28 May 2012

බස් අජිත්ගේ පැහැර ගැනීම.


                                                      ඔහුගේ නම අජිත්. ඒත් කථා  කරද්දී වෙනස් වෙනස් විදියට  නම සංස්කරණය වෙලා තිබුනේ. අජ්ජා, අජිත්  මල්ලි, අජූත, වගේ නම් වලින්. වැඩි දෙනා හැඳිනුවේ "අජිත් මල්ලි" කියන නමින්. මට වඩා වයසින් වැඩි වුනත් අපි කථා කලේත් අජිත් මල්ලි කියල. පොඩි එකෙක් මල්ලි කිවුවට ඌ නම් ගණන් ගත්තෙම නැහැ. හැමදාම හවසට කට්ටිය එකතු වෙන තැන දී අජිත් මල්ලි අනිත් අයට වඩා කැපිලා පෙනුනා. ඒ වැඩියෙන් කථා කරන හා කරන මගෝඩි වැඩ  නිසා. අජිත් ඉස්කෝලේ කාලේ මිස් කෙනෙක්ව බයිසිකලේක හප්පලා මිස්ගේ අත කැඩූවයින් පස්සේ ටික කාලයක් යනකම් "මැර අජිත්" වුනා.මේ මොනවා කලත් හරි හිත හොඳ එකා.


මම දෙක වසරේදී තනියෙන් බස් එකේ එන්න බැරි කමට කනිෂ්ඨයේ පිට්ටනිය කොනේ වාඩි වෙලා පාරේ යන බස් ගණන් කර කර ඉන්නේ අක්කාගේ ඉස්කෝලේ ඉවර වෙනකං. එත් මට එහෙම වැඩි කාලයක් තනියෙන් ඉන්න ලැබුනේ නැහැ. මගේ තනියට ආවේ නිශාන්ත. ඒ මොන්ටිසෝරි කාලේ යාළුවා. හොඳ මිතුරෝ දුක සැප දෙකේදීම ළඟ ඉන්නවා කියල මට තේරුම් ගියේ දෙක වසරේදීමයි. නිශාන්ත කියන්නේ අපේ අජිත් මල්ලි ගේ මල්ලි. අයියා වගේම ගොන් වැඩ කරන්නේ සමහර විට ආරෙට යනවද දන්නේ නෑ.  ඒ කාලේ ටාසන් කථා මාලාව හොඳට ජනප්‍රිය වෙලා තිබුනේ.  මම වගේම අක්කලා අයියලා එනකං තනියෙන් හිටපු අපි කිහිප දෙනෙකුට කම්මැලි කම යන්න ගස් නැගීම පැනීම කම්බි වැටවල් යටින් රිංගීම වගේ වීර ක්‍රියා කලේ නිශාන්ත. පිට්ටනිය අයිනේ වවලා තියෙන අරලිය ගස් උඩ තමා වැඩි පුර කාලේ ගෙවුවේ. දවසක් ටාසන් ගහක් උඩ ඉඳල කැරකි කැරකි පනින සංදර්ශනයක් පෙන්වන්න ගහ මුදුනේ. "හූ" තුනක් කියල බිමට පැන්නේ වටයක් කැරකිලා කකුල් දෙක පොළොවේ වදින්න. එත් අවාසනාවට වුනේ වට බාගයක් කැරකිලා කකුල් දෙක හැර මුළු ඇඟම ඒක සැරේ පොළොවේ වැදීමයි.ටික වෙලාවක් යනකන් නිශාන්ත ඒ විදියටම නිදාගෙන හිටියේ. ටිකකින් අමාරුවෙන් නැගිටලා ඇලපත අතගාන ගමන් කිවුවේ "අද හරියට කැරකුණේ නැහැ බං" කියලා ඒ අයියගේ මල්ලි නේ. වැඩි වෙනසක් දැක්කේ නැහැ ගොන්කං වලින්.


අජිත්, නිශාන්ත හා අපි හැමෝම හවසට එකතු වුනේ හංදියේ බස් හෝල්ට් එකට. එතන ජිවිතේ හරි වෙනස්.  කවදාවත් එපා වෙන්නේ නැති අසනීපයක් හැදුනු දවසකටවත් ගෙදරට වෙලා ඉන්න හිතෙන්නේ නැති හරියට අබින් කාපු වගේ ඇබ්බැහි විමක්‌ වෙලා තිබුනේ. හැම දාම හවස  තුන වෙද්දී කිසිම විදියකින් ගෙදර ඉන්න බෑ. කරන්න තියෙන හැම වැඩක්ම උදේ වරුවේ කරලා තුන වෙද්දී නාලා පිරිසුදු වෙන්නේ හංදියට එකතු වෙන්න.  සාමාන්‍ය පෙළ ලියලා කිසි වැඩක් නැතිව ඕපපාතිකයන් වගේ හිටපු මේ දවස් ටිකේ වැඩිපුරම කාලේ ගත කලේ එතන. එත් හැම වින්දනයකටම  දුෂ්ඨයෝ ඉන්න වගේම අපිටත් හිටියා. වෙන කවුරුවත් නෙවෙයි පොලිසියේ OIC දවසක් කියල ගියේ "උඹල ඔතන ආයේ මම එද්දී හිටියොත් ජනෙල් ටිකකුයි දොරකුයි හයිකරලා දෙනවා ඔතනම පදිංචි වෙලාම ඉන්න"  කියල එත් එතුමාගේ හිත රිද්දන්න බැරි නිසා ඈත නිල්පාට ජීප් එකක් එද්දී දුවන වගේ ශාරීර අභ්‍යාස කළා. අජිත් ගේ සමහර හුරතල් වැඩ වලට ගමේ මිනිස්සු ටික දෙනෙක් කිවුවේ මාදවීකාරයා කියල එත් ඔහු සැලුනේ නැහැ. මොකද නඩුකරයත් ඉන්නේ "කාරයා"කියන ගොඩේ නිසා.හැබයි ටික දෙනෙක් අනුමත කලා අපි එතන ඉන්න නිසා හංදියට ආරක්ෂාවක් ලැබෙනවා කියල. ඒ කාලේ අපි ඔවුන්ට දීර්ඝායුෂ පැතුවා.


