21 Mar 2013

මායා බන්ධකයන්ගේ අලුත්ම තත්වේ. .Spellbinder.

                           
                       අපි පොඩි කාලේ TV චැනල් දෙකක් තුනක් විතරක් තිබුන කාලේ  ළමයි වෙච්ච අපිට  සතියේ එක දවසක් බලල අයෙත් එන  සතියේ ඒ දවස එනකං කතා කරන්න පුළුවන් විදියේ පිට රටින් ගෙනාපු ටාසන්,රොබින්සන් අන්දරය,රොබින් හුඩ්,මායා  බන්ධන  වගේ බොලඳ නැති නාට්‍ය  කිහිපයක්ම තිබුනා.  ඒ නිර්මාණවල ඇති වටිනාකම ගැන කියනවනම් තවමත් ඒ කතා කිහිප සැරයක් බැලුවත් එපා වෙන්නේ නැති ගතිය තවම තියෙනව්. ළමා කාලේදී නැරඹුවත් රැකියාවක් කරන කාලේ නැවත විකාශනයක් ගියා උදේ 7ට. ඒ පාසල් නිවාඩු කාලයක්.උදේම නැගිටලා සම්පුර්ණ පැයේම  නාට්‍ය බලල රැකියාවට  පරක්කු වෙලා ගිහින් ලොක්කගේ තනි කැමැත්තට  වරුවේ නිවාඩු ලැබිලත් තියෙනවා. ඒ තරම් මං මායා බන්ධන කතාවට කැමති. ඒ කාලේ අපේ විරයෝගේ හා දුෂ්තයන්ගේ අළුත් විස්තර සහ අද වෙද්දී ඔවුන්ගේ රූපයේ වෙනස් වීම  ගැන කෙටි දැනුමක් ලබාගන්න පුළුවන් වේවි.


Spellbinder නොහොත් මායා බන්ධන ඔස්ට්‍රලියා සහ පෝලන්ත සම නිෂ්පාදනයක්. මෙය නිර්මාණය කලේ  Film Australia සහ  Telewizja Polska (පෝලන්ත) යන දෙරටේ නිර්මාණ ආයතන දෙක විසින් ඔස්ට්‍රලියාවේ ළමා රුපවාහිනී ආයතනයකට. කොටස් 26ට සිමා වූ 1995 මුලිම විකාශනය වුන මෙමෙ ළමා කතාවේ අධ්‍යක්ෂ  වුනේ Noel Price  නම් අධ්‍යක්ෂ  වරයායි.ඉන් පසු 1997 දී  Spellbinder 2: Land of the Dragon Lord නමින් දෙවෙනි කොදසක් ද විකාශනය වුනා. පළවෙනි කොටස තරම්ම  ජනප්‍රිය නොවුත් දෙවෙනි කොටසේ සිටියේ පළවෙනි කොටසේ සිටිය ආෂ්කා නම් නපුරු ගැහැණිය පමණයි. 1997 දී මුලින්ම ශ්‍රී ලංකාවේ විකාශනය සිදු වුනේ. ලෝකයේ බොහෝ රටවල ද මෙය විශාල වශයෙන් ජනප්‍රිය වෙලා තියෙනවා. ආසියාවෙන් බංගලාදේශයද, මැලේසියාවේද විකාශය වුනු අනිකුත් රටවල්ය.
විශ්වවිද්‍යාල සිසුවෙකු වන පොල් නම් තරුණයා සමාන්තර ලෝකයට ගිහින් එම ලෝකේ තිබුන තාක්ෂණයක් ඔහුගේ දැනුමෙන් යලි ප්‍රතිනිර්මාණය කර දුෂ්ඨ ගැහැනියගේ කරදර විඳිමින් එම ලෝකෙම තරුණ කෙල්ලෙකුත් සමඟ යලිත්  පෝල්ගේ ලෝකයේ තියෙන නිවසට ඇවිත් යලිත් ඇගේ ලෝකයට පිටමන් කරන  සිද්දියක් වටා ගෙතෙන මෙම කතාව එක දිගට බලන් ඉන්න ආස හිතෙන විදියේ නිර්මාණයක්.

පෝල්
ඔහුගේ සැබෑ නම Zbych Trofimiuk .ඔහුගේ උපන් රට පෝලන්තයයි.  උපත ලබා තියෙන්නේ 1979 අප්‍රේල් 7 වනදා. 2004 ඔහුගේ උපාධිය ලබාගන්නවා වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන්. ඔහු මුලින්ම නිර්මාණයකට එකතු තිබුනේ 1993 දී විකාශනය වුන Snowy River: The McGregor Saga,  නම් කොටස් වශයෙන් විකාශය වුන ටෙලි නාට්‍යක. ඔහුගේ මුල්ම චිත්‍ර පැටිය වුනේ Sky Trackers නම් සිනමා පථයයි.එහි රඟපෑම වෙනුවෙන් හොඳම තරුණ නළුවට හිමි සම්මානය ලැබිල තියෙනවා..
                                                               එදා පෝල්


                                                  අද පෝල්.


රියානා.
ඇයගේ සැබෑ නම Gosia Piotrowska. මයාමන්ධන ලෝකයෙන් මේ ලෝකෙට එන ගැහැණු ළමයාගේ චරිතය රඟපෑ ඇය උපන්නේ පෝලන්තයේ. ඈ 2003 වසරේදී විවාහ වුවත් 2007 දී දික්කසාද වෙන ඇය යලිත් 2010 දී විවහා වෙනවා ඒ ඔහුගේ මිතුරෙක් සමග. ඇයට පලවෙනි විවාහයෙන් දරුවෙකුත් සිටිනවා සහ දෙවෙනි විවාහයෙන් නිවුන් දරුවන් බලාපොරොත්තුවෙන් සිටිනවා. ඇගේ පළමු සහ අවසාන නිර්මාණය වුනේ මායා බන්ධනයි. ඇයත් ජිවත් වෙන්නේ ඔස්ට්‍රලියාවේ.

                                                                       එදා රියනා.


                                          මේ ඇයම විය හැක.


ඇලෙක්ස් 
පෝල්ගේ යාළුවා. ටිකක් විකාර වැඩ කරන්නේ.!!.  උතුරු අයර්ලන්තයේ උපන් ඔහුගේ සැබෑ නම Brian Rooney.ඔහුත් පදිංචි වී සිටින්නේ ඔස්ට්‍රලියාවේ.ළමා ලෙටි නාට්‍යවල  වැඩි වශයෙන් රඟපෑ ඔහු මුලින්ම කලාවට එකතු වී තිබෙන්නේ 1989 දී The Punisher නම් නිර්මානයත් සමඟයි. චිත්‍ර පටි කිහිපයකටම සම්බන්ධ වූ  ඔහු සහබාගි වුන අවසාන  නිර්මාණය වුනේ මායා බන්ධන කතන්දරයයි.

                                                                1989 දී ඔහු.


                                                 මායා බන්ධන කාලේදී ඇලෙක්ස්.


              වසර කිහිපයකට පෙර.


කත්‍රිනා
ඇලෙක්ස් ගේ පෙම්වතිය වන ඇගේ සැබෑ නම Michela Noonan.ඇය ඉතාලි ජාතික නිළියක් නමුත් ඇයද ජිවත් වෙන්නේ ඔස්ට්‍රලියාවේ. ඇගේ මුල්ම නිර්මාණය වුනේ මායා බන්ධනයි.ඉන් පසුව ඇගේ අවසාන නිර්මාණය වුනේ 2005 දී තිරගත වුන Apnea නම් චිත්‍ර  පටියයි. ඇගේ විස්තරත් අන්තර්ජාලයේන් සොයාගැනීමට අපහසුයි.

                                                                      එදා


 
                                                          අද ඇගේ රුව.                                     

ආෂ්කා.
නපුරු කාන්තාව. අපි හැමෝම අකමැති ඇගේ නම Heather Mitchell . ඇය ඔස්ට්‍රලියානු ජාතික කාන්තාවක් 1958 දී උපත ලැබූ ඇය මුලින්ම චිත්‍ර පටියකට  එකතු වුයේ 1986 දී.මායා බන්ධන 1 සහ මායා බන්ධන 2 හැර තවත් ටෙලිනාට්‍ය කිහිපයකම ඈ රඟපා ඇත. මුලින්ම කලාවට සම්බන්ධ වී ඇත්තේ 1984 පමණ ඒ වෙදිකා නාට්‍යවලය.ඈ අවසානයට සහභාගී වුන නිර්මාණය වුයේ Griff the Invisible නම් සිනමා පථයයි.එය තිරගත වුනේ 2011 දිය.

                                                               එදා පෝල්ගේ පියා සමඟ


                                                   ඇගේ අද තත්වය.

