අපේ සෙට් වෙන බල ප්‍රදේශයේ අලුතින්ම ගෙනාපු ගියර් 21 ඉස්සරහ විතරක් ශෝකට් තියෙන නිල් පාට මවුන්ටන් බයිසිකලය මගේ. ඒ කාලේ ඒ බයිසිකලය
සමාන වුනේ 70 දශකයේ ගමේ "මැම්බර් මහත්තයා" ගෙනාපු "ඉබ්බා කාර්" එකට ලැබුන තැනමයි.හැම
දෙයකටම පාවිච්චිකලේ මගේ මේ සයිකලේ.ඒ කාලේ කාර් එක ලෙඩෙක් ගෙනියන්න, මගුල් ගෙදරක
මනමාලිව ගෙනියන්න, වගේ වැදගත් වැඩවලට ගත්තත් මේකෙන් කලේ හවස පංති ඉවර වෙන වෙලාවට පන්තිය වටේ කැරකෙන්න, තමන්ගේ කෙල්ලගේ
ගෙවල් පැත්තේ යන්න වගේ වැඩ වලට.ලොකු එකාගේ ඉඳල පොඩි එකාගේ දක්වා වැඩ වලට මේක
පාවිච්චි කළා. මේ හැමෝගෙම වැඩ ඉවර වෙලා බයිසිකලේ නැවත මට භාරදෙනකන් මදුරුවෝ තල,තල
පාලම උඩට වෙලා ඉන්න සිදුවුණ අවාස්තාවල් එමටයි.
මගේ එක වසරේ ඉඳල යාළුවා, "බස් අජිත්ගේ" මල්ලි නිශාන්තත් මේ බයිසිකලේ ගමට ගෙනාව දවසේ ඉඳල
කෑල්ලෙන් කෑල්ල කඩා දාලා අපේ ගෙදර
පිළිකන්නේ දිරලා යනකම්ම හොඳට ප්‍රයෝජන ගත්ත කෙනෙක්.ඔහුගේ ඒ දවස් වල ට්‍රයි කරපු ඒ
කෙල්ල බලන්න යන්න පාවිච්චිකලේ මේ සයිකලයම තමා. අපේ ගමට ගම් දෙකකට ඈතින් හිටපු ඒ ගෑණු
ළමයාගේ ගේ අවට කැරකෙන්න අපි සඳුදා, බදාදා,වැඩක් නොතිබුනොත් සෙනසුරාදත් යන්නත් අපි පුරුදු වෙලා හිටියා. ඒ අවට හිටපු ලස්සනම
කෙල්ල.පැය දෙකේ හින්දි ටෙලි නාට්‍ය වල "ස්ට්‍රේට් කොන්ඩ" දකින්න කලින් අපි මුලින්
ස්ට්‍රට් කොණ්ඩයක් දැක්කේ ඇගේ උපතින්ම හිමිවෙලා තිබුන කොන්ඩෙන්. ඇස් දෙක හරියට "සුදු කිරි කෝප්පයකට කළු කෝපි බිංදුවක්" දාලා වගේ.පැහැදිලි ඇස් දෙකක් ඇයට තිබුනේ. රූපය
ටිකක් "ශෂිකා නිසංසලා" කියන ගායිකාව වගේ.