අපේ ගේ පහුකරලා ඒ හංදියේ එක් ගමනාන්තයක් වෙන ඩිපෝ බස් එකක් යන්නේ හවස මම ගෙදරින් එලියට බහින වෙලවෙදිමයි. ගෙදර බයිසිකලයක් තිබුනත් නෑවයින් පස්සේ බයිසිකල් පදින්නේ නැත්තේ දාඩිය දාන නිසා. ඒ වෙනුවට කරන්නේ ගේ ඉස්සරහින් යන බස් එකේ එල්ලිලා හංදියේන් බැහැ ගැනීම ටිකට් නොගෙනම . කොන්දාස්තර මාමා එද්දී කියන එකම උත්තරය උනේ බයිසිකලේ හුලන් බැහැලා එකයි මේ එල්ලුනේ කියල. එත් ඒ බොරුව වැඩිකල්  කියන්න ලැබුනේ නැහැ. සුපුරුදු බොරුව කියපු දවසක  බස් එකටම ඇහෙන්න කිවුවේ "මල්ලි ඔයාගේ බයිසිකලේ හැමදාම හුලන් බහිනවා නේ. ලබන මාසේ පඩියෙන් ටියුබ් එකක් අරන් දෙන්නම් එතකන් ඉන්න කියලය". බස් එකේ පිටිපස්සට වෙන්න හිටපු ගෑණු ළමයි හිනා වෙන අතරේ එක ඔරවන මූණක් දැක්කා ඒ වෙන කවුරුවත් නෙවෙයි අපේ අක්කා. එදායින් පස්සේ සල්ලි දීලවත් ඒ බස් එකේ ගියේ නැහැ දාඩිය දාගෙන බයිසිකලේ හංදියටම පැද්දා.


අපිත් එක්ක හිටපු පිරිසගෙන් වැඩිපුර රථ උණ තිබුනේ අජිත්ට. රියදුරු බලපත්‍ර තිබුණු දෙන්නාගෙන් එක්කෙනෙක් මේ අජිත්. කාගේ හරි බයිසිකලයක් දැක්කොත් හොරෙන්  පදින ගමන් තනි රෝදෙන් යන වගේ වැඩ කරන නිසා අපි  පුළුවන් තරම් ඔහුගෙන්  බයිසිකල් හංගන් ඉන්න උත්සහ කළා. ගේ ඉස්සරහින් එන බස් ඒක නවත්වන්නේ හංදියේ තියෙන තේ කඩේ ළඟ එතනින් සෙනග නග්ගගෙන ආයෙත් අනිත් ගමනාන්තයට පිටත්  වෙනවා. මේ පිටත් වීම පැය භාගයක් වගේ ඇති. ඒ හිටියත් බස් ඒක පිරෙන්නම රියදුරු මහතායි කොන්දාස්තර මහතායි විතරක් ඉන්න දවසුත් තියෙනවා. එච්චරට අපේ හංදියෙන් සෙනඟ. දවසක් අජිත් මේ බස් ඒක වටේ ඇවිද්දේ හරියට අපේ බයිසිකල් වටේ කැරකෙන වගේ. සුපුරුදු විදියට දෙන්නා කඩේ ඇතුලට ගියේ ඉතුරු පැය භාගේ තේ බිලා බුලත් විඩක් කාලා එන්න. මේ හැම දෙයක්ම අජිත් වෙනදට වඩා උනන්දුවෙන් බැලුවා. බස් සේවකයෝ දෙන්න එලියට අවම අජිත් වෙලාව බලල කිවුවේ "මුන් දෙන්නා තේ බොන්න පැය භාගයක් ගන්නවා නේ මචං" කියලා.ඒ කතාවේ ගැඹුරු අර්ථය අපිට තේරුනේ නැහැ.


පහුවදාත් බස් ඒක හරි වෙලාවට ඇවිත් කඩේ ඉස්සරහම නැවැත්තුවා. අජිත් වටයක් කැරකුනා අද මම මේ බස් ඒක අනිත් හන්දියට අරං ගිහිං ආයේ එනවා කවුද එන්නේ මාත් එක්ක. මම දැනගෙන හිටියා මේ දේ කවදාවත් කරන්න බැහැ මොකද යතුර ඩ්‍රයිවර් ළඟ නේ. එත් අජිත් විස්තර කලේ ඩිපෝ බස් වල යතුරු නැහැ වයර් දෙකක් එකතු කරලා ස්ටාර්ට් කරන්න පුළුවන් කියල. ඒ කියපු ක්ෂණයෙන් අජිත් බස් එකට නැගලා ස්ටාර්ට් කළා ඒ එක්කම මාත් එක්ක හිටපු තව දෙන්නෙකුත් නැග්ගා. මම නැග්ගේ නැත්තේ බස් එකක් පැහැර ගැනීම ලොකු වැරද්දක් කියල දන්න නිසා.  අනිත් ඒක මොන දේ කලත් පාසල් නිළ ඇඳුමින් හිටියොත් පොලිසියෙන් හරි සහනයක් ලැබෙනවා කියල දන්නවා. සාමාන්‍යන් මේ වගේ වැඩ කරන්න මම කොහෙත්තම එකතු වෙන්නේ නැහැ. අජිත්ට හරියන අනිත් දෙන්නත් එක්ක බස් ඒක හෙමිහිට තිබුන තැනින් පිටත් වුනා. ටික වෙලාවකින් රියදුරා ආව එලියට කොන්දොස්තරගේ පැත්තට හැරිලා 


"ඒ.... මල්ලි මාර වැඩේ නේ බස් ඒක නැහැ නේ. අපි ඩිපෝවට මොකද කියන්නේ ."
"අපි මෙතන නේද නැවැත්තුවේ." එදා හිටියේ අලුත් කොන්දොස්තර කෙනෙක්.


රියදුරා මගේ ලඟට ආවා   


"මල්ලි මෙතන තිබුන බස් ඒක දැක්කද?"