බ්‍රයන් (පෝල්ගේ පියා)
ඔහු ඔස්ට්‍රලියානු ජාතිකයෙක්. සැබෑ නම Andrew McFarlane.1951 බටහිට ඔස්ට්‍රලියාවේ ඉපදුනු ඔහු මුලින්ම රඟපෑමට එකතු වුයේ 1972 දී ඒ රුපවාහිනී නාට්‍යකටයි. ආරම්භයේ සිට 2009යේ ඔහු සහභාගී වුන අවසාන නිර්මානයත් සමඟ ඔහු නිර්මාණ  35  ආසන්න ගණනක විවිධ චරිත රඟ තිබෙනවා. 2010 ඔහු ගායකයෙක් විදියටත් ප්‍රසංගයක් පවත්වා තිබෙනවා.

                                                                     එදා ඔහු 

                                         කඩවසම් ඔහුගේ අද තත්වය.


කොරිඔන්.
මායා බන්ධන ලෝකයේ ඉන්න වැඩිහිටි පුද්ගලයා ඔහුත් පෝලන්ත ජාතිකයෙක් ඔහුගේ සැබෑ නම Krzysztof Kumor. 1940 අප්‍රේල් 16 වනදා උපත ලැබන ඔහු කලාව සම්බන්ද උපාදියල් ලබාගනු ලැබුයේ 1964 දිය.2005 දී ඔහු සහබාගි වුනු කොටස් 326 ටෙලි නාට්‍යකින් පසු යලිත් කිසිම නිර්මාණයකට දායක වී නැහැ. ඒ වගේම තවත් සිනමා සම්මාන කිහිපයකම ඔහුට ලැබී තිබෙනවා. ඒ ඔහු රඟපෑ 30ට ආසන්න නිර්මාණ අතරින්.තවද වැඩි වශයෙන් ඔහුගේ මුල් කාලේ ඔහු සහභාගී වී ඇත්තේ වේදිකා නාට්‍ය වලටය.

                                                              වේදිකා නාට්‍යක ඔහු.

                                                                      මයා බන්ධනයේදී.



                                                 ඔහුගේ අද තත්වය.


ග්රෙව්න්.

ආශ්කාගේ සහයකයා. රියානාගේ ගමේම තරුණයා. ඔහුත් පෝලන්ත ජාතිකයෙක් 1974 දෙසැම්බර් උපත ලබන ඔහු කුඩා කල සිටම රංගනයෙක් දායක වී තිබෙනවා. කුඩා කල සිටම රුපවාහිනී නාට්‍ය වලට සම්බන්ධ වුනු ඔහු නාට්‍ය 10 ආසන්න ගණනක රඟපා ඇත.පළමු නිර්මාණයට සහභාගී වී ඇත්තේ 1985 දී.ඔහුගේ සැබෑ නම Rafal Zwierz. 

                                                              1990 දී ඔහු.


                                                                    මායා බන්ධනයේදී.


                                              වර්ථමානේ ඔහු.



සැ/යු:

බොහෝ නළු නිලියන් පෝලන්ත ජාතිකයන් වන බැවින් ඔවුන් පිලිබඳ විශාල තොරතුරු ඉංග්‍රීසි භාෂාවෙන් පලවී නැහැ. කෙසේ වෙතත් මම මේ පොස්ට් එකෙන් උත්සහ කරන්නේ ඔවුන්ගේ රුපය කොතරම් දුරට වෙනස් වී ඇත්තයි පෙන්වීමටයි.


26 Feb 2013

මඟ දිගට බ්ලොග් කරුවෝ.




                     දවල් කෑම කාලා බත් ඇටේ බඩේ හරස් වෙන්නත් කලින් කහට කෝප්පයක්  බිවුවේ ඕනෑ කමට නෙවෙයි පුරුද්දට.ගිම්හාන කාලේ හන්දා එලියට බහින්න තියෙන්නේ පුදුම ආමරුවක්.උඩ බලද්දී  දකින්න තියෙන්නේ  වළාකුලක්වත් නැති හිස් අහසක්.ගෙයින්  එලිය හරියට "නයා කට ඇරියා වගේ" පුදුම රස්නයක් තියෙන්නේ.මේ මොනවා වුනාත් ළහිරු කියපු විදියට මේ වෙලාවට ගියොත් තමයි  ලියන මහත්තයා අල්ලගෙන මේ ලියමන ගැන හරි විස්තරයක් දැනගෙන එන්න වෙන්නේ.මගේ ජිවිතේ ලොකු වෙනසකුත් වෙන්න තියෙනවා කියලලුනේ මේකේ තියෙන්නේ. ඉෂාන්ගේ ගෙදර පහු වෙද්දී තියෙන කුරුන්ද මැදින්  මඩකලපු සරම ඇඳන් මේ කන්නයේ නෙලා ගත්තු අස්වැන්නත් කරේ තියන් මතු වුනේ දයානන්ද අයියා කියල අඳුර ගන්න ඒ හැටි අමාරුවක් වුනේ නැහැ. ගිය වන්ගියේ මේ වගේ කාලේදී අපිත් එතන ඉද්දි මට මතකයි ඒ සිද්දිය.ගිමන් නිවන්න ටිකක් ගොයම් කොලේ උඩ වැඩිවෙලා ඉද්දි හරිගේ ඇහේ වී පොකුරක් වැදිලා කට්ටියම  වේද ගෙදර  ගිය හැටි. සෙන්නා අකමැති DDT පොහොර පාවිච්චි කරන නිසාම වෙන්න ඕනේ කලින් කන්නයට වඩා මේ කන්නයේ මේ විදියේ සාරයක්!. දයානන්ද අයියා මොනවා වුනාත් ඉතිං හොඳ දක්ෂ ගැමියෙක්.



හැලප කඩේ ළඟ නවත්වල තියෙන AKM නම්බර් තියෙන අලුත්ම බයිසිකල් එක හැම වෙලාවේම නිල් ඩෙනිම ඇඳන් ඉන්න හෙන්රි ගේ වෙන්න ඕනේ.බයිසිකල් එක පැදගෙන යද්දී ඈතට පේන්නේ හරියට ශාක්‍රයාගේ රියදුරා මාතලන් වගේ.ඉස්සරනම් අපේ ගමේ තිබුනේ CL,EL - නම්බර්. දැන් ඉස්සරහට අකුරු තුනක් ඊටත් පස්සේ තවත් අංක හතරක්.!!.. මෙහෙම ගියොත් WMK නම්බර් එන්න වැඩි කාලයක් යන එකක් නැහැ. පුදුම වාහන ගොඩාක් දැන් මේ රටේ ඇත්තේ.එකත් එක්කම මේ අද පොලිසි ගිහින් එන ගමන වෙන්න ඇති.අර ගමට අලුතින් ආපු පොලිස් කොස්තාපල් ඉස්සරහා නෝන්ජලයෙක් විදියට හිටපු නැති වරද නිසා අදයි පොලිසිය නඩුව විභාග කලේ..මිනිහා කොහොමත් නාඩි කාරයනේ. සුදිකත් එක්ක ගියපු නිසා වැඩේ දෙක කරගෙනද දන්නේ නැහැ. මට මතකයි මේ හාදයා පොඩි එකා සන්දියේ ඉඳලම.පොල් පිත්තයි ඔට්ට පාළු බොලේ අතේ තියාගත්තු ගමන්මයි.ඒ කාලේ  ඉමල්කයි සුදිකයි හිටියේ ඇවිද්ද පයින්මයි හැම වෙලාවේම..හරියට සමකය වටේ යන දේශ ගවේෂකයෝ දෙන්නෙක් වගේ.හැබැයි ගමේම හිටිය රස්තියාදු කාරයෝ දෙන්නා.ඉවසන්න බැරිම තැන වෙන්න ඕනේ ඔට්ට පාළු බෝලෙයි පොල් පිත්තයි අත්තම්මගේ පෙට්ටගමේ දාල අගුළු දැම්මේ.යසිත් ගේ තාත්තා කියන විදියට අපි පොඩි වුන්ගේ සිතුම් පැතුම් තේරුම් ගන්න ඕනේ.නැත්නම් උන් මුරණ්ඩු වෙනවා. දැන් කොල්ලෝ කුරුට්ටෝ බෝල ගහන, ගමේ අවුරුදු  උත්සවය තියෙන, හැන්දෑවෙ 6න් පස්සේ සූදූ කෙලින මේ පිට්ටනිය අපේ කස්සා කියපු විදියට ඉස්සර නෙලුම් විලක්.කාලයක් තිස්සේ මුළු ගමම  හෝදන් ඇවිල්ල ගොඩ වෙලා තියෙන්නේ හරියට ඇහැළේපොළ කුමාරිහාමි ගිල්වලා මරපු බෝගම්බර වැවට වෙච්ච සන්තැසියට සමාන දෙයක්.එතන නැවතිලා  ආගිය කතා කතා කරන්න නොහිටියේ ආනිවරාතයේ ගෙවා දමන්න කාලයක් නැති නිසා.


