28 Apr 2012

රුවැත්තියක් මට අත වනනවා මම ඉඳගෙන බෑ බෑ කියනවා..


                                                       සෙනසුරාද වැඩ තියෙන්නේ වෙනද වගේ නෙවෙයි දවස් භාගයයි.වැඩ ඉවර වුන ගමන් මාත් එක්ක වැඩ කරන තනිකඩයෝ හෙව්වේ අපේ සමාජෙට ගැලෙපෙන්නේ එවුන් නිසා.ඒත් එදා මට මේ නව නින්ගිරා වැඩේ සිද්ද වෙන්න ඕනේ නිසා මගේ නපුරු වෙලාවට කාටවත් මාත් එක්ක  සමාජ ගත වෙන්න එදා බැරි වුනා. ඒ හැම දෙයක්ම අසාර්ථක  වුනු  හින්දම බම්බලපිටියෙන් බස් එකට නැග්ගේ පිටකොටුවට ගිහින් තවත් ගමනක් යන්න හිතාගෙන.


වැඩි සෙනගක් නැති බස් එකේ මාත් එක්කම හතර පස් දෙනෙක් හිටගෙන කවුලුවෙන් එලිය බලාන යන්නේ වෙන කරන්න දෙයක් නැති කමට.ජිවිතේ අනිත්‍ය තේරුම යන වයස දහ අටේ  සිට හැත්තෑව දක්වා හිටපු කෙල්ලෝ ඇන්ටිලා ආච්චිලා අතරේ මමත් ඒ බස් එකේම ගියේ... එක එක සුකුරුත්තම් කරන කෙල්ලෝ ගොඩක් එක්ක තනි වුනු තව කෙල්ලෙකුත් ඒ බස් එකේ හිටියා.සුකුරුත්තම් පිරිස කොල්ලුපිටියෙන් බැස්සත් තනි වුනු කෙල්ල තවමත් තනියෙන් . 


ඒ කාලේ ලංකාවට අලුත් විලාසිතාවක් වුනු කොන්ඩේ කෙලින් කරන් (ස්ට්‍රේට්)  විලාසිතාවත් පොල් කටු වලින් හදාගත්තු කරාබු දෙකකුත්, ඇට ඇට මාලයෙකුත් පැලඳ ගෙන.අවු කණ්නාඩිය ඔලුවේ දාගෙන ඉන්න මේ කෙල්ල මට වඩා සීට් පේලි හතරක් එහායින් දොර ළඟ හිටියේ.බස් එක  ඒ වෙද්දී ගොල් ෆේස් කිට්ටු කරලා තිබුනේ .පොඩි කාලේ ඉඳල බලන්නම ආස හින්දාම මම යන්නෙම ගෝල ෆේස් පාරෙන් යන බස් වල විතරයි.පොඩි කාලේ තාත්තත් එක්ක මුහුද දිහා බලන් ඉන්න ආසකරපු මම පස්සේ කාලෙක මල් මල් කුඩයක් යට ඉඳං මුහුද දිහා බලන් ඉන්න ආස කලා.දවල් වෙලාවක කොහේදෝ යන්න එතනින් බැහැපු මට එදා තේරුනා මෙතනට ආදරේ කරන්න  එක්කන් එන්න හොඳ තැනක් නෙවෙයි තමන්ගේ පෙම්වතියට දඬුවම් දෙන්න හොඳ තැනක් විත්තිය.මොකද ඒ වෙද්දී "නයා" කට ඇරියා වගේ පුදුම රස්නයක් තියෙන්නේ.මල් මල් කුඩ යට ඉන්න තිබුණු මගේ ආසාව නැති වුනා.ඒත් බධක ජය ගන්න අවංක ප්‍රේම වන්තයොන්ට ඒ අව්වත් අව්වක්‌ නෙවෙයි විත්තිය මම හැබැහින් දැකල තියෙනවා.


මමත්  තව වයසක සීයා කෙනෙකුත්  අඟනක් වගේ කෙල්ලත් විතරයි හිටගෙන .වැඩි උස නැති එත් උස වෙන්න දාගෙන හිටපු ආඩි උස සෙරෙප්පුවේ උල දැක්කම ලඟට යන්න හිතේන්නේවත් නෑ.මම බැලුවේ නැතත් මගේ ඇස් දෙක යන්නෙම ඒ කෙල්ල දිහාවටමයි.මගේත් ඇයගේත් ඇස් එකට ගැටුණු වෙලාවේ ඇය මාත් එක්ක සිනා සුනාත් මම එක සැරේම හිනාවෙන්නේ නැතිව වට පිට බලලා හිනා වුනේ මීට කලින් මගේ පිටු පස හිටපු කෙනෙක් වෙනුවෙන් මම හිනා වුන ඒ අතීත ලජ්ජා සහගත මතකය නිසාමයි.ඇ හිනා වෙනවා දැකපු සීයා මගේ දිහා බලල ජනේලෙ අතරෙන් අහසත් මුහුදත් ගෑවෙන දිහා බැලුවේ යටි හිතෙන් මට ඉරිසියා කරන ගමන්.ඒ කෙල්ලට ගැලපෙන වයස කෙනෙකුට හිටියේ මම විතරයි ඒ මුළු බස් එකේම ඉතිං දැනගත්තා ඒ හිනා වුනේ මාත් එක්කම තමයි කියල.