"අහ්... හංදිය පැත්තට ගියා ඒ ඔය ගොල්ලෝ නෙවෙයිද?" නොදන්නා විදියට ඇහුවේ. විනාඩි දෙකකින් විතර හන්දියට ගියපු බස් ඒක හරවාගෙන ආයෙත් එනවා  බස් ඒක තිබුන විදියටම හරවල නැවැත්තුවා. බස් ඒකෙන් බැහැලා ආවේ රියදුරු අජිත් හා සහයක රියදුරෝ දෙදෙනා. බසයේ ඔරිජිනල් රියදුරා අජිත් ලඟට ගියා ඒ සුනන්ගුවෙන්ම ඔහුගේ දකුණු අත අජිත්ගේ වම් කම්මුල සිප ගත්ත බව "චිටිස්‌".......   කියන සද්දෙන්ම තේරුනා. ඒ එක්කම හරි සංවේදී සිද්දියක් උනේ. අජිත්ගේ අත්දෙකම එකතු උනා ඉස්සරහට තිබුණු කකුල දණ හිස ලඟින් ටිකක් නැවුනා.


                                  අජිත් මල්ලිට ගහද්දි අපි බලන් හිටියේ මෙහෙමයි කොටේ උඩ ඉන්නේ මම.

"අනේ අයියේ ඔයාට ඕනෙනං මට ගහන්න නැත්නම් මාව මරාගෙන කන්න.පොඩි කාලේ ඉඳලම තිබුන ආසාවක් CTB බස් එකක් පදින්න. දැන් ඒකත් හරි. වැඩි දුර ගියේ නෑ අතන හන්දියට විතරයි ගියේ." උණුවෙන හිතක් තිබුණු රියදුරු මාමා තව බොරු සද්දයක් දැම්මේ ඔහුගේ රස්සාව ගැන හිතලමයි.පොලිසි නොගිහින් බේරුනේ අහුගේ තිබුන කාරුණික කම නිසා. ඒ සිද්දිය වෙනකොට අපි හතර දෙනෙක් විතර හිටියේ ඒත් හවස පහෙන් පස්සේ ආපු දෙන්නෙකුට මම සිද්දිය කිවුවා  හැමෝම දැනගෙන ඉන්න ඒක හොඳයි නේ.පස්සේ කාලෙකදී අජිත් මල්ලි අපේ ගමේ බස් අජිත් බවට පත්වුනා.



23 May 2012

ලිංගල කථා කරන කොංගෝවරු. 2 කොටස DR CONGO


            ජාත්‍යන්තර ගුවන්තොටුපළ
                                                       
පළමු කොටස.
                                          න්ජිලි ගුවන්තොටුපලේ සිට මා වැඩ කරන ආයතනයට රැගෙන යන්න ඒ ආයතනයෙන් දෙදෙනෙක්ක් ගුවන් යානය ළඟටම ඇවිත් හිටියා.හරියට පිට කොටුව බස් ස්ටැන්ඩ් එකට අඳුරන්නේ නැති කෙනේව ගන්න එනවා වගේ.ඇතුලේ සම්බන්ධතා වලින් ඕනෙම තැනක ඇවිදින්න පුළුවන්.ආරක්ෂාවක් ගැන ඒ හැටිම තැකීමක් නෑ.ගුවන් තොටුපලේ ඇතුලත හරියට ලංකාවේ පිටිසරබද ප්‍රදේශයක බස් නැවතුම් පලක් වගේ අපිරිසිදුයි. ජාත්‍යන්තර ගුවන් තොටුපලකට තිබිය යුතු පහසුම් ඇත්තෙම නැති තරම්. කොංගෝ රජයට  අයත් ගුවන් සේවාවක් නෑ. වෙනත් ගුවන් සේවා කිහිපයක් ක්‍රියාකාරිව සිටිනවා. දිනකට ගුවන් යානා 3 ක් පමණ ගොඩ බහින්නේ. ගුවන් තොටුපළින් පිට වුනාම  මහා අමුත්තක් දැනුනා. ඒ මම ලංකාවෙ සිට  වෙනත් රටක පය ගහපු පලවෙනි වතාව නිසා නුහුරු ගතිය වෙන්න ඇති. මඟ  දෙපස මිහිපිට ආපායක්‌ වගේ දකින දසුනක්වත් කිසි පිරියක් නෑ පාර දෙපස ජිවත් වෙන මිනිසුන්ගේ ජිවන රටාව ගැන දකිද්දී.


පහත දැක්වෙන්නේ ඉන් කිහිපයක්.





කොංගෝව 1971 සිට 1997 දක්වා හැඳින් වුයේ zසියරා යන නමින්.පළමු කොංගෝ සිවිල් යුද්ධයෙන් පසු zසියරව කොංගෝ නම් විය. පළමු සිවිල් යුද්දයෙන් මිනිසුන් ලක්‍ෂ 8ක් පමණ මියගොස් තියෙනවා.දෙවන කොංගෝ සිවිල් යුද්ධය ආරම්භ වුයේ.1998 අගෝස්තු. අවසානය 2003 ජුලි මේ අතර කාලයේ යුද්ධය නිසා සෙබළුන් හා සාමාන්‍ය වැසියන් සියල්ලන්ම මිලියන 7.8 ක් පමණ මිය ගොස් තියෙනවා. එම කාලය තුල දිනකට සාමාන්‍ය වැසියන් දහසකට වඩා මිය යෑම සාමාන්‍ය දෙයක්.රටවල් කිහිපයක දේශ සීමාවන් අතරේ ඇති වූ යුද්ධයක් නිසා මිය යෑමේ ප්‍රතිශතය වැඩි.කෙසේ වෙතත් පසුව  කොංගෝවේ ජනාධිපති වූ ජෝශප් කබිලා ගේ නායකත්වයෙන් සමග යුද්ධය නැවත්වීමට  හැකියාව ලැබුනා.