රුක්අත්තන වංගුවේදී මම දැක්කේ සුදු අත්දිග බෝරිච්චි හැට්ටයක් ඇඳන් එන පොඩි කුමාරිහාමි.මම
නොපෙනෙන්න අම්බලමට ගොඩ වුනේ ඇගේ ඉස්සරහා මුණ ගැහෙන්න මට තිබුන බැරි කමට. මෙහෙම හිටියට හරි ප්‍රසිද්ධ නිළියක් වෙසක් නාට්‍ය වල.වගේමයි හිතුවක්කාර කෙල්ලෙක්. ..එත් මගේ අනුමානය වැරදි කියල තේරුනේ ලඟට එද්දීමයි.ඒ ඇවිත් තිබුනේ  පුංචි කුමාරිහාමි.මෙයා ඉතිං හැම වෙලාවේම කතා කරන්නේ මියුරු,මිහිරි වචනමයි.මාව දැක්කත් නඳුනන්නියක්  විදියට යන්නේ නිසුපාගේ කතා විස්වාස කරන නිසා වෙන්න ඇති.මොනවා වුනාත් මෙයාලගෙන් පස්සේ ඉතින් වලවුව කාට සින්න වෙයිද දන්නේ නැහැ. කෝරලේ මහත්තයාත් ඉන්නේ මේකට කෙල හාලාගෙනමනේ.තව වෙලා මෙතන මට රැදෙන්න වෙයි වගේ!! මම මගේ හිතටම කියා ගත්තා.කෑහැ පට ගහ ගත්තු සරමත් එක අතකින් අමුඩ ලේන්සුව පෙනෙන නොපෙනෙන ගානට උස්සගෙන අනිත් අතින් රා මුට්ටිය අරන් එන්නේ සෑම් අංකල්.අනිවාර්යෙන්ම සිරාගේ කාමරේට වෙන්න ඕනේ යන්නේ.මේ වෙද්දී ලුණු කැටයි ගම් මිරිස් කුඩුයි එකතු කරගෙන  වල් රජත් එතනට වෙලා ඇත්තේ.දුසිරිත කොතනද උන් එතන.හුන්ඩුවක්  වගේ කමරයක්  ඇතුලේ කොහොම ඉන්නවද? හරියට නිකන්  පිස්සාගේ පලාමල්ල වගේ.සෑම් අංකල් මාත් එක්ක තරහ වුන හේතුව ටිකක් හිතද්දී මට මතක් වුනා.එදා හිරු නැති හෝරාවේදී ඒ කියන්නේ මහා රෑ චන්දනලාගේ ගෙදර කුකුල්ලු හොරකමට යන්න කතා කරපු වෙලේ මට කේන්ති ගියපු හින්දා  ඕන අටම්පහුරක් කරගනින් කියලා හුළු අත්තෙන් දමල ගහල යද්දී ෆාතිමා ගෙවල් උඩ ඉඳන් බලන් හිටපු ලැජ්ජාවට වෙන්න ඕනේ.ඒ විතරක් නෙවෙයි ෆාතිමා නිර්මලාට කියලා නිර්මලා   බට්ටිට කියල.දැන් ඉතිං ගමේ ග්‍රාමසසේවක හා ඉතාලි ගියපු ඩිලන් හැර අනිත් හැමෝම  දන්නවා.



මේ තරියගේ කෙරුවාවල් නිසා දැනටම මට තරහා කාරයෝ ගිහිප දෙනෙක්ම ඇතිවෙලා ඉවරයි.හැම වෙලාවේම කවුබෝයි තොප්පිය දාන, අශ්වයා පදින සුමිත් එයින් කෙනෙක්.හදිස්සියෙවත් පාරේදී හම්බවුනොත් ගල් ප්‍රහාරයක් දෙන විත්තිය හොඳටම විශ්වාසයි.මිට කලින් ළිහිනිගේ ජිවිතයට ඇඟිලි ගහන්න ගිහින් මධුරංග ගුටි කාල මුළු පිටම  ලා දම් අහසක් වගේ.පස්සේ සනීප වුනාම කිවුවේ පිට මැද හරහා අග්නි ධාරාවක් ගියාවාගේ වේදනාවක්  දැනුනා  කියලා.. ඒ සිද්දි වෙන වෙලේ Raj හිටියේ රාජ්ගේ නවාතැනේ සභිත් එක්ක. ඒ අනූගේ ලෝකයම ඩිල්ෂාන්ට බාර දෙන විදියේ උප්පරවැට්ටියක් ගැන හිතමින්..එත් මේ මොනවා කලත් ඔහු  හරියට Silentsahan වගේ නිශ්ශබ්ද කෙනෙක්..වර්ණාගේ මතකයට අනුව මේ හැමෝන්ගෙම ප්‍රර්ථනාව වුනේ සුමිත්ට කිට්ටු වෙන්න. ඒ මානවයකුට ඇති  පරිකල්පන ශක්තිය ටිකක්  වැඩිපුර ඔහුට තියෙන හින්දා කියලයි  ගමේ කණිෂ්ඨ විද්‍යාලයේ ඉතිහාස මිස්  සයුරි නම් කිවුවේ.. ගමේ කොල්ලොන්ගේ භාෂාවෙන් කියනවනම් "එල කොල්ලෙක්".(ඇනෝ කෙනෙක්)..මම කොහොම වුනාත් බුවාගේ සිතුවිලි වලට පොඩි කැමැත්තක් තිබුනා.ඒත් අනිත්  හැමෝම කතන්දර කාරයෝ.


මගේ කෙස්ස පැහුනේ මේ ගමටමයි. ඒත් මම කොල්ලා කාලේදී දැන් වෙන  වගේ විගඩන් කවදාවත්ම දැක්කේ නැහැ.කොහොම කිවුවත් අර මිසපොතේමියානු ශිෂ්ඨාචාරයේ ඉඳල එන කතාවක් තියෙනවා නේ. 
"දැන් හැදෙන උන් කිසි කමකට නැහැ" කියල.මොක නැතත් මේ අපි ඉපදුන මැරන ගමේ අලුතින් හැදෙන උන් නම් කිසි කමකට නැහැ. මේවා ඇහෙද්දී දකිද්දී ඇති වෙන දුක  කියාගන්න බෑ.කාලයක් මේ ගමට  මි ගොඩ පැත්තෙන් ආපු ගයනි වේදගේ කියන පොඩි කෙල්ලට හරකෙක් එලව එලවා ඇන්නා.ඒකි කොහේ ගියත් හරකෙක් එළවන් එන එක සාමාන්‍ය දෙයක් වුනා.නොකරපු තොවිලයක් නැහැ.නැති භූත දෝස මවාපාලා  සල්ලි හූරන් කාපු එක විතරයි කලේ.පස්සේ ඈ ඉහලන් යන රතු පාට කුඩේ මාරු කාරයින් පස්සේ හිටියයි කියපු හැම භූතයෝම ගියා.හරක් රතු පාට දක්කමා කුලප්පු වෙනවා කියලා ගමේ කිරි හරක් පට්ටියක් කරවන  සරත්වත් දන්නේ නැහැ.මුලින්ම ඒ භයානකම සිද්දිය වෙද්දී මමත් ඈත ඉඳන් බාලාන  උන්නේ.. "තරු අරුන්දතී නෙතු කැලුම් පිරි" කියන වෑර්ලස් සිංදුව මුමුණ මුමුණ තමයි එදා ගියේ.ගමේ හිටිය හැඩ කාරයගේ රූ සිරියට රැවටිලා ඇගේ හිත අද්දර ඇති වුන ලෙන්ගතු කමට වෙන්න ඇති. ඒ වෙනකොටත්  පෙති තුනක් විතරක් පිපුන තැඹිලි පාට වද මලක් දුන්නේ චමි ෆෝ යු කියලා. මට ඉතිං සුද්දගේ භාෂාව දන්නා ඒකකයැ.එත් ඉතින් මොකෙන් කිවුවත් මල දුන්නේ ඇයි කියලා ඕනෙම නකියෙක්ට තේරෙනවා.ආන්.... එදා මල  දීලා එද්දී මුලින්ම ගොනා ඇන්නේ.

