දේ එකම කැම්පස් එකේ කලා උපාධියක් ගත්තු දෙන්නෙක්ගෙන් එයා ගත්තු උපාධිය විතරක් වැදගත්ලු.හේතුව අපිට තේරුම ගන්න බැරි අපි කැම්පස් එකකටවත් ගිහින් නැති නිසා කියල සුනීතා අපිත් එක්ක කිවුවේ.


කාලයකට පස්සේ දෙන්න විවාහ වෙන්න තීරණය කරලා තිබුනේ.ඒ උත්සවයත් ගන්න මෙයා අදහස් කරන්නේ ඒ පළාතේම තියෙන හොඳම හෝටලේ.සාමාන්‍ය පවුලක් වෙච්ච සුනීතා මේ කරන්න යන වැඩේ ගැන සමන්ට තේරුමක් තිබුන නිසා ගෙදර උත්සවය ගන්න අක්කව කැමති කරවගත්තා.සමන්ගේ යාළුවො වෙච්ච අපිට කිසි ආරාධනාවක් කලේ නැත්තේ අපි ඉස්කෝලේ යන කොල්ලෝ නිසා වෙන්න ඇති.උපාධි දෙකේ වෙනස තේරුම ගන්න බැරි අපි වගේ මැට්ටෝ සුනීතගේ මගුලට සහභාගි කරවගන්න ලජ්ජා හිතෙන්න ඇති.ඒ කාලෙනම් අපිට හිතුනේ වෙනත් හේතුවක්.


විවහා උත්සවය දවසේ සැලකිය යුතු පිරිසක් ඇවිත් හිටියේ.සුනිතගේ යාළුවො නෑදැයෝ හමොමාත් අතරේ ඇයගේ සැමියා  ගේ යාලුවෙක් ඒ කාලේ ගමේ ජිවත් වෙන මිනිස්සුට අමුතුවට දැනෙන  පුදුම තෑග්ගක් දුන්නා නව යුවළට.සුනිතගේ ජිවන රටාවට ගැලපෙන නියම තෑග්ග."කතාව දෝලාවෙන් ගමන පයින්" විදියට හිටපු සුනිතට මංගල තෑග්ග විදියට ලැබුනේ මරුටි කාර් එකක්..එදා ඇවිත් හිටපු සුනිතගේ යාළුවෝ හැමෝටම කණ නිසහසේ තියාගෙන ඉන්න ලැබිලා නැහැ.


                                                 
 සමන්ලගේ ගමේ පොලිස් ජීප් එකයි මහා ට්‍රැක්ටර් එකයි විතරක් යන පාර මැද පොකුණු තියෙන ඒ මඩ පාරවල්වලත් මේ මරුටිය කිසි ලොබ කමක් නැතුව ගමන් කලා.මගුලේ උණුසුම සති දෙකක් විතර තිබුනා. දවසට දෙවරක් දත් මදින්නා වගේ උදේ හවස සුනීතලගේ මල්ලිලාට රථය සෝදන්න නියම වෙලා තිබුනා.සමන් වගේම සමන්ගේ අම්මත් ගොඩාක් සතුටින් හිටියේ තමන්ගේ බෑනාගේ වත්කම් ගැන.සමනුත් අපිත් එක්ක මරුටියේ විස්තර  කියන්නේ අපි ගල් යුගයේ ඉඳල ආපු පිරිසක් කියල හිතාගෙන.ඒ අක්කගේ මල්ලිනේ ඉතිං


සුනීතා හැම සති අන්තයේ ගමේ ආවා. කාර් ඒක හරියට ඇඟට ඇලිලා වගේ තිබුනේ.ගමේ මිනිස්සුනම් කියන්නේ රැට නිදාගන්නෙත් ඒ කාර් ඒක ඇතුලේ කියලා.කාලය මාස දෙකක් විතර ගියා දැන් සුනීතා එන්නේ බස් එකේ.කාර් මොනවත් නැහැ.සැමියා එන්නෙත් බස් එකේ.කාලයක් කාර් ඒක නැතුව වසිකිලියටවත් යන්න බැරුව හිටපු සුනීතා තඩි මඩවල් වලින් පැනලා ගොම පාගාගෙන ආයෙත් ඇවිදින්න පුරුදු වුනා.ගමේ කෙනෙක් ඇහුවොත් මයිනර් එක කෝ කියල හැමදාම ගැරේජ්.එහෙම නැත්නම් හස්බන්ගේ යාලුවෙක් ඉල්ලන් ගිහින්.ගමේ වයසක මිනිස්සු දන්නේ කාර් වල එකම නමයි ඒ මොරිස් මයිනර් කියන නම විතරයි.