යුද්ධය අවසානයෙන් පසු තවමත්  රුවන්ඩා , බුරුන්ඩි ,කොංගෝ දේශ සිමා ආසන්නයේ ඇමරිකානු සෙබළුන්    ඒ දේශ සීමාවන්ට ආරක්ෂාව සපයනවා.ජාත්‍යන්තරය දන්නේ ඒ විදියට.නමුත් තවමත් දිනකට මිනිසුන් 14-15 ක් මිය යනවා ඒ ප්‍රශ්නේ රටවල් තුනම දන්නවා.මේ තොරතුරු එරටේ මාද්‍යවල ඵලවෙන්නේ නෑ. රටේ බහුතරයක් මේ ප්‍රශ්නේ ගැන දන්නේ නැහැ.මෙම යුද්ධයට  හේතුව ඒ රටේ දියමන්ති සම්පත ඉතා විශාලයි.ඇමරිකානු හමුදාව ඒ ප්‍රදේශවල බොරු යුද්ධයක් මවාපාලා දියමන්ති සම්පත ඇමරිකාවට රැගෙන යෑමයි.මේ සියල්ල වෙන්නේ රටේ ජනාධිපතිවත් දැනුවත්වයි.දිනකට මිනිසුන් 15 ක් පමණ මිය යෑම නිසා සිවිල් වැසියන් ඒ ප්‍රදේශවල සැරිසරන්නේ නැති නිසා ඇමරිකානුවන්ට ඒ දේවල් නිදහසේ කරන්න හැකියාවක් තියෙනවා. කොංගෝව ප්‍රංසයත් සමඟ ඉතා කිට්ටු සම්භන්ධ තාවයක් තියෙන්නේ ඔවුනුත් මේ දේවල් වලට සම්බන්ධයක් තියෙනවා.ඇමරිකාව ප්‍රංසය කොංගෝවේ සම්පත් හුරගෙන ඒ රටවල් වලට රැගෙන ගියාත් රටේ ජනාධිපති විදියට ඔහු නිහඬයි. ඒ ජනාධිපතිට ලැබෙන අමතර වාසි නිසා.ඇමරිකාව ඔහුගේ ජනාධිපතිකම ආරක්ෂා කරන්නේ එම වාසිය ලබා ගැනීමටයි.ඇමරිකාවට හිතකර රාජ්‍ය නායකොයෝ වෙනුවෙන් උදවූ කරන්නේ ඉහත කී හේතුව නිසා ( පිළිගන්න අමාරුයි ඇති  මේ තොරතුර දුන්නේ කොංගෝ ජාතික මගේ මිතුරෙක් මේ ලිපියට තොරතුරු සපයා ගත්තේ ඔහුගෙන් ) ආදී කාලේ ගිනි කඳු වලින් ගහන වුනු රට මැද තවත් ස්ථාන වල දියමන්ති සම්පත තිබුනත් ඒ ප්‍රදේශවල ජනතාවට දැනීමක් නෑ ඒ දේවල් ගොඩ ගෙන විකුණා මුදල් ගන්න.අගනගරයේ සිට කිසි කෙනෙක් ගිහින් එම ප්‍රදේශවලට දියමන්ති ගොඩ දැමීමක් කරන්නේ නැහැ ඒ ප්‍රදේශ වල ඇති දුෂ්කර තාවය නිසා.


කොංගෝ පොලිසිය ලෝකේ තියෙන දුෂිතම පොලිසිය වෙන්න ඕනේ.බොරු වැරදි වලින් වැරදි කරු කරලා මුදල් ලබා ගැනීම සුලභ දෙයක්.ඔවුන්ගේ වැටුප ලංකාවේ මුදලින් රුපියල් 6000 ක් විතර.එම වැටුපෙන් ඒ රටේ ජිවන වියදමත් එක්ක සතියක් ජිවත් වෙන්නවත් බෑ.වැරදි  කරුවෙක් මුදල් දීලා නිවැදි කරුවෙක් වෙන්න පුළුවන්. කිසිම දෙයකට සම්බන්ධ නැති කෙනෙක්ව වැරදි කරුවෙක් කරන්න ඒ රටේ දේශපාලනය කරන්නම ඕනේ නැහැ.ඩොලර් 10 ක් වගේ මුදලකට ඕනෙම දෙයක් කරන පොලිස් නිලධාරින ඉන්නවා.මේ මගේ ඇස් දෙකට දැකපු සිද්දියක්. ජනාකීර්ණ තැන් වල හොරු සහ පොලිසියෙන් දෙගොල්ලොන්ම ගැවසෙනවා හොරා මොනවා හරි අරන් දිවුවොත් අපි ඉන්න පොලිස් නිලධාරීන්ගෙන් සහයෝගය ගන්නනම් ඔවුන්ට මුදල් දෙන්න වෙනවා ඒ ඉල්ලන්නෙත් අපේ නැතිවුන් භාණ්ඩයට වඩා වටිනා මුදලක්.මහා මගදී අපිට වගේම ස්වදේශිකයන් පවා අසරණයි .හවසට එම හොරු හොර බඩුවලින් කොටසක් එම පොලිස් නිලධාරීන්ට දෙන්න වෙනවා.මම දැක්කේ ඒ දෙගොල්ලෝ ලාභය බෙදාගන්න අවස්ථාව.අපේ ආයතනයේ රියදුරා ඒ සිද්දිය සත්‍ය බව ඔප්පු කරලා පෙන්නුවා වෙනත් දවසක. හොරකම් මංකොල්ල කෑම් බොහෝදුරට සිද්ද වෙන්නේ හවස හයෙන් පසු වගේ.මම කොංගෝවේ හිටපු කිසිම දවසක පොලිසින් දැක්කේ නෑ හවස් යාමේ. නගරයේ පොලිස් ස්ථාන රාත්‍රී කිසිම ආලෝකයක් නෑ.ප්‍රධාන ස්ථාන හැර අනිත් සියලුම තැන් රාත්‍රී 10 න් පසු වසා දමපු ආයතන වගේ. හිටපු ගමන් විශේෂ එකක නගරේ සක්මන් කලත් ඒ සිවිල් ආරක්ෂාව වෙනුවෙන් නෙවෙයි.


දිනක් අපේ ආයතනයේ සේවය කරන ප්‍රංශ ජාතිකයා ගිය වහනය අනතුරකට ලක් වුනා .ලෝකේ සාමාන්‍ය නිතිය වාහනයේ රියදුරා අත්තඩංගුවට ගැනීමයි.නමුත් මේ දුෂිත පොලිසිය රියදුරා හා ප්‍රංස ජතිකයත් අත්තඩංගුවට ගත්තා මුදල් ලබා ගැනීමේ පරමාර්ථයෙන්.විදේශිකයෙක් පාරේ යද්දී  මුදල්  සිගරට් ඉල්ලනවා තවත් කරදර මේ සියල්ලම වෙන්නේ නිල ඇඳුම පිටින්.යාචකයන් හා පොලිසිය අතර ඇති වෙනස නිල ඇඳුම පමණයි.