 කොහොමින් කොහෙම වුණත් මේ අනම් මනම් එක්ක ගමනටත් සුනංගුවුණා. ඒ බව දන්නෙ නීල ගැබේ චන්ද්‍රයත් ප්‍රමුදිත වෙලා යාන්තමට බිම් කළුවරත් වැටීගෙන එනවා කියලා මතක් කලායින් පස්සෙ. හප්පේ.. මේ සාතන් ගස් නඟින වෙලාවේ  එහෙ මෙහෙ යන්න එපා කිව්වත් ඒක අමතක වෙලාද කොහෙද පිළිකන්නේ  හිටිය උමඟන නඟා බය වෙලා  ගෙට දුවද්දී දණහිස් දෙක එකට වැදිලා වැටුනේ "තලපතා පොළොවේ ගහපු විදියට". ‍ ඒ සද්දෙට බය වුන  පූස් තඩියා ඥ්ඤෑස් කියාගෙන එළියට පැනගත්තත් බීරන්තට්ටුවේගෙන.හෙමින් සැරේ පිටිපස්ස හැරිලා බැලුවෙ රතී මාමවත් බැල්මක් දානවද බලන්න. ‍අහල ගම් හතටම අනුශාසනා දෙන දේශකයා කෝට්ටකුත් තියාගෙනම ඉන්නෙ උරුවම් බාගෙනම. "කොහෙදෑ මේ.. ගොම්මන් වෙලාවෙ.. ?" මගෙන් ඇහුවත් මතක්වුණෙ අදින් පස්සෙ මේ වැයික්කියෙත් කරගහලා ඉවරයි කියලා. මොකද මූ ඕනවෙලාවක මැන්ටල්. ඒකාගේ සිතුවිලි සංජය සිතුවිලි තරම් පිරිසිදු නැහැ."නෑ.. මේ..." කියලා කටගන්න හම්බවුණේ නෑ.. බණ්ඩාරත්,පොඩි නුවනුත්  දුවගෙන එනවා හතිදාගෙනම.. "අන්න අරහෙ කොළමක් නටන්න අරගෙන." මේ ආරංචියට එයාලා ඒ පැත්තට දිවද්දි මං දෙයියොට පිං දුන්නෙ නිර්මල අවංක හිතින්. ඈතදිම කට්ට කළුවරේ ගිලුන ගෙදර දැක්කත් හිතුවෙ නෑනෙ මේ වගේ විගඩමක්..! ඒකත් එකටම ලියන මහත්තයත් ක්සැන්ඩර්ගෙ කොළම බලන්න ගිහින්. අනේ හෆොයි..! ඒකෙන් මේකෙන් මේ ලියවිල්ලෙ මුල මැද අග ගලපගන්න හරි විස්තරයක් අහගන්න බැරිව අසරණ වුණේ අන්තිමට මම..!

ප/ලි: අවුරුද්දයි මාස 3ක් ඇතුලත අමාරුවෙන් කොටලා කොටලා දැම්ම 50 වෙනි පොස්ට් එක. එදා ඉඳල අද වෙනකන් දිරියක් වුන ඔබ සියලු දෙනාටම ස්තුතියි කරන්න ගත්තු උත්සහයක් මේ. හැම කෙනා ගැනම   සඳහන් කළත් කිසියම් කෙනෙකුගේ නමක් අතපසු වී ඇත්නම් ඒ ගැන සමාවෙන්න!.

අපහසයක් කරන්න කිසිම උත්සහයක් ගත්තේ නැහැ.සුළු උපහාසයක් විතරක් ඇති..


~~අදත් සිත්තරේ තිලිනිගෙන්.~~


18 Feb 2013

පරණ ඔක්කොම තනි එකක.

                              අද මම දාන්න හිතුවා මෙතෙක් කල් මගේ පොස්ට් වලට ඇන්ඳ චිත්‍ර ටික පොස්ට් ලින්ක් එක්කම තනි පොස්ට් එකක. .  


                                                              බස් අජිත්ගේ පැහර ගැනීම.
{"ඒ.... මල්ලි මාර වැඩේ නේ බස් ඒක නැහැ නේ. අපි ඩිපෝවට මොකද කියන්නේ ."
"අපි මෙතන නේද නැවැත්තුවේ." එදා හිටියේ අලුත් කොන්දොස්තර කෙනෙක්.

රියදුරා මගේ ලඟට ආවා

"මල්ලි මෙතන තිබුන බස් ඒක දැක්කද?"

"අහ්... හංදිය පැත්තට ගියා ඒ ඔය ගොල්ලෝ නෙවෙයිද?" නොදන්නා විදියට ඇහුවේ.}


                                                  පාසැල ජිවිතේ තවත් අඳුරු දවසක්.
{ඉර එළියත් දැන් ටිකක් වැටිලා කණ දෙපැත්තෙන් දාඩියත් බේරෙනවා. හැම හංදියක් ලඟම ඉස්කෝල බස් ඒක එනකං ඉන්න ළමයි මගේ දිහා බලන්නේ හරි අමුතු විදියට වට පිට බලද්දී මට දැනෙනවා ටිකක් දවල් වෙලා වගේ. සමිරලගේ ගේ ටිකක් පහු වෙද්දී, ඇඟටත් ටිකක් මහන්සි එත් හිතටනම සතුටුයි ඉස්කෝලෙට තියෙන්නේ තව ටික දුරකින් නේ. සමීරගේ ගෙදර පහු වෙලා වැඩි දුර යන්න ලැබුනේ නැහැ මගේ පිටි පස්සෙන් ඇහුන ලොරි හෝන් සද්දෙට මම පාරේ කාණුවට බැහැල අයින් වුනේ ඒ ලොරිය ලොකු වැඩි නිසා සද්දෙන් මම දන්නවා ඒ කාගේ ලොරියද කියල. එත් ඒ ලොරියක් නෙවෙයි....}



                                                                        පාවෙන බෝඩිම
{උදේ එක සැරේම අත ඇඳෙන් එලියට වැටෙද්දී කවදාවත් නැති සීතලක් "ජබුක්..!!" සද්දයකුත් ඇහුනා. මිට කලින් නින්දෙන් ඒ වගේ සීතලක් සද්දෙකුත් ඇහිලා නැති මම ටිකක් කල්පනා කරලා අමාරුවෙන් ඔලුව උස්සල බලද්දී බලන්න ලස්සනයි පුටු දෙකත් මේසයත් මගේ සපත්තුත් කාමරේ තැන් තැන් වල පාවෙනවා.!}


                                   වහල උඩ සෙල්ලම

{හොරෙන් ගස් වල පළතුරු කඩද්දි අයිතිකාරයා එද්දී ගහෙන් පැනල දුවපු මම දැන් මේ පොඩි උස තැනින් බහින්න බැරුව ඉන්නේ. එතෙක් වෙලා දනගහගෙන හිටපු මම වහල දිගේ බඩ ගෑවේ දිග ඇදිලා උළු වලට යටින් තියෙන පරාල දෙකේ එල්ලිලා පනින්න. පරාල ලඟට යද්දී මට පෙනේවා මෙතනට වඩා අනිත් පැත්තේ වහල පාතයි කියලා. ආමාරුවෙන් ඒ කොනට ආයෙත් දනගාගෙන යන්නේ.එතැනදී මට පේනවා හිටපු පැත්ත අනිත් හැම පැත්තටම වඩා පතයි කියල. දෙපැත්තට මාරු වේවි හිටපු මම වහලේ උඩ වාඩි වුනේ මොකක්ද කරන්නේ කියල කල්පනා කරන්න.}


{මට දුන්නු වතුර ටිකක් අමුතුයි වෙනද දෙන තැනින් නෙවෙයි වතුර ගත්තෙත්. බොන්න දුන්නේ වතුර එකෙත් තේ කොළ තව බත් ඇටයක් වගෙත් තිබුනා. එක උගුරක්‌ බොද්දි රස වෙනස් බව තේරුණා නිසා බොන විදියට ටිකක් ඉඳල වතුර එක විසිකරලා දාලා නිශාන්ත ඉන්න තැනට ගිහින් විස්තරේ කිවුවාම දැනගත්තේ ඒ ඊට කලින් නිශාන්ත ගියපු වෙලේ අත හෝදපු හා කෝප්ප හෝදපු වතුර මට බොන්න දුන්නේ කියලා.}


                           වේදනාකාරී දුම්රිය ගමන.

{"තණකොළ පෙත්තාගේ මාමණ්ඩිය වූද,ඔබේ රුව වැඩිකිරීමේ රහස හාර්පික්," වගේ FM චැනල් එක පිට එක මාරුවෙලා ඇහෙනෙන්න ගත්තා. ටිකකින් භ්ක්..ස්..ස්..ස්ප්..ෂෝ.. සද්ද විතරයි ඇහුනේ. කිසි වැඩකට නැති රේඩියෝ එක තිබ්බ තැනම නිධාන් ගතකරලා ඈත බලන් හිටියේ වෙන කරන්න දෙයක් නැති කමට. ආයෙත් ටිකකින් ස්ටේෂමක නැවැත්තුව ඒ වෙන මොකටවත් නෙවෙයි අපේ පිටි පස්සෙන් එන කොළඹ මාතර කෝච්චිය අපි ඉස්සර කරගෙන යන්න.}


{ගැහැණු ළමයින් වෙනුවෙන් නිෂ්පාදනය කරන ඒවා දුන්නෙත් මට. ෆේෂ් වොෂ්, සබන් ජාති, තව අනම් මනං හැම දෙයක්ම. අප්පේ..... බලන්න එපැයි ඒ කාලේ ගෑනු ළමයි මම වැඩට එනකන් බලන් හිටිය විදිය. ඒත් මම වැඩිය එයාලට බෙදන්න ගියේ නැහැ ඒවත් මමම ගෑවා. ටෙස්ට් එකරන්න දෙන ඒවා විස වෙලා ලස්සනට තියෙන මුණ කැත වුනොත් බඳින්න ඉන්න කොල්ලොන්ගෙන් ගුටි කද්දී ඔය කිසිම ආයතනයක් එන්නේ නැහැ නේ මාව බේරගන්න.}