සමන් බොන්න පුරුදු වුන මුල් කාලේ මම ලඟට වෙලා සැන්ඩි විතරක් බීපු අවසාන දවසක් කීපයේ යාලුවෙකුගේ ගෙදර මළගෙයක් දවසේ විස්තරේ සමන් කිවුවා.ඒ කාලේ මරුටි කම්පනියෙන් දීලා තිබුනා දීමනාවක් රුපියාල් 50,000ක්  ගෙවල ගෙදර අරන් යන්න පුළුවන් ලු.ඉතුරුවා මාස් පතා ගෙවන්න.සමන්ගේ මස්සිනාට ඒ මස්සිනාගේ යාළුවා සල්ලි වගයක් දෙන්න තිබිලා ඒ දේ අමතක වෙන්න ෆිනෑන්ස් කරල කාර් එකක් අරන් දීලා. මගුල් ගේ ඉවර වෙලා සති දෙක තුනකට විතර පස්සේ මස්සිනාට ලැබිලා තියෙන්නේ ඒ ෆිනෑන්ස් කම්පනියේ ලියකිවිලි ටික ඔහුගේ මිතුරාගෙන්.මරුටියේ ඉතුරු ලක්ෂ 8 ක හිඟ මුදල වාරික විදියට ගෙවන්න.ඒ මංගල තෑග්ගේ වටිනාකම රුපියල් විසිදාහක්.මොකද ඔහුගේ මිතුරාගෙන්   මස්සිනාට කලින් ණයක් ලැබෙන්න තිබිල තිස් දාහක.රජයේ සාමාන්‍ය රැකියාවක් කරපු මස්සිනාට ඒ වාරිකය දරාගන්න බැහැ.හිඟ වාරිකයත් අතින් ගෙවල සුනීතාගේ සෝ සුසුම් මැද්දේ මරුටිය විකුණුවේ සුනීතාගේ ආඩම්බර කම නැති කරමින්.


එදා හැමෝම වෙනත් ලෝකෙක හිටපු වෙලාවේ සමන් කියපු ඒ කතාව ගලේ කෙටුව වගේ ආරක්ෂා කලේ මම මේ ලෝකේ හිටපු නිසා.ඒත් ටික කාලෙකදී ඒ කතාව ගම පරාම ප්‍රසිද්ද වුනා.මට මතක විදියට මමනම් කිවුවේ නැහැ. මේ දැන් කියනකං කාටවත්ම කිවුවේ නෑ.


~~අසර්~~

8 Mar 2012

වත්මන් අධ්‍යාපනයේ ඇති භයානක ප්‍රතිඵල හේතුවෙන් අතුරුදහන් වූ මිතුරා

                                                   .


                                                  ඔහුගේ නම රුවන් චාමර.රුවන් අපේ ඉස්කෝලෙට ආවේ වෙනත් කනිෂ්ඨ විද්‍යාලයකින්  6 වසරට.රුවන් මගේ පන්තියට වැටුනේ 7 වසරේදී.ඒ කාලේ ඉඳල ටිකක් කම්මැලි කොල්ලෙක්.කරාටේ ධම්මිකගේ ප්‍රශ්න වලදී මෙයා අපේ පන්තියේ හිටියේ.ඒ කලේ රුවන් පන්තියේ හිටියේ හරියට  දැන් ඉන්න වෛද්‍ය  ඇමති වගේ.හොඳත් නැහැ නරකත් නැහැ.(පතෝලා වගේ).රුවන්ට ඒ කාලේ පෙට්ටියා කියන නමින් අපි කතාකලේ.ඒත් තවත් පෙට්ටියෙක් හිටියා.ඌට කිවුවේ පෙට්ටි තුෂාර. නම තුෂාර මුණ පෙට්ටියක් වගේ. අපේ පෙට්ටියගේ මූණ පෙට්ටියක් වගේ නෙවෙයි උලක්‌ වගේ.ඒත් අපි කතාකලේ පෙට්ටියා කියල.හේතුව දැනගත්තේ ගොඩාක් පස්සේ කාලේක.රුවන්ගේ අක්කා යාළු කොල්ලට කියන්නේ පෙට්ටියා කියලා. ඒ පෙට්ටි කඩයක් තියෙන නිසා. මාර ගහක් යට අඹ ගහක් යට තිබුණු කඩයක් නෙවෙයි හංදියක තිබුණු සාමාන්‍ය කඩයක්.ඔහු හොඳ වියාපරිකයෙක්.ඒත් කොහෙවත් හිටපු අපේ රුවන්ට පෙට්ටියා කියල නම වැටුණු විදිය ගැන හිතත්දී හරි දුකයි.