දිනක් මම තවත් කොංගෝ ජාතික මිතුරෙක් එක්ක ජනාකීර්ණ නගරයක යද්දී මගේ ෆොනේ එක මංකොල්ල කෑවා දෙනෝ දාහක්  දෙනා බලාන ඉද්දි. සාක්කුවට අත දාලා.ඒ සියල්ල වෙන්න තත්පර 5 ක් වත් ගියේ නෑ. කලින්ම රටේ තත්වේ ගැන දන්න නිසා හැම වෙලේම පවිච්චිකලේ ඉතා ලාභ උපකරණ. මගේ ෆෝන් එක ගන්නවා දැකපු මිනිස්සු මා දිහා බලලා හිනාවෙවී හිටියා විතරයි. කිසි කෙනෙක් ඒ වෙලේ උදවුවට ආවේ නෑ.ඒ එරටේ හැටි. වහෙනකට තල්ලුවක් දාන්නෙත් මුදල් බලාගෙන.


කොංගෝවේ සාමාන්‍ය ගෙදරක පවුල් දෙකක් තුනක් විතර ජිවත් වෙනවා.විවාහ නොවී  එකට ජිවත් වීමෙන් ඇතිවෙන දරුවන් හදා වඩා ගන්න වෙන්නේ තවත් පිරිසකට මේ හේතුව නිසා ආනාත වෙන පිරිස් වැඩියි ඒ රටේ බොහෝ කාන්තාවන්ට දරුවන් සිටින්නේ කලින් පෙම්වතාගෙන්  සහා දැන් ඉන්න කෙනාගෙන් ලෙසයි. එක ගෙදර සිටින පිරිස රාත්‍රී නිදාගන්නේ අවස්ථා දෙකකදී. පිරිසක් වේලාසනින් නිදාගෙන අලුයම 2ට පමණ අවදි වෙනවා ඊට පසු අනිත් පිරිස නිදාගන්න යනවා.එක පිරිසක් අවදි වෙනකන් ඉතුරු අනිත් පිරිස ඉන්නේ එළියේ පුටුවක් උඩ එහෙම නැත්නම් ඒ අවට තියෙන ගහක් යට. වැස්ස දවස් වලට ඇති වෙන තත්වේ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ නේ.


                                                  සාම්ප්‍රධායික නිවසක්.


ගමනා ගමනය හරියාකාරව  ඇත්තේ කින්ෂාසා අගනුවර විතරයි. අගනුවර සිට ගොඩ බිමෙන් ගමන කරන්න පුළුවන් අනිත් නගරය වෙන්නේ මටාඩි වලට විතරයි.කොංගෝවේ ප්‍රධාන වරයා පිහිට තියෙන්නේ මටාඩි වල.කින්ෂාසා සිට අනිත් නගරවලට ගොඩ බිම මාර්ගයක් නෑ උදාහරණයක්‌ විදියට කොළඹ සිට ගාල්ලට, කොළඹ සිට මහා නුවරට යන්න  ගොඩ බිම මාර්ග තිබෙන වගේ  කින්ෂාසා සිට මහා මාර්ග භාවිතයෙන්  ඒ ප්‍රදේශ වලට යන්න තරම් දියුණු නෑ.භාවිතා කරන්න තිබෙන්නේ ගුවන් ගමන් හා රට පුර විහිදිලා ඇති කොංගෝ ගඟයි.මේ හේතුව නිසා අධ්‍යාපනයට අගනුවරට පැමිණි විශාල ප්‍රමාණයක් අයෙත් ඔවුන්ගේ උපන් බිමට ගිහින් නෑ. බෝට්ටු මගින් ගමන් කිරීම විශාල දවස් ගණනක වැයය වීම වගේ සිද්දි නිසා පසුව විවාහ වෙලා කින්ෂාසා වලම ජිවත් වෙනවා..


රටේ ප්‍රධාන නගර සියල්ලටම  ගුවන් තොටුපලක් ඇත.අභන්තර ගුවන් සේවා වෙදේශ සමාගම් වලින් පවත්වාගෙන යනවා.එහෙත්  ආරක්ෂාව ගැන එතරම් විශ්වාසයක් තබන්න බැහැ. 2001 සිට 2011 මම රටෙන් පිට වෙන දවස වෙනකන් අභ්‍යන්තර ගුවන් අනතුරු 147 ක් වාර්තා වෙනවා මිනිසුන් 460 ආසන්න ප්‍රමාණයක් මිය ගොස් 1300 ක් පමණ තුවාල ලබා තියෙනවා.මම ඒ රටෙන් පිට වෙන්න දවස 3 විතර කලින් සිදු වුන අනතුරෙන් විදේශිකයන් ඇතුළු කොංගෝ වැසියන්  35 දෙනෙක් පමණ මිය ගොස් සිටියා.මේ අනතුරුවලට හේතුව ගුවන් සංඥා පාලකයෝන්ගේ නොසැලකිල්ල. එක්සත් ජාතීන්ට අයත් ජෙට් යානාද මේ අතර වෙනවා. එම රටේ ඇති වෙන විනාශ රටෙන් පිට වෙන්නේ නැති තරම්.රටේ ජනතාවටවත් ඒ රට ගැන හැඟීමක් නෑ.ඊසාන දිගට වෙන්න ඇති යුද්ධය ගැන දන්නේ රටේ කිහිප දෙනෙක් විතරයි.





කොංගෝවේ ගමනා ගමනයෙන් වැඩි හරියක් වෙන්නේ කොංගෝ ගඟ හරහා.මෙය ලොව විශාලත්වයෙන් තුන්වන ගඟයි.එහි ගැඹුර මීටර් 220 ක්.ගඟේ දිග 4,700 Km.එය ලෝකෙන්ම දිගම ගංගා අතරින් නවවන ස්ථානයයි. කොංගෝ ගඟේ ප්‍රවාහනය සිදු වෙන්නේ විශේෂිත බෝට්ටු වලින්.එය ලංකාවේ පාලම් පාරුවට සමානකමක් තියෙනවා. සාමාන්‍ය ටෝලර් බෝට්ටුව වටේ විශාල ප්‍රදේශයක් ආවරණ වෙන විදියට බැරල් හෝ පාවෙන දෙයක් එකතු කරලා ඒ හරහා ලෑලි වලින් සම්බන්ධ කරලා ටෝලර් එකට එකතු කිරීමයි කරන්නේ.තවත් විස්තර කරනවානම් කෙසෙල් කොට පහුරක් පාරුවකට තියල ගැට ගහල ගං වතුරේ පදින්න යෝදගන්නවා වගේ.ඇතැම් බෝට්ටු ගමන ආරම්භයේ සිට අවසාන වෙන්න මාස 8 ක් වගේ කාලයක් ගත වෙනවා.කින්ෂාසා සිට බුකාමා දක්වායි එම කාලය ගත වෙන්නේ.සෑම රාත්‍රීයකම ගොඩ බිමක නතර කිරීම සිදු වෙනවා.එයට හේතුව ගඟේ ඇති ගල් පර වලින් බෙරිමටයි.