ඇ හිටි තැනින් තවත් දොර ලඟට කිට්ටු වුනේ බහින්න විත්තිය මට තේරුන් ගන්න වැඩි වෙලා ගියේ නැහැ.බහින්න කලින් තව වතාවක් හිනාවෙන්න ආසාවෙන් හිටපු මම ඇය දිහා බැලුනේ ඉබේටම.මගේ එතෙක් ජිවිතේට නොහිතපු දෙයක් සිද්ද වුනා.ඇ තව සැරයක් මාත් එක්ක හිනා වෙලා ලඟට කතා කළා බහින්න. ඒ සියල්ල වුනේ හස්ත මුද්‍රාවෙන්.ඒ තැනත් එච්චර හොඳ තැනකුත් නෙවෙයි.පොඩි කාලෙම ගෝනි බිල්ලා ගැන අහල තිබුණු අපි අම්මත් කියා දීලා තිබුනා අඳුරන්නේ නැති කාත් එක්කවත් යන්නවත් කතා කරන්නවත් එපා කියන දේ.පොඩි කාලේ කියා දුන්නත් අද කාලෙටත්  වලංගුයි කියන එක  මට එවෙලේ තේරුනා.මම ඔළුව වනලා බෑ කිවුවා.




ඒ විදියට කොල්ලෝ රවටන් ගිහිං සිහිය නැතිවෙන්න ටොෆි ,චෝකොලට් වගේ දීලා පර්ස් එක සුද්ද කරලා හෙමින් මාරු වෙන කෙල්ලෝ ගැන පත්තරවල අනත්වත් අහල තියෙනවා.ඊට කලින් දවසේ මගේ පඩි පත ලැබුනෙ. මා ගැන දන්නා කෙනෙක් වෙන්නත් ඕනේ.මම වැඩ කරන තැන ඉඳලම මා ගැන ඇහැ ගහගෙන ආපු කෙල්ලෙක් වෙන්න ඕනේ.මගේ මුළු පඩියම පර්ස් එකේ.එක තමා මාත් එක්ක කට පුරෝවල හිනා වුනේ.නැත්නම් වැඩි පුර බස් වල යන්නේ ඔරවන කෙල්ලෝ .හදවතට නෙවෙයි බුද්ධියට ඉඩදෙන්න ඕනේ කියල මට තේරුම ගන්න වැඩි වෙලා ගියේ නැහැ.හදිස්සියෙවත් මෙතනින් බැහැල කතා කර කර ඉන්න ගමන් මොනවා හරි දුන්නනම් මට සිහිය නැති වෙනවා.මාසයක් වැඩකරලා ගත්තු මගේ පඩිය කාටවත් නිකන් දෙන්න බැහැ නේ.එහෙම වුනොත් මට මෙතන ඉඳල මගේ බෝඩිම තියෙන  නාරාහේන්පිටට පයින්ම යන්න වෙන්නේ.කාටවත් කෝල් එකක් දෙන්න ඒ කාලේ මම ෆොනේ  පාවිච්චිකලේ නැහැ.අනිත් එක අපි ලජ්ජා බයට හැදිච්ච කොල්ලෝ.කොහෙත්තම අඳුරන්නේ නැති කෙල්ලොත් එක්ක වැඩි බජෙනට යන්න හොඳ නැහැ කියල මට එවෙලේ තේරුම ගියා.




ඇයත් මම වගේ තනිකඩ කෙනෙක් වෙන්න ඕනේ.ඇයත් තනියෙන් මමත් තනියෙන් දෙන්නම එකතු වුනාම දෙන්නටම තනි නැ එහෙම හිතපු නිසාද දන්නේ නැහැ බහින්න කියන්නේ.හැම බන්කුවකම කුඩ යට දෙන්න දෙන්න ඉන්න දර්ශනමයි තියෙන්නේ.කරන හැම දෙයක්ම මම දෙපාරක් හොඳට හිතන කෙනෙක් නිසා වෙන කොල්ලෝ වගේ එක සැරේ ලඟට ගිහිං හා කිවුවේ නැ.එක සැරයක් බෑ කියපු මගෙන් ආයෙත් ලජ්ජා නැතුව  අතින් කතා කරනවා.බහින හෝල්ට් එක දිහාට අත දික් කරලා පෙන්නන්නේ මෙතනින් බහින්න කියන්නාක් වගේ.දෙවැනි සැරෙත් මම සද්දේ පිට නොවෙන්න  තොල් වලින් බෑ කියන ගමන්  ඔළුවත් වැනුවා. කෙල්ලෙක් කවදාවත් මෙහෙම කොල්ලෙක්ට කතා කරන්නේ නැහැ ඒත් මට මේ කතා කරන විදියෙන් සැක හිතුනා.මේ නම් මාව රවටගෙන අරන් ගිහිං පර්ස් එක සුද්ද කරන කෙල්ලෙක් වෙන්න ඕනේ. විච්චුරන විදියට ඇඳ පැලඳ ගෙන කොළඹ හතේ කෙනෙක් විදියට යද්දී ඕනෙම කෙනෙක් ඉතිං අහුවෙනවා. ඇය එක අතකින් සීට් එකක් අල්ලාගෙන අනිත් අතින් උඩ පොල්ල දිහා බලලා අල්ලන්න හදනේ ඒත් ඇය උස නැති නිසා කොහෙත්තම උඩ පොල්ල අල්ලන්නම් බෑ..