ඈ ටියුෂන් තුන හතරකට ගියා.ඒ යන හැම තැනකදීම
කොල්ලෝ ඈගෙ පස්සෙන් දුසිම් ගණන් ආවා.අපි නම් ඒ පංති අසල කැරකුණේ නැ.අපි මොකටද නොදන්නා පළාත් වල ගිහින් චාටෙර් කන්නේ. කොහේ ගියාත්
හවස ගෙදර එන නිසා අපි ගේ අවටම තමා කැරකුණේ. අද කාලේ “නොදැක ඉන්න බෑ මට නම් මගේ
ආදරී” කියන ගීතය ගීතයක් විදියට ජනප්‍රිය වෙන්න කලින් ඒ මුල් වචන ටික මුලින්ම
නිර්මාණය කලේ අපේ පාළම ලඟදි අපේ නිශාන්තම තමා. ඒ ඔහුගේ සිහින පෙම්වතියට. ඒ ගීතය අද
කාලේ කොච්චර රස වින්දක් නිශාන්ත ඒ වචන ටික ඒ කාලේ කියද්දී මගේ බඩ පපුව පිච්චිලා
යනවා. එයට හේතුව ගෑණු ළමයාගේ ගෙවල් ළඟට යන්නනම් මග දිගට ඇති කඳු 3ක් තරණය කරලා කිලෝ මීටර් 2ක් දුර බයිසිකලේ නිශාන්තවත් දාගෙන පදින්න
වෙන එක ගැන. කෙල්ලව බලන්න "ෆ්‍රෙෂ්" එකේ යන්න ඕන නිසා මම දාඩිය දාගෙන බයිසිකලේ
පදින්නේ.ගියර් තිබ්බත් ඒ කඳු පදින එක ලේසි නැහැ.එනගමන් ඔහු මාව තියාගෙන පැද්දත් මම
කලින් තරණය කරපු කඳු ඔහුට තිබුනේ නිවුටල් එකේ බස්සන්න.කන්දක් තිබුනොත් පැල්ලමක්
ඇතැයි කියන සිද්ධාන්තය මෙතැනදී අපිට බලපෑවේ නැහැ.
අපි යන එක දවසකවත් ඇය මිදුලේවත් හිටියෙනම් නැහැ.යන හැම දාම අපි දැක්කේ මිදුලේ
ඇති මල්ගස් හා පිළිකන්නේ ඇති හිස් රෙදි වැල විතරයි.හැම දාම ඇගේ ගෙදර ළඟදීම අපේ
බයිසිකලේ චේන් එක පනිනවා. මම චේන් එක දාගන්නකන් නිශාන්ත ගේ දිහා බලන් ඉන්නේ හරියට "ගැරඬියා ගෙම්බෝ පැටවූ දානකන්" බලන් ඉන්නාව වගේ.කවදාවත් එලියට ආවේ නැහැ. ඔන්න දවසක්
නිශාන්ත තරමක් සතුටු හිතෙන දෙයක් තිබුනා.ඒ
පිළිකන්නේ රෙදි වැලේ ඇය එදා පංති ඇඳන් ගියපු ඩෙනිම් කලිසම වනලා තිබුනා. මෙය
දැකීමෙන් නිශාන්ත ගේ මුනේ තිබුන හිනාව හරියට ඇගෙන් විවහා යෝජනාවක් ආවා වගේ. ඔහුගේ
ඇස් වලින් මම දැක්කා අවංක ප්‍රේමය.
මට හිතුන එක දෙයක් තමා කොහොම හරි මේ දේ ඇයට ඒත්තු
ගන්වන්න ඕනේ කියන එක.කවදාවත් කතා කරලා නැහැ, ඈතින් ඉඳන් බලන් ඉන්නවා නැත්නම් ගේ
ඉස්සරහින් එහාට මෙහාට යනවා.ඊට වඩා දෙයක් නිශාන්තගේ අතින් සිද්ද වුනේ නැහැ."වඳුරා ගෙවල් හදනවා වගේ" අද අහනවා හෙට අහනව කියා කියා හැම දාම වැඩේ පස්සට දැම්මා. දවසක්
මගේ උනන්දුවෙන් බස් එකෙන් බහිද්දිම ඈ ලඟට යන්න කැමති කරව ගත්තේ යාළුවෙක් හිතින් දුක් විඳිනවා බලන්න ඉන්න බැරි කම නිසාමයි. බස්
එක පස්සෙන් පුට් සයිකලයක් පදින එකනම් ලේසි නැහැ.ගියර් බයිසිකලෙන් වැඩක්
ගත්තේ මම නම් එදාම තමා. දාඩිය දාගෙන නහයෙන් හා කටින් හුස්ම ගන්න ගමන් මම ඇ යන පාරේ
ටිකක් ගෙවල් අඩු හරියකදී ඈගේ ලඟට කිට්ටු කලේ නිශාන්තගේ හිතේ කැකෑරෙමින් තිබුන
අවංක අදහස වචන වලින් පිට කරන්න. මම තවත් ඇගේ කිට්ටුවටම ලන් කරද්දීම අරු රහසින් ලතෝනි
දුන්නේ වේගෙන් පදින්න කියලයි. “මොකෝ බන් චෑන්ස් එක මිස් කලේ”. වෙවුලන කට හැඩින්
මමත් රහසින් ලතෝනි දුන්නා. "උඩ ගෙදර හිටිය අංකල් අපේ තාත්තා වගේ බං මම දැක්කේ". තියෙන
බයට තමන්ගේම තාත්තත් අඳුර ගන්න බැරි වුන පුතෙක් ගැන මං එදා දැනගත්තා.