8 වසරේ ආවසානය 9 මුල් කාලේ වගේ වෙනකම් පන්තියේ අවසාන දහ දෙනා අතරේ තිබුණු කරට කර තරඟයේ  මාත් එක්කම රුවනුත් හිටියා.ඉන්ද්‍රානි මිස්ගේ වචන වලින් පස්සේ මම ටික ටික ඉස්සරහාට ආවත් රුවන් තවමත් හොඳ සටනක හිටියේ ඒ ස්ථානය රැකගෙන.මොනවා හරි වැරැද්දකට ගුටි වැදෙද්දී ගෑණු ළමයි ඉස්සරහ වුනාත් කිසි විලි ලැජ්ජාවක් නැතිව අඬන්න හැකියාවක් තිබුණු කෙනෙක්.කාලයක් පෙට්ටියගේ අම්මා අපේ පන්තියට ආවා පෙට්ටියා ඉස්කෝලේ එන දවස් ගානට වඩා වැඩි කාලයක්.එක්කෝ මොනවා හරි වැරද්දක් කරලා ඉස්කෝලෙන් එන්න කියනවා නැත්නම් පෙට්ටියා ඉස්කෝලේ එන්නේ නැහැ කියන්න අම්මා ඉස්කෝලේ එනවා.


පෙට්ටියගේ අක්කා හැම අතින්ම දක්‍ෂ කෙනෙක්.ඒත් ඇයගේම මල්ලි වුනු පෙට්ටියා කිසි වැඩක් කරනේ නැති එකෙක්.එදා ඉරිදා දවසෙත් අම්ම පෙට්ටියට කෑ ගැහුවේ පොතක පතක මොනවා හරි දෙයක් කරන්න පාඩම් කරන්න කියලා. කියවීමට කිසි ආසාවක් නැති රුවන් කරන්නේ ගහකට නගින එක නැත්නම් දුවන එක.එදා ඉරිදා දවසේ අම්මා කෑ ගැහුවේ මොනවා හරි පාඩම් කරන්න කියලයි.කලින් දවසේ අසල් වැසියෙකුගේ ගෙදර තිබුණු තොවිලයක් බලන්න ගිහින් ගෙදර ඇවිත් තිබුනේ පාන්දර. වෙලාව උදේ 11.30 වගේ.එදත් සුපුරුදු පරිදි  රුවන් ගේ වටේ දිවුවේ අම්මා එළවපු නිසා. ඒත් හිටි හැටියේම රුවන් නොපෙනි ගියේ අම්මටවත් හිතාගන්න බැරි විදියට.රුවන් හින්දා  වට දෙකක් ගේ වටේ දුවපු රුවන්ගේ අම්මා වට පිටාවටම ඇහෙන්න කෑ ගැහුවේ ආයේ ගෙදෙර එන්න එපා කියලා කේන්තියෙන් .හැම දාම මෙහෙම කෑ ගැහුවත් දවල් කෑමට නැත්නම් අක්කා ගෙදර එන වෙලාවට කලින් ගෙදර එනවා.


එදා දවස ඒ අම්මා හිතපු නැති දෙයක් වුනේ.රුවන් ගෙදර ආවේ නැහැ.කන්දක් මුදුනක වගේ  තිබුණු ගෙවල් සමූහයක ගෙදරක හිටපු රුවන්ලා වටේම මිනිස්සු හොඳට දන්නවා.අම්මා දන්න දන්න හැම ගෙයක් ගෙයක් ගානේ ගිහින් හෙවුවා.ඒ කිසිම තැනකින් කිසිම හෝඩුවාවක් ආවේ නැහැ.රුවන් නගින ගස් වටේ ගිහින් රුවන්ව හෙවුවේ ගහකට නගිද්දීවත් අනතුරක් වත් වෙලාද කියල දැනගන්න.වටේම ඉන්න තරුණ මහළු හැමෝම රුවන්ලාගේ ගෙදර.නෑදෑයෝ පිරිලා හුල්ලනවා.කරන්න කිසි දෙයක් නැහැ.කවදාවත්  මෙහෙම තනියෙන් යන්නේ නැති කෙනෙක්.වටේ දිවුවත් ගේ අහල පහල විතරක් දුවපු රුවන් ගැන හැමෝම කම්පා වුනා.