                                           අධික සැඩ පහරේ මාළු අල්ලන ධීවරයෝ.
                                                රට පුරා පිහිටා ඇති කොංගෝ ගඟ.

ඇතැම් බෝට්ටුවල වෛද්‍ය වරයෙකුත් සේවය කරනවා.සමහර මගින් තමන්ගේ ගමනාන්තයට ලඟා වෙන්නත් පෙර විවිද හේතු නිසා මිය යන අවස්ථාවල් සාමාන්‍යයි.එවැනි මල සිරුරු ලඟම ඇති ගම්මානයක වල දැමීමයි සාමාන්‍ය ක්‍රමය. මේ බෝට්ටුව ඇතුල කුඩා නගරයක් වගේ. සැලෝන් වෙළඳ සැල් ,අහර අලෙවි, සැල් දකින්න පුළුවන්.තවත් පිරිසක් ඔවුන්ගේ නගරේ සිට එළුවන් වගේ සතුන් අගනුවරට රැගෙන  එන ගමන් අමතර  ව්‍යාපාරයක්  විදියට මේ විදියේ  දේවල් වල නිරත වෙන්නේ. යලිත් කින්ෂාසා සිට ඔවුන්ගේ නගරයට යන්නේ ජංගම දුරකථන කාන්තා ආලේපන වගේ භාණ්ඩ රැගෙනයි.අධික මගීනුත් ප්‍රමතියෙන් තොර කෑලි එකතු කිරීම නිසා මෙවැනි යාත්‍රා වැඩි අනතුරට පත්වීම විශාල මිනිසුන් මිය යාම දකින්න පුළුවන්.මේ හැම අනතුරක් සිදු වුනාත් කොංගෝ වැසියන්ට ඒ දේ සාමාන්‍ය එක් සිදු විමක්‌ පමණයි.
                                                                    අධික මගීන් පටවාගත් යාත්‍රා.


                                                                    යාත්‍රාවක ඇතුලත.
                                                                            යාත්‍රාවක ඇතුලත.

කොන්ගෝ වැසි වනාන්තරය ලෝකේ තියෙන දෙවන විශාලතම වැසි වනාන්තරයයි.ඇමේසන් කිවුවාම මතක් වෙන්නේ දකුණු ඇමරිකාව, නයිල් ගඟ කිවුවාම මතක් වෙන්නේ ඊජිප්තුව,ඇමේසන් වනාන්තරයත් රටවල් කිහිපයකට අයත්. නයිල් ගඟ උගන්ඩාවෙන් ආරම්භ වෙලා රටවල් කිහිපයක් හරහා ගමන් කරලා ඊජිප්තුවෙන් අවසන් වෙන්නේ.ඒ වගේම කොංගෝ වනාන්තරයත් රටවල් 6 ක්  පුරා පැතිර තියෙනවා.ඒ කැමරුන්, මද්‍යම අප්‍රිකාව, කොංගෝ ජනරජය ,කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය,ගුනියා ගැබොන්.යන රටවලුයි .අක්කර මිලියන 1.5 පමණ විශාල මෙම වනතරේ විශේෂිත ගස් වර්ග 600 ක් විශේෂිත සත්වටන් 10,000 ක් විතර වෙනවා. පහත දැක්වෙන්නේ කොංගෝ වනන්තරේ ජිවත් වෙන සත්වයන් කිහිපයක්.ඇතැම් සතුන් ඇමේසන් වනාන්තෙරේද දැකගන්න පුළුවන්.


                                                                  කොංගෝ වනාන්තරය විහිති ඇති රටවල්.

                                                    ඔකාපි නම් සත්වයායි.ඇති වෙනස ඉතා දිග දිවක් ඇති සත්වයකි.

                                                                       ඌරු පැටවූ

                                                                             ඌරා



                                                                          වඳුරු විශේෂයක්.

                                                                          ගෙඹි විශේෂ





වල් ඌරා


 කලුයි සුදුයි කපුටා.



සැ/යු.. කොංගෝවේ මා ගත කල දුෂ්කර කාලය තුල ඇසු දුටු සිදුවීම් කිහිපයක්. ඉහත ඇතැම් කරනු හා ඇතැම් චායා රූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී. මෙම ලිපි දෙක පල කිරීමට මා උනන්දු කල කුරුන්දේ "සෙනා" ටත් ආරම්භය දින නොමැතිව කල් දාපු ප්‍රහාරයේ "සුමිත් නිරෙල්ලටත්" මගේ ස්තුතිය.



14 May 2012

ආනිසාම අපි යායුතුව ඇත ඔබා මාමේ ..





                    ලියනවා මකනවා ආයෙත් ලියනවා  ඒත් කොහොම ලියන්නද.වචන එන්නෙම නැහැ.ඒත් අමාරුවෙන් හරි මෙහෙම ලියන්නම්.