මොනවා වුනාත් ඇය හොඳ හැදිච්ච කෙල්ල. කොල්ලෝ 100ක්
පස්සෙන් ආවත් හිනා වෙලා බලා පොරොත්තු දුන්නෙත් නැහැ වචනයක්වත් කියලා එක කොල්ලෙක්ගේ
හිත රිදෙවුවෙත් නැහැ.බැනලා තරහා කරගත්තෙත් නැහැ. ඉඳල හිටලා පස්සෙන් එන කොල්ලොන්ට
රවනව විතරයි. මේ අතරේ මහා පුදුම දෙයක් සිද්ද වෙනවා.නිශාන්ත තනියෙන් බස් එකේ යන
දවස් වල ඒ ගෑණු ළමයා නිශාන්තත් එක්ක හිනා
වෙනවා “කොහොමද” කියලා කතා කරනවාලු.අපි දෙන්නම ඉද්දි මුණවත් බලන්නේ නැහැ.මාස 4කට
පස්සේ නිශාන්ත තීරණයක් ගත්තා. “වැඩේ හරියන්නේ නැහැ බං. එකී අල්ලන්න අමාරුයි වගේ
අල්ලලා දාමු මචං”.මම කඳු පැදිල්ලට නිමාවක් තැබුවා.
දවසක් මම දවල් නිදාගෙන ඉන්න වෙලාවක අපේ සෙට්
එකේම සම වයසේ තව යාළුවෙක් අපේ අම්මට බොරුවක් කියලා මාව එලියට එක්කරගෙන ආව.කඳු
තරඟයට නිමාවක් කියල හිතුවත් ආයෙත් නිශාන්ත තියන් පැදපු මට දුලිප්ව තියාගෙන පදින්න
සිද්ද වෙලා.එදා තමා මම ඉස්සෙල්ලාම උදේ හවස පිහදාල සන්සිල්ක් ෂැම්පු වතුරෙන් හෝදන මගේ බයිසිකලේ දිහා කේන්තියෙන් බැලුවේ.
නිශාන්තගේත් දුලිප්ගේත් වැඩි වෙනසක් මම දැක්කේ නැහැ ගෙදර ලඟට යනවා ආයේ එනවා බස්
එකේදී හිනා වෙනවා ලු.ඒ හැර දෙයක් සිද්ද වුනේ නැහැ. නිශාන්තට හිත ගියේ නැති ඇය
දුලිප්ටවත් හිත යාවිදෝ කියන අදහසින් මම හිටියේ. නිශාන්ත හිතින් ආදරේ කරපු ඇයට දුලිප් ට්‍රයි කරන්නේ අවංකවමයි.
නිශාන්තගෙන් අපිට තිබුනේ සහයෝගයක් මිසක්
කවදාවත් නපුරක් වුනේ නැහැ.අපි අතර තිබුන මිතුරුකම "මිරිඟුවක්" වගේ කෙල්ලෙක්
වෙනුවෙන් නැතිකරගත්තේ නැහැ. කාලෙකට පස්සේ දුලිප් නිශාන්ත වගේම අඩි ගානක් පස්සට
තියලා හැරිල වෙන ගමනක් ගියා.