රුවන්ගේ ගමට ගම් කිහිපයකට එහායින් තියෙන නිධානයක් ගන්න පොඩි ළමයි අරන් යන කතාවකුත් ඒ වෙලාවේ හිටපු වැඩිහිටියෙක් මතක් කළා.මේ සියල්ලම ඇහෙද්දී රුවන්ලාගේ අම්මා විලාප දුන්නේ අවට හිටපු සියල්ලන්ම කම්පාවට පත්කරමින්.වෙලාව තුනහමාර විතර වෙනකම් ගස්,ගල් යට ,යාළුවොන්ගේ ගෙවල් වල හැම තැනම සෙවුවත් කිසිම හෝඩුවාවක් හොයාගන්න ඒ අසරණ අම්මට බරිචුනා.ඒ වෙද්දී අක්කා ගෙදර ආවේ පංති අරන් ගියපු පොත් ටිකත් කුඩයත් පාරේ විසි කරලා විලාප තියාගෙන.ඒ වෙද්දී ඇය දැනගෙන නැහැ සිද්දිය.ගේ වටේ සෙනග පිරිලා ඒ මිනිසුන්ගේ මුහුණූ ශෝකෙන් පිරිලා ඒ අතරේ අම්මා අඬනවා ඒ සියල්ලම නිසා රුවන්ගේ අක්කාට දැනිල තියෙන්නේ සිදු වූ දෙයට වඩා සෝචනීය සිදුවීමක්.




මේ සියල්ලම මෙසේ වෙද්දී එතනට ආවේ "සප්සේ බඩා කිලාලේ" චිත්‍ර පටියේ ශාරුක් පැදපු හැඩල් එක නැවිච්ච පිටි පස්සේ  හේත්තු වෙන්න කෑල්ලක් තියෙන දිග මෝටසයිකලයක් වගේ එකක වෙන කවුරුවත් නෙවෙයි  ඔරිජිනල් පෙට්ටියා.ඒ අක්කා උදේ පංති ගිහින් හරියට ඉගනගත්තාදැයි සොයා බැලීමට.වටේ ඉන්න කිහිප දෙනෙක්ගෙන් සිදු වූ දේ කණ වැටුණු ගමන ගියේ මිදුලේ කොනට වෙන්න තිබුණු අතු තියෙන අඹ ගහ තරණය කිරීමට.ඒ දිග ඒරියල් එකක් තියෙන ඒ කාලේ හැමෝටම මැජික් එකක් වෙලා තිබුණු ජංගම දුරකතනයට සිග්නල් හොයාගන්න. ඒ වෙද්දීත් හැමෝටම අමතා වෙලා තිබුණු පොලිසිය දැනුවත් කිරීම ඔහු විසින් සිහි පත්කලා.


පැයක වගේ කාලයකින්  පොලිසියේ   දෙන්නෙක් ආවේ මැරතන් එකක් දුවපු  දෙන්නෙක් වගේ.දාඩිය දාගෙන මහන්සියට දිව දොට්ට දාගෙන.රාජකාරිය  පැත්තක තියලා පුටු දෙකක් ඉල්ලං වාඩිවුණේ කන්ද නැග්ගට වඩා බයිසිකලයකුත්  තල්ලු කරන් ආපු ඒ මහන්සිය නිසා.ආදුනික පොලිස් නිලදරියන් දෙදෙනෙක් වූ ඒ රාළහාමිලා අයෙත් ගියේ සැක කවුරුවත් ඉන්නවද?තරහා කාරයෝ කවුරුවත් ඉන්නවද?මොනවා හරි තොරතුරක් ලැබුනොත් පොලිසිය දැනුවත් කරන්න අපිත් පරීක්ෂණ පටන්ගෙන තියෙන්නේ බය වෙන්න දෙයක් නැහැ කියල ලොකු විස්තරයක් කියල.ගමේ වයසක කිහිප දෙනෙක් නම් කතා වුනේ ගමේ ග්‍රාමසේවක ආවනම් මිට වඩා හොඳයි කියලා.