  ඊයේ උදේ ඔෆිස් ගිහිල්ල වැඩ පටන් ගන්නවත් එක්කම නිකමට වගේ බ්ලොග් එකට ලොග් වුනේ අලුත් පොස්ට් තියෙන්නේ මොනවද බලන්න.මගේ බ්ලොග් රෝලේ තිබුණු අලුත් පොස්ට් එකක් දැක්ක "ඔබා මාමාට නිවන් සුව" කියල. ඒක දැකපු ගමන් මට හිනා ගියේ ඔබා මමත් එක්ක ඉන්න මිතුරන්ගේ තවත් විහිළු වැඩක් වෙන්න ඇති කියල හිතුන නිසා.මොකද ඒ වගේ විහිලුවක්‌ බාර ගන්න පුළුවන් නිතාමානි අව්‍යාජ මිනිසෙක් මේ අපේ  ඔබා මාමා. කලකට ඉහත වය ධම්ම සංඛාරා කියල පොස්ට් එකකුත් දාල තිබුනා මට එකත් ලාවට මතක් වුනා. ඒ පොස්ට් ඒක වැඩි දියුණු කරලා දෝ කියලා හිතුනා. ඕනෙම කෙනෙක් කරන විහිළුවක් "හෙක් හෙක් " ගලා ඒ විහිළුවට තවත් විහිළුවක් කරන්  හිටපු මාමා. බ්ලොග් අවකාශේ අපේ වැඩි හිටියා,  හැම කෙනෙක්ම ගරු කරපු මාමා.අයෙත් කැන්ගරු දේශයට ගොඩ බැස්සයින් පස්සේ සුපුරුදු විදියට බ්ලොග් අවකාශේ අලුත් අයටත් පරණ අයටත් අත හිත දෙන්න ගමන උන්නේ.


කොහොම වුනත් මගේ යටි හිතට අමුතු මූසිල හැඟීමක් ආව.මම අනිත් සැරේ  බුකියට ලොග් වෙද්දී හැමෝම එකම විදියේ පින්තුර දාගෙන හිටියත් විස්තරයක් හරියටම දැනගන්න බලද්දී තමා වෙනි අයියා හිටියේ."ඔව් මල්ලි කතාව ඇත්ත." මගේ ප්‍රශ්නෙට මම හිතුවෙවත් නැති ඒ අවාසනාවන්ත තොරතුර ඇත්ත කියල තේරුම ගියා.එතනින් එහාට මට වෙනි අයියාත් එක්ක කතා කරන්න බැරිව ගියා.ඔහුව දැකලා කතා කරපු  එකට හිටපු අනිත් සයිබර් මිතුරන්ට කොහොම දුකක් දැනෙන්න ඇතතිද?.. මට ඒ වගේ හැඟීමක් ආවනම්. ජිවිතේ ඔහුව මුණ ගැහෙන්න තිබුන අවසාන අවස්තාවත් මඟ  ඇරිලා ගියා.අයෙ ඉතිං ඔබ වගේ කෙනෙක් මට මුණ ගැහෙන එකක් නැහැ.දැනටමත් ඔබට අලුත් මිතුරෝ මුණ ගැහිලා ඇති  ඒ හැමෝමත් එක්ක අපි දිහා බලාගෙන ඇති.


මාමගේ "වයධම්ම සංඛාරා" පොස්ට් එකෙන් කොටස් කිහිපයක් උපුටා ගන්නවා ඔබේ අවසරයකින් තොරව. අවසර දෙන්නත් අද ඔබ අපි ළඟ නෑ. මේ දේවල් මෙච්චර  ඉක්මනින් සිද්ද වුනේ කොහොමද?


ලොකු පුතාත් අපි කවුරුවත් හිතුවේ නෑ.
කවදාවත් නෑ.

ඕනෙම දෙයකට හිනා වෙලා ඉන්න තවත් අව්‍යාජ අවස්ථාවක්. ඒත් අපි කවුරුවත් එහෙම හිතුවේ නැහැ.යනවා කියල දැනගෙන හිටියාත් මෙච්චර ඉක්මණි යයි කියල අපි හිතුවේ නැහැ.තවමත් හිතාගන්න බෑ. 

සෑම් නොහිතා දමපු කමෙන්ට් ඒක. මෙහෙම දකින්න වෙයි කියල කාටද හිතුනේ.

ලිවිමටනම්  ඔබ ගැන බොහෝ දේ ඇත ඒත් අකුරු ගැට ගහ ගන්න අමාරුයි.මේ ඔබ මා වෙනුවෙන් තැබූ අවසාන මතක සටහන.ඔබේ අවසාන සටහනේදීත් මාව හිනා ගැස්සුවා.  ඒ හිනාව අතීතයට එකතු වී හමාරයි.


















"ඔබා මාමේ ඔබෙත් මගෙත් ජීවිතය අපිට අයිති නැත. අපි මෙහෙ ආ බැවින් ආයෙත් ටික කලකට එහෙ යා යුතුව ඇත."

මතු උපදින සංසාරේ ඔබ අපි අතරේම ඉපදේවා!!.

8 May 2012

ලිංගල කතා කරන කොංගෝවරු.DR.CONGO


                                                           කොංගෝ සිතියම.


                                                    
මද්‍යම අප්‍රිකාවේ රටක් වූ කොංගෝවේ මා සිටි කාලය තුල ලබපු අත්දැකීම් කිහිපයක් ඔබවෙත ඉදිරිපත් කිරීම ගන්නා උත්සහයයි. 


 කොංගෝව අප්‍රිකාවේ ඇති දෙවන විශාලතම රටයි. රටේ විශාලත්වය වර්ග කිලෝමීටර 2,345,406 පමණ පමණ  දිළිඳු රටකි.ජනගහනය මිලියන 71 කට වඩා ඉහල අගයක් ගනියි. අප්‍රිකා මහාද්වීපයේ උතුරින් මද්‍යම අප්‍රිකාවටත්, දකුණු සුඩනයටත්   ඊසානට වෙන්න  උගන්ඩාව,රුවාන්ඩා, බුරුන්ඩි යන රටවලටත් දකුණෙන් සැම්බියා,ඇන්ගෝලාවටත් කොංගෝ ජනරජයටත්, "තන්ගන්යිකා" විලෙන් ටැන්සානියාවත්  වට වුනු රටකි.රටේ අග නගරය "කින්ෂාසා"  නගරයයි.සියලු ප්‍රධාන පෙලේ ආයතන පිහිටා තිබෙන්නේ කින්ෂාසා කේන්ද්‍ර කොටගෙනයි.

                                                         ජාතික කොඩිය.