කාලයක් ඒ පැත්තටවත් යන්න හේතුවක් නොතිබුන නිසා
සාමාන්‍ය විදියට හවස් වරුව ගත කළා.හිටපු ගමන් පුරුද්දට වගේ ආයෙත් ඇගේ ගෙවල් පැත්තේ
රවුමක් දාල එන්න හිත කියනවා. නිශාත්තත් එක්ක දවසක් ඔහු නැති වුන දවසට දුලිප්
එක්කත් ඒ පැත්තේ ගියා.විශේෂයකට තිබුනේ වෙනදා දහඩිය දාගෙන පැදපු මම බයිසිකලේ වාඩි
වෙලා යන්නේ. ඒ කියන්නේ කෙසේ හෝ මේ ගැහැණු ළමයා ගමේ කෙනෙක්ට අයිති කරගන්න තම අපි
උත්සහ කලේ. ඈ ගැන හිතක් පහල වුනාට නිදා ගනිද්දී සිහින දකින ඒවා අත අල්ලාගෙන පාරේ ඇවිදින හැටි,පෝරුවක් උඩ ඉන්නවා වගේ දේවල් ගැන
සිහින් මැවුවෙත් නෑ නින්දේදී දැක්කෙත් නෑ.මිට කලින් මවපු හීන බොඳ වුනේ හරියට "ගස්ලබු බටයෙක් සබන් බෝල යවපු ගමන් බිඳෙනවා
වගේ". මවන වේගෙට වඩා වැඩි වේගයෙන් බොඳ වෙනවා. අනිත් දෙන්නත් එක්ක බස් එකේ හිනා වෙලා
කතා කලා කිවුවට මගේ මුණ බැලුවෙත් නැහැ ඇගේ යාළුවනම් අමුතු බැල්මක් බලල අහක
බලාගන්නේ මහා "අලුගුත්තේරු" විදියට.එත් අරුන් දෙන්නට වඩා මං ටිකක් ඉස්සරහින් හිටියේ.ඇගේ
පාසලේ නිවාසාන්තර තරඟ දවසක "සරඹ සංදර්ශනයකට" ඈ සහභාගී වෙලා එයට අවශ්‍ය සුදු අත්දික ෂර්ට් එකක් මට දෙන්න හැකි වුනා .ඈ ඇන්දයින් පසු සෝදන්නේ නැතිව මට අඳින්න මම සිහින මැවුවා.නැවත එය බාර දෙද්දී අර "කිරි පාට
ඇස් දෙක" ලගටම දකින්න, ඒ දෙද්දී ඇස්දෙක කරකවා "ස්තුතියි" කියනවා අහන්න ආසාවෙන් හිටියේ. අනිත්
දෙන්නට වඩා පියවර ගානක් ඉස්සරහින් මම හිටියා.අවාසනාවකට ඒ සුදු කමිසය නැවත ලැබුනේ නැහැ. මේ විදියට මම
නිශාත්තත් එක්කත් දුලිප් එක්කත් අපේ ගමන ගියා. හදිස්සි දවස් වල අපි තිදෙනාම ඇගේ
ගෙවල් වටේ කැරකුණ වෙලාවලුත් තිබුනා.ඒ වෙද්දී අපි තිදෙනාම එකා පස්සේ එකා ඇගේ හිත ගන්න උත්සහ කළා.
කාලෙකට පස්සේ උදේ බස් එකේ මම රැකියාවට කොළඹ
යද්දිත් එකම බස් එකෙන් ඇවිත් බස් ස්ටැන්ඩ් එකේ අපි දෙන්නම මූණට මුණ හමු වුනා .මාව
දැක්ක ගමන් ඉතා හුරුපුරුදු යාළුවෙක් එක්ක
හිනා වෙන විදියේ හිනාවක් දැම්මා.ඒත් එක සැරේම හිනා නොවී පිටුපස බැලුවේ ඇගේ
යාලුවෙක් එක්කවත් හිනා වුනාදවත් කියල දැනගන්න.මිට කලින් ඒ විදියේ නින්දාසහගත
අත්දැකීම් අනන්තවත් විඳලා ඇති නිසයි.නොසිතු
විදියට ඇය මාත් එක්ක කතා කළා!!.. ඇය
විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් බව ඇගෙන් මම දැනගත්තා. මෙච්චර කොල්ලෝ කරදර කරලත් පළවෙනි සැරෙන්ම විශ්වවිද්‍යාල යන්න තරම් ඈ දක්ෂ වුනා. මමත් මගේ රැකියාව ගැන ටිකක් විස්තර
කියල අපි දෙන්න වෙන් වුනා.ඉන්පසු අද
වෙනකන් ඈ දැක්කේ නැහැ.