                                        සිංහ උයන

{අපි හෙමින් හෙමින් අඩිය තිබ්බේ.. ගස් අස්සේ ඉඳල කොයි වෙලේ අපේ ඇඟට පනිවිද දන්නේ නැති නිසා.පොඩි පැටවුනම් කකුල් හූරනවා. ඒක තමා ඉවසන්නම බැරි.මේ සත්තුත් බළල් පවුලේ නිසා කොයි පැටියත් එකයි.. තුන් දෙනාට තුන් දෙනා බයෙන් තව ඇතුලට ගියා.}

{අද කාලේ “නොදැක ඉන්න බෑ මට නම් මගේ ආදරී”කියන ගීතය ගීතයක් විදියට ජනප්‍රිය වෙන්න කලින් ඒ මුල් වචන ටික මුලින්ම නිර්මාණය කලේ අපේ පාළම ලඟදි අපේ නිශාන්තම තමා. ඒ ඔහුගේ සිහින පෙම්වතියට. ඒ ගීතය අද කාලේ කොච්චර රස වින්දක් නිශාන්ත ඒ වචන ටික ඒ කාලේ කියද්දී මගේ බඩ පපුව පිච්චිලා යනවා. එයට හේතුව ගෑණු ළමයාගේ ගෙවල් ළඟට යන්නනම් මග දිගට ඇති කඳු 3ක් තරණය කරලා කිලෝ මීටර් 2ක් දුර බයිසිකලේ නිශාන්තවත් දාගෙන පදින්න වෙන එක ගැන. කෙල්ලව බලන්න "ෆ්‍රෙෂ්" එකේ යන්න ඕන නිසා මම දාඩිය දාගෙන බයිසිකලේ පදින්නේ.ගියර් තිබ්බත් ඒ කඳු පදින එක ලේසි නැහැ.}


මගේ පොස්ට් වලට ගැලපෙන ෆොටෝ නැතිව දස අතේ දිව විකාගෙන සොයද්දි ආපු යෝජනාවෙ ප්‍රතිඵල තමා මේ තියෙන්නේ.කැමති චිත්‍රය මොකක්ද කියල කමෙන්ට් එකක් දාල යන්න. මේ ඔක්කොම ඇන්දේ තිළිණි.


8 Feb 2013

එක කෙල්ලයි, කොල්ලෝ තුනයි,මාස 10යි.


    
    
                        පේ සෙට් වෙන බල ප්‍රදේශයේ අලුතින්ම ගෙනාපු  ගියර් 21 ඉස්සරහ විතරක් ශෝකට් තියෙන  නිල් පාට මවුන්ටන් බයිසිකලය මගේ. ඒ කාලේ ඒ බයිසිකලය සමාන වුනේ 70 දශකයේ ගමේ "මැම්බර් මහත්තයා" ගෙනාපු "ඉබ්බා කාර්" එකට ලැබුන තැනමයි.හැම දෙයකටම පාවිච්චිකලේ මගේ මේ සයිකලේ.ඒ කාලේ කාර් එක ලෙඩෙක් ගෙනියන්න, මගුල් ගෙදරක මනමාලිව ගෙනියන්න, වගේ වැදගත් වැඩවලට ගත්තත් මේකෙන් කලේ හවස පංති ඉවර වෙන  වෙලාවට පන්තිය වටේ කැරකෙන්න, තමන්ගේ කෙල්ලගේ ගෙවල් පැත්තේ යන්න වගේ වැඩ වලට.ලොකු එකාගේ ඉඳල පොඩි එකාගේ දක්වා වැඩ වලට මේක පාවිච්චි කළා. මේ හැමෝගෙම වැඩ ඉවර වෙලා බයිසිකලේ නැවත මට භාරදෙනකන් මදුරුවෝ තල,තල පාලම උඩට වෙලා ඉන්න සිදුවුණ අවාස්තාවල් එමටයි.


මගේ එක වසරේ ඉඳල යාළුවා, "බස් අජිත්ගේ" මල්ලි නිශාන්තත්  මේ බයිසිකලේ ගමට ගෙනාව දවසේ ඉඳල කෑල්ලෙන් කෑල්ල කඩා දාලා  අපේ ගෙදර පිළිකන්නේ දිරලා යනකම්ම හොඳට ප්‍රයෝජන ගත්ත කෙනෙක්.ඔහුගේ ඒ දවස් වල ට්‍රයි කරපු ඒ කෙල්ල බලන්න යන්න පාවිච්චිකලේ මේ සයිකලයම තමා. අපේ ගමට ගම් දෙකකට ඈතින් හිටපු ඒ ගෑණු ළමයාගේ  ගේ අවට කැරකෙන්න අපි සඳුදා, බදාදා,වැඩක් නොතිබුනොත් සෙනසුරාදත් යන්නත් අපි පුරුදු වෙලා හිටියා. ඒ අවට හිටපු ලස්සනම කෙල්ල.පැය දෙකේ හින්දි ටෙලි නාට්‍ය වල "ස්ට්‍රේට් කොන්ඩ" දකින්න කලින් අපි මුලින් ස්ට්‍රට් කොණ්ඩයක් දැක්කේ ඇගේ උපතින්ම හිමිවෙලා තිබුන කොන්ඩෙන්. ඇස් දෙක හරියට "සුදු කිරි කෝප්පයකට කළු කෝපි බිංදුවක්" දාලා වගේ.පැහැදිලි ඇස් දෙකක් ඇයට තිබුනේ. රූපය ටිකක් "ශෂිකා නිසංසලා" කියන ගායිකාව වගේ.


ඈ ටියුෂන් තුන හතරකට ගියා.ඒ යන හැම තැනකදීම කොල්ලෝ ඈගෙ පස්සෙන් දුසිම් ගණන් ආවා.අපි නම් ඒ පංති අසල කැරකුණේ නැ.අපි මොකටද නොදන්නා පළාත් වල ගිහින් චාටෙර් කන්නේ. කොහේ ගියාත් හවස ගෙදර එන නිසා අපි ගේ අවටම තමා කැරකුණේ. අද කාලේ “නොදැක ඉන්න බෑ මට නම් මගේ ආදරී” කියන ගීතය ගීතයක් විදියට ජනප්‍රිය වෙන්න කලින් ඒ මුල් වචන ටික මුලින්ම නිර්මාණය කලේ අපේ පාළම ලඟදි අපේ නිශාන්තම තමා. ඒ ඔහුගේ සිහින පෙම්වතියට. ඒ ගීතය අද කාලේ කොච්චර රස වින්දක් නිශාන්ත  ඒ වචන ටික ඒ කාලේ කියද්දී මගේ බඩ පපුව පිච්චිලා යනවා. එයට හේතුව ගෑණු ළමයාගේ ගෙවල් ළඟට යන්නනම් මග දිගට  ඇති කඳු 3ක් තරණය කරලා  කිලෝ මීටර් 2ක් දුර බයිසිකලේ නිශාන්තවත් දාගෙන පදින්න වෙන එක ගැන. කෙල්ලව බලන්න "ෆ්‍රෙෂ්" එකේ යන්න ඕන නිසා මම දාඩිය දාගෙන බයිසිකලේ පදින්නේ.ගියර් තිබ්බත් ඒ කඳු පදින එක ලේසි නැහැ.එනගමන් ඔහු මාව තියාගෙන පැද්දත් මම කලින් තරණය කරපු කඳු ඔහුට තිබුනේ නිවුටල් එකේ බස්සන්න.කන්දක් තිබුනොත් පැල්ලමක් ඇතැයි කියන සිද්ධාන්තය මෙතැනදී අපිට බලපෑවේ නැහැ.


අපි යන එක දවසකවත් ඇය මිදුලේවත්  හිටියෙනම් නැහැ.යන හැම දාම අපි දැක්කේ මිදුලේ ඇති මල්ගස් හා පිළිකන්නේ ඇති හිස් රෙදි වැල විතරයි.හැම දාම ඇගේ ගෙදර ළඟදීම අපේ බයිසිකලේ චේන් එක පනිනවා. මම චේන් එක දාගන්නකන් නිශාන්ත ගේ දිහා බලන් ඉන්නේ හරියට "ගැරඬියා ගෙම්බෝ පැටවූ දානකන්" බලන් ඉන්නාව වගේ.කවදාවත් එලියට ආවේ නැහැ. ඔන්න දවසක් නිශාන්ත තරමක්  සතුටු හිතෙන දෙයක් තිබුනා.ඒ පිළිකන්නේ රෙදි වැලේ ඇය එදා පංති ඇඳන් ගියපු ඩෙනිම් කලිසම වනලා තිබුනා. මෙය දැකීමෙන් නිශාන්ත ගේ මුනේ තිබුන හිනාව හරියට ඇගෙන් විවහා යෝජනාවක් ආවා වගේ. ඔහුගේ ඇස් වලින් මම දැක්කා අවංක ප්‍රේමය.