1960 දී බෙල්ජියෙමෙන් නිදහස ලැබ ඉතා වේගයෙන් දියුණු වෙමින් පවතී රටක්.එහෙත් එවකට ජනාධිපතිව සිටි "පැට්‍රිස් ලුලුම්බා" ගේ ඝාතනයෙන් පසු ඉතා වේගයෙන් යලිත් දිළිඳු තාවයට පත් වු තවමත් දියුණුව ඉබිගමනින් යන දුෂිත රටකි.ඔහුව ඝාතනයට ලක් වුනේ කින්ෂාසා අගනුවර සිට 2000 Km ඈතින් පිහිටි එලිසබත්විලි නම් නගරයේදීයි. පසුව එය ඔහුට ගරුකිරීමක් විදියට ලුබුම්බෂි කියන නම බාවිතයට ගැනින.ඔහුව ඝාතනයට එක්සත් ජාතීන්ගේ සංවිධානය වක්‍රව සම්බන්ධවී ඇත එයට හේතුව කොංගෝව වේගයෙන් දියුණු වීම බටහිර ජාතිකයන්ට ඉවසන්න නොහැකි වීමයි. දැනට පවතින දිළිඳු තත්වෙට හේතුව එක්සත් ජාතින් මිතුරු වෙසින් ඇවිත් ඒ රට වින්සා කිරීමයි.රටේ උගත් කමක් ඇති ඇතැම් පිරිස් මේ සියල්ල නිහඬව විඳ දරාගෙන සිටින්නේ වෙන කරන්න දෙයක් නැති කමට.


                                                  පැට්‍රිස් ලුලුම්බා නම් අගමැති.

ප්‍රධාන භාෂාව වෙන්නේ ප්‍රංස භාෂාවයි දේශීය භාෂා අතරින් ලිංගල,ස්වයිලි,කිකොන්ගෝ,ශිලුබා භාෂාවන් වැඩි වශයෙන්  බාවිතා කරයි.ඉංග්‍රීසි බාවිතා ඇත්තෙම නැති තරම්.ප්‍රංස කතා කිරීමට නොහැකිනම් තමන්ගේ වැඩ කටයුතු කිරීමට කොහෙත්තම හැකියාවක් නැහැ.එහෙත් දැන් තරුණයන් ඉංග්‍රීසි ඉගන ගැනීමට වැඩි කැමැත්තක් දක්වනවා.නිදහස් අධ්‍යාපනයක්‌  නැති දිළිඳු වුවත් රජයේ පාසල් වලට මුදල් අයකරගන්නා අධ්‍යාපන ක්‍රමයක් ඇති නිසා ඉතා විශාල ප්‍රමාණයක් කිසිම අධ්‍යාපනයක්‌ නොලබා හැම දාම  දිළින්දන් විදියට ජිවත් වෙන්නේ. රෝගියෙකුට නොමිලේ බෙහෙත් ගන්න ක්‍රමවේදයක් ඒ රටේ නැහැ.එක්සත් ජාතීන්ගේ සංවිදානය තැනින් තැන කඳවුරු පවත්වාගෙන දෙන බෙහෙත් ලබා ගැනීමට හැකි වෙන්නේ ඉතාම සුළු පිරිසකට පමණයි.


           ජනාකීර්ණ නගරයක්.


       කුඩා දුපතක් වැනි මගී යාත්‍රාවක්


                                                           එවැනි යාත්‍රාවක ඇතුලත.

ප්‍රධාන වශයෙන් ඇති මැලේරියාව නිසා විශාල ප්‍රමාණයක් මිය යනවා.පාචනය හා සෙන්ගමාල වගේ රෝගීන් සුලභව දැකිය හැකි.මුදල් ඇති රෝගීන් ජිවත් වෙනවා නැති සියලු දෙනා මිය යනවා.රජයක් විදියට ඒ රටේ මිනිසුන් වෙනුවෙන් ගන්නා ක්‍රියා මාර්ග ඉතා සීමිතයි.රටේ ජනාධිපති ගේ සිට සියලුම රාජ්‍ය සේවකයෝ දුෂිතයි..රටේ ඇති අඩු අධ්‍යාපනය හා අසරණකම නිසා ඒවාට විරුද්ද වෙන පිරිස් නැති කමේ ප්‍රයෝජනය ඒ පාලකයෝ ඉතා හොඳින් තමන්ට රිසිසේ පාලනය ගෙන යනවා.නල ජලය ලැබෙන ටැංකි අවුරුදු 10 සැරයක්වත් පිරිසිදු කර නැහැ.ඉතා දිළින්දන් පමණක් එම ජලය  පානය කලත් අනිත් සියලු දෙනා භාවිතා කරන්නේ පිරිසිදු කටයුතු  කරගැනීමට පමණයි.ස්වභාවයෙන්ම ජලය අඩුවෙන් පානය කිරීමට ශරීරය සකස් වී ඇති නිසා ඒ දේ ඔවුන්ට ඉතා පිටිවහලක් වෙනවා.

දවසේ වැඩි වෙලාවක් විදුලිය කප්පාදුවකට ලක් වීම ඉතා සුලබව දැකිය හැකි දෙයක්. එයට හේතුව ඒ රටේ වගකිවයුතු නිලධාරීන්ට ඇති ඉන්ධන පිරවුම්හල් නිසා.විදුලිය නැති එහෙත්  වැඩ කල යුතු සියලු ආයතන වැඩ කරන්නේ ජෙනරේටර් ආධාරයෙන්.ජෙනරෙටරයට අවශ්‍ය ඉන්ධන ලැබෙන්නේ ඉහත කියපු නිලධාරීන්ට අයත් ඉන්ධන පිරවුම් හල් වලින් .කොංගෝවේ රජයේ සේවකයෙකුට "HUMMER"  ජීප් එකක් මිලදී ගැනීම එතරම් අපහසු කටවුත්තක් නෙවෙයි.මොකද රජයේ සේවකයෝන්ට ලැබෙන ඉහල වැටුප්.රටෙන් 90% රැකියා නෑ. රැකියා උත්පාදනයකුත් නැහැ.විදේශ ගත වෙන්නත් ඒ රටේ මිනිසුන්ට ඉතා අමාරු දෙයක් මොකද බොහෝ රටවල් කොංගෝවරුන්ට විසා දෙන්න ඇති අකමැත්ත.



සැ/යු. මේ සියලු විස්තර මගේ ඇහැට දැකපු කනට ඇසුණු තොරතුරු පදනම් කරගෙන ලියන ලදී.තව වැදගත් විස්තර ඉදිරි ලිපියෙන් බලාපොරොත්තු වන්න.




Related Posts Plugin for WordPress, Blogger...