අපිත් එක්ක කතා නොකර දැන් අපිටත් කලින් හිනා වෙලා
කතා කරන්නේ ඇයිද කියලා මට ඒ හැටි පුදුමයක් ඇති වුනේ නැහැ."පැණි වරක ගහටත් හෙන ගහනවානේ" කාලෙකදී.ඒ වගේම ඇයට මහා නින්දා සහගත සිද්දියකට මුහුණ දෙන්න සිදු වුනා. ඉතා ප්‍රසිද්ද ටියුෂන් ගුරුවරයෙක් සමඟ ඇති වුනා කියන සම්බන්ධයක්.ඔහුගේ බිරිඳ ඇයත් සමඟ කෙහිවලු
පටලවා ගත්තා. තව තව සිද්දි ගොඩාක් ඇති වුනා ලු. පස්සෙන් ආපු කොල්ලෝ හැමෝම විහිළු කරන්න ගත්තා. ඉතා පහත් ගෑණියෙක් විදියට
කොල්ලෝ අතරේ කතාවක් නිර්මාණය වුනා.ඈ කාලයක් ගමෙන් පිට වෙලාත් හිටියා.මේ කිසි දෙයක් සිදු වුනාත් කවදාවත් අපි තුන්දෙනා ඒ කිසිම කතාවක් විශ්වාස කලේ නැහැ.අපි තිදෙනාම අවංකව
ආදරේ කල නිසා වෙන්න ඇති.ටික කලකින් ඈ ආයෙත් ගමට ආවා.කොල්ලෝ වෙනදා වගේ තමා මුණ
බලන්නේ නැති විදියට කොල්ලොන්ට එපා වෙලා. නින්දා සහගත විදියට ඈ ස්සරහ හැසිරුනා. "හරියට
උන්ගේ තාත්තත් එක්ක මේ කෙල්ල හිටියා වගේ". ඇතැම් විට ඇගේ කැමැත්ත නොලැබුන කේන්තියට
වෙන්න ඕනේ.. මේ කිසිදෙයක් අපි නොදැක්ක නිසා විශ්වාස කලේ නැහැ.ඒ කාලේ අපි විතරයි
කලින් විදියටම කෙල්ලෙක්ට කරන ගෞරවයෙන් හිටියේ.ඒ නිසාම වියයුතුයි එදා මාත් එක්ක කතා
කලේ. අපි තිදෙනාම කැමැත්ත ලබා ගැනීමට උත්සහ කිරීම අනිකුත් ප්‍රශ්න ඇති වීම මේ හැම දෙයක්ම මාස 10ක් ඇතුලත සිදු වුනේ.
අද වෙද්දී නිශාන්ත ලංකාවේ නැත. දුලිප් හා මමද
ලංකාවේ නොමැත.අප තිදෙනාගේ තාරුණ්‍ය විඳින්නට සැලසු ඇයද අද ගමේ නැත. නුවර පැත්තෙන්
දෙමාපියන්ගේ ආශිර්වාදය ඇතුව විවාහ වෙලා සැපවත් ජිවිතයක් ගතකරනවා.ගමේ කොල්ලන්ගේ සිහින පෙම්වතියන් වෙනුවෙන් මැම්බර්
මහතාගේ ඉබ්බා කාර් එකට සමාන සේවාවක් කල මගේ බයිසිකලේද අද ගෙදර පිලිකන්නේද නැත.
නමුත් මතක් වෙද්දී ඇස්දෙක බොඳ කරන සුන්දර මතකයක් ඉතිරිව ඇත.හැමදාම මට හිතෙනවා
වගේ අදත් හිතෙනවා "අපරාදේ අපි ඉක්මනින් ලොකු වුනේ".
ප/ලි: ඉරිසියාවක් නැතිව අදත් සිත්තරේ ඇන්දේ තිළිණි.
ප/ලි: ඉරිසියාවක් නැතිව අදත් සිත්තරේ ඇන්දේ තිළිණි.
.jpg)





