මට හිතුන එක දෙයක් තමා කොහොම හරි මේ දේ ඇයට ඒත්තු ගන්වන්න ඕනේ කියන එක.කවදාවත් කතා කරලා නැහැ, ඈතින් ඉඳන් බලන් ඉන්නවා නැත්නම් ගේ ඉස්සරහින් එහාට මෙහාට යනවා.ඊට වඩා දෙයක් නිශාන්තගේ අතින් සිද්ද වුනේ නැහැ."වඳුරා ගෙවල් හදනවා වගේ" අද අහනවා හෙට අහනව කියා කියා හැම දාම වැඩේ පස්සට දැම්මා. දවසක් මගේ උනන්දුවෙන් බස් එකෙන් බහිද්දිම ඈ ලඟට යන්න කැමති කරව ගත්තේ යාළුවෙක් හිතින්  දුක් විඳිනවා බලන්න ඉන්න බැරි කම නිසාමයි. බස් එක පස්සෙන් පුට් සයිකලයක් පදින එකනම් ලේසි නැහැ.ගියර් බයිසිකලෙන් වැඩක් ගත්තේ මම නම් එදාම තමා. දාඩිය දාගෙන නහයෙන් හා කටින් හුස්ම ගන්න ගමන් මම ඇ යන පාරේ ටිකක් ගෙවල් අඩු හරියකදී  ඈගේ ලඟට  කිට්ටු කලේ නිශාන්තගේ හිතේ කැකෑරෙමින් තිබුන අවංක අදහස වචන වලින් පිට කරන්න. මම තවත් ඇගේ කිට්ටුවටම ලන් කරද්දීම අරු රහසින් ලතෝනි දුන්නේ වේගෙන් පදින්න කියලයි. “මොකෝ බන් චෑන්ස් එක මිස් කලේ”. වෙවුලන කට හැඩින් මමත් රහසින් ලතෝනි දුන්නා. "උඩ ගෙදර හිටිය අංකල් අපේ තාත්තා වගේ බං මම දැක්කේ". තියෙන බයට තමන්ගේම තාත්තත් අඳුර ගන්න බැරි වුන පුතෙක් ගැන මං එදා දැනගත්තා.

මොනවා වුනාත් ඇය හොඳ හැදිච්ච කෙල්ල. කොල්ලෝ 100ක් පස්සෙන් ආවත් හිනා වෙලා බලා පොරොත්තු දුන්නෙත් නැහැ වචනයක්වත් කියලා එක කොල්ලෙක්ගේ හිත රිදෙවුවෙත් නැහැ.බැනලා තරහා කරගත්තෙත් නැහැ. ඉඳල හිටලා පස්සෙන් එන කොල්ලොන්ට රවනව විතරයි. මේ අතරේ මහා පුදුම දෙයක් සිද්ද වෙනවා.නිශාන්ත තනියෙන් බස් එකේ යන දවස් වල  ඒ ගෑණු ළමයා නිශාන්තත් එක්ක හිනා වෙනවා “කොහොමද” කියලා කතා කරනවාලු.අපි දෙන්නම ඉද්දි මුණවත් බලන්නේ නැහැ.මාස 4කට පස්සේ නිශාන්ත තීරණයක් ගත්තා. “වැඩේ හරියන්නේ නැහැ බං. එකී අල්ලන්න අමාරුයි වගේ අල්ලලා දාමු මචං”.මම කඳු පැදිල්ලට නිමාවක් තැබුවා.


දවසක් මම දවල් නිදාගෙන ඉන්න වෙලාවක අපේ සෙට් එකේම සම වයසේ තව යාළුවෙක් අපේ අම්මට බොරුවක් කියලා මාව එලියට එක්කරගෙන ආව.කඳු තරඟයට නිමාවක් කියල හිතුවත් ආයෙත් නිශාන්ත තියන් පැදපු මට දුලිප්ව තියාගෙන පදින්න සිද්ද වෙලා.එදා තමා මම ඉස්සෙල්ලාම උදේ හවස පිහදාල සන්සිල්ක් ෂැම්පු වතුරෙන්  හෝදන මගේ බයිසිකලේ දිහා කේන්තියෙන් බැලුවේ. නිශාන්තගේත් දුලිප්ගේත් වැඩි වෙනසක් මම දැක්කේ නැහැ ගෙදර ලඟට යනවා ආයේ එනවා බස් එකේදී හිනා වෙනවා ලු.ඒ හැර දෙයක් සිද්ද වුනේ නැහැ. නිශාන්තට හිත ගියේ නැති ඇය දුලිප්ටවත් හිත යාවිදෝ කියන අදහසින් මම හිටියේ. නිශාන්ත හිතින් ආදරේ  කරපු ඇයට දුලිප් ට්‍රයි කරන්නේ අවංකවමයි. නිශාන්තගෙන් අපිට තිබුනේ සහයෝගයක්  මිසක් කවදාවත් නපුරක් වුනේ නැහැ.අපි අතර තිබුන මිතුරුකම "මිරිඟුවක්" වගේ කෙල්ලෙක් වෙනුවෙන් නැතිකරගත්තේ නැහැ. කාලෙකට පස්සේ දුලිප් නිශාන්ත වගේම අඩි ගානක් පස්සට තියලා හැරිල වෙන ගමනක් ගියා.


කාලයක් ඒ පැත්තටවත් යන්න හේතුවක් නොතිබුන නිසා සාමාන්‍ය විදියට හවස් වරුව ගත කළා.හිටපු ගමන් පුරුද්දට වගේ ආයෙත් ඇගේ ගෙවල් පැත්තේ රවුමක් දාල එන්න හිත කියනවා. නිශාත්තත් එක්ක දවසක් ඔහු නැති වුන දවසට දුලිප් එක්කත් ඒ පැත්තේ ගියා.විශේෂයකට තිබුනේ වෙනදා දහඩිය දාගෙන පැදපු මම බයිසිකලේ වාඩි වෙලා යන්නේ. ඒ කියන්නේ කෙසේ හෝ මේ ගැහැණු ළමයා ගමේ කෙනෙක්ට අයිති කරගන්න තම අපි උත්සහ කලේ. ඈ ගැන හිතක් පහල වුනාට නිදා ගනිද්දී  සිහින දකින ඒවා අත අල්ලාගෙන පාරේ ඇවිදින හැටි,පෝරුවක් උඩ ඉන්නවා වගේ දේවල් ගැන සිහින් මැවුවෙත් නෑ නින්දේදී දැක්කෙත් නෑ.මිට කලින් මවපු හීන බොඳ වුනේ  හරියට "ගස්ලබු බටයෙක් සබන් බෝල යවපු ගමන් බිඳෙනවා වගේ". මවන වේගෙට වඩා වැඩි වේගයෙන් බොඳ වෙනවා. අනිත් දෙන්නත් එක්ක බස් එකේ හිනා වෙලා කතා කලා කිවුවට මගේ මුණ බැලුවෙත් නැහැ ඇගේ යාළුවනම් අමුතු බැල්මක් බලල අහක බලාගන්නේ මහා "අලුගුත්තේරු" විදියට.එත් අරුන් දෙන්නට වඩා මං ටිකක් ඉස්සරහින් හිටියේ.ඇගේ පාසලේ නිවාසාන්තර තරඟ දවසක "සරඹ සංදර්ශනයකට" ඈ සහභාගී වෙලා එයට අවශ්‍ය  සුදු අත්දික ෂර්ට් එකක් මට දෙන්න හැකි වුනා .ඈ ඇන්දයින් පසු සෝදන්නේ නැතිව මට අඳින්න මම සිහින මැවුවා.නැවත එය බාර දෙද්දී අර "කිරි පාට ඇස් දෙක" ලගටම දකින්න, ඒ දෙද්දී ඇස්දෙක කරකවා "ස්තුතියි" කියනවා අහන්න ආසාවෙන් හිටියේ. අනිත් දෙන්නට වඩා පියවර ගානක් ඉස්සරහින් මම හිටියා.අවාසනාවකට  ඒ සුදු කමිසය නැවත ලැබුනේ නැහැ. මේ විදියට මම නිශාත්තත් එක්කත් දුලිප් එක්කත් අපේ ගමන ගියා. හදිස්සි දවස් වල අපි තිදෙනාම ඇගේ ගෙවල් වටේ කැරකුණ වෙලාවලුත් තිබුනා.ඒ වෙද්දී අපි තිදෙනාම එකා පස්සේ එකා ඇගේ හිත ගන්න උත්සහ කළා.