තව කිහිප දෙනෙක් කතා වුනේ කලින් දවසේ තිබුණු බලි තොවිලේ ගැන.රුවනුත් එදා එතන හිටියා තනිකම් දෝසයක් භූත දෙසයක්වත් නිසා මොනවා හරි කරදරයක් වුනාද දන්නේ නැහැ.තොවිලේ වෙලාවේ කුකුලගේ ලේ ගන්න වෙලෙත් මෙය හිටියේ පෙරේත තටුව ලඟමනේ.එහෙම ඉඳල රෑ තුනට විතර තනියෙම ගෙදර ඇවිල්ලා තියෙන්නේ.වයසක තවත් කීප දෙනෙක් එහෙම සිද්දිය විස්තර කලේ  රුවනට සිදුවුණා දේ අනුමාන කරමින්."පන්සලේ හමුදුරුවන්ටවත් කියල පිරිත් ටිකක් කියෙවුවත් මොකද"?ඒ රුවන්ලාගේ මාමා.පිරිත් කියන්නත් රුවන් හොයාගෙන ඉන්න එපයි.


මෙතෙක් වෙලා හැම දෙයක් ගැනම හොයා බලපු රුවන්ගේ මාමාත් අඩන්නට පටන් ගත්තා."මගේ දරුවෙක් වගේ මම ඌව බල ගත්තේ පවුලේ හැමෝම මූට ලෙන්ගතුයි අද උදෙත් මට කතා කරලා ගියේ   එහෙවු එකාට මොකද මේ වුනේ....." පිරිසක් මැද්දේ පිරිමියෙක් අඬන දේ කොහොමත් දරාගන්න අමාරුයි කිහිප දෙනෙන් ඔහුව සනසන්න උත්සහ කලත් දුක තුනී වෙනකන්ම රුවන්ගේ මාමා හොඳටම ඇඩුවා.රුවන්ගේ අම්මා අක්කා ,මාමා  මේ සියල්ලම අඬන දිහා එතන සියල්ලන්ම බලන හිටියේ දරාගන්න බැරි දුකකින්.ඒ වෙද්දී කැලේ පැත්ත බලන්න ගියපු  ගමේ තරුණයොත් ආයෙත් ආවේ කිසිම හෝඩුවාවක් නැතිව.


ඒ වෙද්දී හවස 5 විතර  ආපු කිහිප  දෙනෙක් අයෙත් ගෙවල් වලට යන්න ගිහිං නැදෑයෝ ටික දෙනෙක් තවමත් පොලිසියෙන් තොරතුරක් ලැබෙනකන් රුවන්ගේ ගුණ කතා කියනවා.ඔරිජිනල් පෙට්ටියත් අක්කා ළඟටම වෙලා අක්කව සනසනවා.රුවන්ගේ මාමා හිටපු තැනින් නැගිට්ටේ හිටපන් මම උඹව තියන්නේ නැහැ කියාගෙන  විදුලි වේගයෙන්.සියල්ලන්ම එකී නෙකාගේ මුණ දිහා බැලුවා.හවස 5.30 විතර වෙලා ගොම්මන් වෙලාව මිදුලේ හිටපු හැමෝම ගේ අතුල දිහා බැලුවේ මාමා ඒ පැත්තට යනවා දැකපු නිසා.ඔලුව දිගට බේරෙන මකුණු දැල් එක්ක කබ කඩ කඩා උළුවස්සෙන් ඉස්සරහට ආවේ රුවන් චාමර.ඒ එක්කම ඔරිජිනල් පෙට්ටියා කෙලින්ම දිවුවේ පොලිසියට පැමිණිල්ල ඉල්ලා අස්කරගන්න.හවස් වරුවේ වුනු කිසි දෙයක් නොදත් රුවන් බයවෙලා ගේ පිරෙන්න මිනිසු හිටපු නිසා.රුවන් පස්සේ විස්තරේ කල සිද්දිය .රුවන්ගේ අම්මා එළවන් එද්දී අක්කගේ ඇඳ යටට රිංගල කලින් දවසේ හරියට නින්දක් නැති නිසා රුවන්ට එහෙම්මම ඇඳ යට නින්ද ගිහිල්ලා.

ඉංග්‍රීසි මිස් කිවුවේ "අන්ඩ ද බෙට්" කියාය. ඒත් අපි කිවුවේ "ඇඳ යට මහත්තයා" කියාය.ඌත් කැමති සිංහලෙන් කියනවට මොකද මහත්තයා කියලා කැල්ලක් තියෙන නිසා.


ප.ලි: මං දැක්කා වගේ කිවුවට අපේ පන්තියේ හිටපු ලක්ෂාන් තමයි ඉස්කෝලේ ඇවිත් ගිනි තිබ්බේ.නම් ගම් සියල්ල සත්‍යයි..

~~අසර්~~
Related Posts Plugin for WordPress, Blogger...