කාලෙකට පස්සේ උදේ බස් එකේ මම රැකියාවට කොළඹ යද්දිත් එකම බස් එකෙන් ඇවිත් බස් ස්ටැන්ඩ් එකේ අපි දෙන්නම මූණට මුණ හමු වුනා .මාව දැක්ක ගමන්  ඉතා හුරුපුරුදු යාළුවෙක් එක්ක හිනා වෙන විදියේ හිනාවක් දැම්මා.ඒත් එක සැරේම හිනා නොවී පිටුපස බැලුවේ ඇගේ යාලුවෙක් එක්කවත් හිනා වුනාදවත් කියල දැනගන්න.මිට කලින් ඒ විදියේ නින්දාසහගත අත්දැකීම්  අනන්තවත් විඳලා ඇති නිසයි.නොසිතු විදියට ඇය මාත් එක්ක කතා කළා!!..  ඇය විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් බව ඇගෙන් මම දැනගත්තා. මෙච්චර කොල්ලෝ කරදර කරලත් පළවෙනි  සැරෙන්ම විශ්වවිද්‍යාල යන්න තරම් ඈ දක්ෂ වුනා. මමත් මගේ රැකියාව ගැන ටිකක් විස්තර කියල අපි දෙන්න වෙන් වුනා.ඉන්පසු  අද වෙනකන් ඈ දැක්කේ නැහැ.


අපිත් එක්ක කතා නොකර දැන් අපිටත් කලින් හිනා වෙලා කතා කරන්නේ ඇයිද කියලා මට ඒ හැටි පුදුමයක් ඇති වුනේ නැහැ."පැණි වරක ගහටත් හෙන ගහනවානේ" කාලෙකදී.ඒ වගේම ඇයට මහා නින්දා සහගත සිද්දියකට මුහුණ දෙන්න සිදු වුනා. ඉතා ප්‍රසිද්ද ටියුෂන්  ගුරුවරයෙක් සමඟ ඇති වුනා කියන සම්බන්ධයක්.ඔහුගේ බිරිඳ ඇයත් සමඟ කෙහිවලු පටලවා ගත්තා. තව තව සිද්දි ගොඩාක් ඇති වුනා ලු. පස්සෙන් ආපු කොල්ලෝ හැමෝම  විහිළු කරන්න ගත්තා. ඉතා පහත් ගෑණියෙක් විදියට කොල්ලෝ අතරේ කතාවක් නිර්මාණය වුනා.ඈ කාලයක් ගමෙන් පිට වෙලාත් හිටියා.මේ කිසි දෙයක් සිදු වුනාත්  කවදාවත් අපි තුන්දෙනා ඒ කිසිම කතාවක් විශ්වාස කලේ නැහැ.අපි තිදෙනාම අවංකව ආදරේ කල නිසා වෙන්න ඇති.ටික කලකින් ඈ ආයෙත් ගමට ආවා.කොල්ලෝ වෙනදා වගේ තමා මුණ බලන්නේ නැති විදියට කොල්ලොන්ට එපා වෙලා. නින්දා සහගත විදියට ඈ ස්සරහ හැසිරුනා. "හරියට උන්ගේ තාත්තත් එක්ක මේ කෙල්ල හිටියා වගේ". ඇතැම් විට ඇගේ කැමැත්ත නොලැබුන කේන්තියට වෙන්න ඕනේ.. මේ කිසිදෙයක් අපි නොදැක්ක නිසා විශ්වාස කලේ නැහැ.ඒ කාලේ අපි විතරයි කලින් විදියටම කෙල්ලෙක්ට කරන ගෞරවයෙන් හිටියේ.ඒ නිසාම වියයුතුයි එදා මාත් එක්ක කතා කලේ. අපි තිදෙනාම කැමැත්ත ලබා ගැනීමට උත්සහ කිරීම  අනිකුත් ප්‍රශ්න ඇති වීම මේ හැම දෙයක්ම මාස 10ක් ඇතුලත සිදු වුනේ.


අද වෙද්දී නිශාන්ත ලංකාවේ නැත. දුලිප් හා මමද ලංකාවේ නොමැත.අප තිදෙනාගේ තාරුණ්‍ය විඳින්නට සැලසු ඇයද අද ගමේ නැත. නුවර පැත්තෙන් දෙමාපියන්ගේ ආශිර්වාදය ඇතුව විවාහ වෙලා සැපවත් ජිවිතයක් ගතකරනවා.ගමේ  කොල්ලන්ගේ සිහින පෙම්වතියන් වෙනුවෙන් මැම්බර් මහතාගේ ඉබ්බා කාර් එකට සමාන සේවාවක් කල මගේ බයිසිකලේද අද ගෙදර පිලිකන්නේද නැත. නමුත් මතක් වෙද්දී ඇස්දෙක බොඳ කරන සුන්දර මතකයක් ඉතිරිව ඇත.හැමදාම මට හිතෙනවා වගේ අදත් හිතෙනවා "අපරාදේ අපි ඉක්මනින් ලොකු වුනේ".


ප/ලි: ඉරිසියාවක් නැතිව අදත් සිත්තරේ ඇන්දේ තිළිණි.



25 Jan 2013

මාරාන්තික මුහුදු ගමන. Deadly Voyage

                                                කිංස්ලි ඔෆෝසු.


                             කිංස්ලි ඔෆෝසු ඉපදුනේ 1970 දිය. කාර්මික ඉංජිනේරුවෙක් වීමට සිහින මැව්ව ඔහුගේ එම  සිහිනය බොඳ වුනේ ඉදිරියට අධ්‍යාපනය කරගෙන යාමට ඔහුගේ මවට වියදම් කිරීමට හැකියාවක් නොමැති කම නිසයි.එළවලු හෝ පළතුරක් විකිණීම රැකියාව කරගත් ඔහුගේ මවට ගෙදර බර වැඩි බව තේරුම් ගිය නිසා කුඩා කාලෙදිම පාසල් ගමනට නැවතීමේ තිත තබන්නට කිංස්ලිට සිද්ධවෙනවා. තම සහෝදරයන් රැකීමට යම් යම් රැකියාවල් කල ඔහුට වරායේ රැකියාවක් හිමි වන්නේ මේ අතරතුරදී.1992දි පමණ දියුණු තාක්ෂණයක් නොතිබුණ අවදියේදී නැව් වලට භාණ්ඩ පැටවීම සිදු වී තිබුනේ කම්කරුවන් අතින්. මොහුද එවන් කම්කරුවෙක්. අප්‍රිකාවෙන්, කොකෝවා යුරෝපයට ප්‍රවාහනය කිරීම සහ යුරෝපයෙන් පාවිච්චියෙන් පසු ඉවත දමන භාණ්ඩ අප්‍රිකාවට ආනයනය කිරීම ප්‍රධාන වශයෙන් සිදු වුණා.



තරුණයකුට යුරෝපයට යෑමට අවශ්‍යව, ඔහු ගුවන් මගින් ගියහොත් ඒ සමාජය පිලි ගන්නේ පිරිමියෙක් නොවන,නිකමෙක්  විදියට. වීරයෙක් වීමටනම් මුහුදු මගින් යුරෝපයට පැනීම අත්‍යවශ්‍ය කාර්යක් වුනා. රැකියාවන් සඳහා යෝරෝපයට යන බොහෝ තරුණයන් වැඩි වශෙයෙන් තෝරාගත්තේ නැව් සේවයයි. එයත් නැවේ කාර්යමණ්ඩලයට හොරෙන් සති දෙකක් හෝ තුනක් ඉතා දුෂ්කර ගමනකින් යුරෝපා රටකට ඇතුල් වීමෙනුයි. අවුරුදු 22 තරුණයෙකු වූ කිංස්ලි ඔෆෝසුද මෙම දුෂ්කර ගමනට පිඹුරුපත් සැකසුවා. ඔහුගේ මිතුරන් මිට ඉහත  මේ ආකාරයෙන් විදේශ ගත වී තිබුනත්, ඒ කිසිම කෙනෙකුගෙන් කිසිම තොරතුරක් ඔවුන්ගෙ ඥාතීන්ට දැනගන්න හැකි වී තිබුනේ නැහැ. එහෙත්  ඔවුන් යුරෝපයේ සුපිරි ජිවිතයක් ගත කරනවා ඇතියි ඔවුන් තරයේ විශ්වාස කළා.



1992 ඔක්තෝම්බර් 24 වෙනිදා බහමාස් කොඩිය යටතේ යුක්රේන ජාතික කාර්‍ය මණ්ඩලයක් සේවය කරන භාණ්ඩ ප්‍රවාහන නෞකාව ඝානාවේ "තකොරාඩි" වරායෙන් පිටත් වුනේ ප්‍රංශය  බලා ගමන් කිරීමටයි. කාර්‍ය මණ්ඩලයට අමතර තවත් අමුත්තන් පිරිසක් ඇති බවට කෞකවේ  කිසි කෙනෙක් දැනගෙන සිටියේ නැහැ. කිංස්ලි ඔෆෝසු සහ ඔහුගේ බාල සහෝදරයත් තවත් මිතුරන් 6 දෙනෙකුත් මෙම අති දුෂ්කර මාරාන්තික  ගමනට එකතු වී අවසානයි. නැව පිටත් වී හයවෙනි දවසේ උදේ මොවුන් 8 දෙනාට අමතරව තවත් කළු කැමරුන් ජතිකයෙකුත් කොකෝවා ගෝනි අතරේ සිට මොවුන්ට හමු වෙනවා. මේ අයුරින් යුරෝපයට පැන යෑමට අප්‍රිකාවේ බොහෝ රටවල් වල තරුණයන් උත්සහ දැරූ බවට කදිම නිදසුනක්. එදාම හවස නැවේ  කාර්ය මණ්ඩලයට මොවුන් කොටු වෙන්නෙ ආවසානවන්ත විදිහට.




මෙම  අනවසර පුද්ගලයන් කොටුවීමෙන් පසු යම් යම් හේතු කියා වෙන් කිරීමට ඔවුන් කටයුතු කරනවා. සියල්ලටම  කලින් මෙම පුද්ගලයන් ළඟ ඇති සියළුම මුදල් මෙම කාර්ය මණ්ඩලය විසින් එකතු කරනු ලබන්නෙ ආරක්ෂාකරිව ප්‍රංශයට ඇතුල් කරන පොරොන්දුව මත. එහෙත් කිසි විටකත් ඔවුන් සියලු දෙනාම එකම ස්ථානයේ රඳවා තබන්න උත්සහ කලේ නැහැ. දැනට කොටු කර ඇති ස්ථානයෙන් එක වර තිදෙනකු අවස්ථා කිහිපයකදී රැගෙන යන්නෙ පොරොන්දු වූ විදියට සඟවා තැබීමටයි. ඔෆෝසු සහ ඔහුගේ සහෝදරයා පමණයි අවසානයට ඉතුරු වුයේ. මොවුන් දෙදෙනාත් රැගෙන  යද්දී කිසියම් වෙනසක් මොවුන් දෙදෙනාට තේරුම් ගියා. මොවුන්ව  රැගෙන යන්න ආ පුද්ගලයාගේ කලිසමේ ඇති ලේ පැල්ලම් හා නැවේ තැන් තැන් වල විසිරි ඇති ලේ පැල්ලම් දැකීමෙන්  සිදුවෙන්න යන දේ ඉවෙන් මෙන් තේරුම් ගත්න කිංස්ලි සහ ඔහුගේ සහෝදරයත් හැකි වේගෙන් දිව්වත්, අවාසනාවට සහෝදරයට වෙඩි වැදෙනවා. කිංස්ලි හැකි අයුරින් ඔහුවත් රැගෙන සැඟවෙන්න උත්සහා දැරුවත් මේ මිනීමරු නැව් කාර්ය මණ්ඩලයට වෙඩි වැදී ඇති සහෝදරයාව කොටු වුණා.


තමන් කුඩා කාලේ වින්ඳ දුක තමන්ගේම දරුවන්ටත් විඳින්න දීමට නොහැකි කම නිසා මොවුන්ගේ නුපන් දරුවන් වෙනුවෙන් මෙම සහෝදරයන් දෙදෙනා ගත්ත උත්සාහය  වැරදි තීරණයක් බව තේරුම් යද්දී බොහෝ මිතුරන් මියගොස් අවසානයි. කිංස්ලිට ඔහුගේ සහෝදරයා මෙම මැරයන් විසින් මුහුදට විසිකිරීම  බලා සිටීම හැර කරන්න කිසි දෙයක් තිබුනේ නැහැ. මොවුන්ගේ මීළඟ ඉලක්කය වුනේ මේ සියල්ලම දන්නා තමන් විසින් ඝාතනය කරන  අයුරු දුටු කිංස්ලි ඔෆොසුව ඝාතනය කර මේ සියල්ල ලොවෙන් සැඟවීමටයි. මෙයට ඉහත නැව්  වලින් යුරෝපයට ගමන් ගත් මිතුරන්ට සිදු වූ දේ ගැන සිතාගන්නට කිංස්ලිට පුළුවන් වුණා. තමා ඝාතනය කිරීමට  එන මේ පිරිසෙන් බේරීමට ඔහු නොගත් උත්සහයක් නැහැ. දින තුනක් තිස්සේ නැවේ බඩු අස්සෙත්, විවිධාකාර බට අස්සෙ සැඟවිලා එහාට මෙහාට දුව දුව නැව ඇතුලේ නිරුපද්‍රිතව සිටින්නට ඔහුට හැකිවෙනවා. නෞකාව  කිසියම් වාරයක නැවතුන බව දැනගත් ඔහු නැංගුරම් කවුළුව අස්සෙන් යකඩ දම්වැල දිගේ මුහුදට බැස කෙටිදුරක් පිහිනා වරායට ඇතුළු වී හැකි වේගයෙන් දුවද්දි ඔහුගේ වාසනාවට ඒ මොහොතේ වරාය පොලිස් රථයක් පැමිණ තිබුණෙ. ඒ හැටි අධ්‍යාපනයක් නොමැති ඔහු දන්නේ ඔහුගේ දේශීය බස පමණයි. පොලිසියට කොටු වූ විගස ඉංග්‍රීසියෙන් කියන්නට දැනගෙන සිටියේ "ඝානා මෑන්, ඝානා මෑන් " පමණයි. ඝානා භාෂා පරිවර්තකයෙක් මගින් සියල්ල ප්‍රංශ පොලිසියට දැනගන්න ලැබෙනවා. ඒ ක්ෂණයෙන් නැවේ කැප්ටන් සහ අනෙකුත් සියලු දෙනාම අත්අඩංගුවට පත් විය.


                                               **********


මේ පුවත ලෝකයම කැළඹුව සිදුවීමක් බවට පත්වෙන්නෙ මෙතෙක් කල් ලෝකයට වසන් වී තිබුණු අපරාධයක් ලොවටම හෙළිවීමෙන්. ඒම කාලේදී එක්සත් ජාතික සංවිදානයේ ප්‍රධානියා වී සිටියේත් ඝාන ජාතිකයෙක් වන "කොෆි අනන්". එම නිසා මෙයට තවත් ප්‍රභල, ප්‍රසිද්දියක් ඇතිවිය. දුප්පත් අප්‍රිකානුවන්ගේ ජිවිත බේරාගන්නට ඔවුන්ව දැනුවත් කල කිංස්ලි ඝානාවේ වගේම අප්‍රිකාවේ සෙසු රටවල වීරයෙක් බවට පත්විය. වසර තුනක නඩු විභාගයකින් පසුව එම කාර්ය මණ්ඩලයට වසර 20ක සිර දඬුවමක් ද නැවේ ප්‍රධානියා හා තවත් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වාද සිර දඬුවම් හිමිවිය. නැවේ ප්‍රධානියාට ඇති අනිත් චෝදනාව වන්නේ කිසිම නිත්‍යානුකුල ලියවිල්ලක් නොමැතිව වසර තුනක් භාණ්ඩ ප්‍රවාහන කරවීමයි.


                                              කොෆි අනන්.


 මෙම සියලු සිද්දිය පසු කාලෙක චිත්‍රපටියකට නැගින. එය 1996 දී තිරගත විය. කිංස්ලි ගේ පුර්ණ කැමැත්ත ඇතුව චිත්‍රපටි සමාගම ඔහුට ඇමරිකානු ඩොලර් 60,000 ගෙවීමට පොරොන්දු නමුත් ඔහුට අද වෙනකම් ලැබී ඇත්තේ $10,000ක් පමණයි. ඔවුන් විවිධ හේතු මත කිංස්ලිව මගහරිනු ලැබූහ. එහෙත් විවිද සංවිධාන, රාජ්‍යන් ගෙන් ලැබුණු විශාල ආධාර මත ඔහු විශාල පොහොසතෙකුද විය. කාලයත් සමග ඔහු වටා සිටියවුන්ගෙන් රැවටීමට ලක්වීම ,කාන්තාවන්ට ලොල් බව හා යම් යම් හේතු නිසා    ඔහු සාමාන්‍ය පුද්ගලයෙකුගේ මට්ටමටම අද වෙන විට ඇද වැටි ඇත. එහෙත් කුඩා කාලේ සිට තිබුන කාර්මික ඉංජිනේරුවෙක් වීමේ ආසාව සඵල විය. ඔහුගේ බිරිඳත් දරුවන් හතර දෙනාත් සමඟ ප්‍රංශයේ දැනට ජිවත් වෙයි.    මෙම චිත්‍ර පටිය "යු ටියුබ්" හරහා ඉතා පහසුවෙන් නැරබිය හැක.මෙන්න මෙතනින්. 



සැ/යු. මගේ ආයතනයට සම්බන්ද කෙනක් මට මේ සිද්දිය විස්තර කෙළේ.කිංස්ලිට ඇති සම්බන්දයනම් කිංස්ලි වාරයේ රැකියාව සොයා දී ඇත්තේ මා කලින් කිව් මිතුරාගේ සහෝදරයයි.




Related Posts Plugin for WordPress, Blogger...