තුන් වෙනි සැරේ මට කතා කලේ ඔළුව පැත්තට හරවාගෙන "අනේ එන්නකෝ" කියනව වගේ.අපි දෙන්නගේ මේ සංවාදේ දිහා මා සිටි තැන වාඩි වෙලා හිටපු අයියා බාලගෙන හිටියේ.ඇ දිහාත් මා දිහාත් මාරුවෙන් මාරුවට බලපු ඒ අයියා හිටපු තැනින් නැගිටලා බස් එක දිගට යන කඹේ ඇදල බෙල් එක ගැහුවා.ඒ එක්කම බස් එක නවතින ගමන් ඩ්‍රයිවර් ගෙන ඇහුනේ සුන්දර වචන ටිකක්."ලඟට එනකන් ඉන්නවා බහින්න මතක් වෙන්න මොන ලෝකෙද ඉන්නේ" බස් එක නැවැත්තුවා කෙල්ල බැහැලා ගියා .එයා කොහෙද මාව රවටන්නේ මම මටම කියා ගත්තා.කඹේ ඇදපු අයියා මගේ ලඟට ඇවිත් "අර ගෑණු ළමයා අච්චර බෙල් එක ගහන්න කියලත් ඇයි මල්ලි ඔයා බෑ කිවුවේ"



 රුවැත්තියක් මට අතවනනවා
මම ඉඳගෙන බෑ බෑ කියනවා..
අනෙ එයා හිටන් කම් කම් කියනවා..
මම ඉඳගෙන නෝ නෝ කියනවා..






18 Apr 2012

මුරලිදරන්ව ඝාතනය කරයි.



                                                    එදාත් හවස ගෙදරින් පිටත් වුනේ සෙල්ලම් කරන පිට්ටනියට යන්න.යකඩ පාලම උඩදී තුසිතව හම්බවුනේ කඩේ ලෑල්ල උඩ තියෙන පත්තරේ කියවල අයෙත් යන ගමන්. පත්තරේ තිබුණු දේයක් ගැන තුසිත කියපු විස්තරේ මම පිලි ගත්තේ නැහැ.ඒත් තුසිත මාව කඩේට එක්කං හිහිං  තිබුන විස්තරේ පෙන්නුවා.පිටුවෙන් භාගයක් පිරෙන්න තිබුණු ඒ ලිපියේ එක තැනක් ඇඟිල්ල තියල පෙන්නලා මා දිහා බැලුවේ නොරිස්සුම් ගතියකින්.  ඒක දැක්ක ගමන් මගේ පපුව හෝස්!!.. ගාල ගියා. මම පත්තරේ නවල ආයෙත් ලෑල්ල උඩ තියල අපි දෙන්නම බයිසිකලේ පදින්නේ නැතුව තල්ලු කරන් ගියේ එවෙලේ සයිකලයක් පදින්න තරම් ඇඟට කිසි පණක් නැති වගේ දැනුනා හින්දමයි. කටේ කෙල නැහැ කියලත් දැනුනා අපි දෙන්නට දෙන්න  කිසි දෙයක් කතා නැතුව දිනේෂ්ලගේ ගේ ළඟ පිට්ටනියට ගියේ වෙනදා වගේ  සෙල්ලම් කරන්න.


දිනේෂ්ගේ කාමරේ තෙයෙන බැට්‌, බෝල, විකට් කූරුත්, අරං ඇවිල්ල අපි දෙන්නා විකට් කූරුත් හිටවල  ඉතුරු පිරිස  එනකන් පොල් කොටයක් උඩ වාඩි වෙලා හිටියේ. මේ සියලු සිද්දි වෙනකන් අපි දෙන්නා අතරේ වචන දහයක්වත් හුවමාරු උනේ නැහැ.ටික ටික හවස් වෙද්දී එක්කෙනා දෙන්නා සෙල්ලම් කරන්න හිතා ගෙන ඇවිල්ලා . අපි දෙන්න ඉන්න විදිය දැකපු කෙනෙක්  ඇහුවේ 


"මොකද අදත් බොලේ පැලුනද ? හරි හරි තව ටිකකින් කට්ටිය එනවා නේ එතකොට සල්ලි එකතු කරලා එකක් ගේමු."


මොකද හැමදාම අපේ බොලේ පැලෙන එක සාමාන්‍ය දෙයක් වෙලා තිබුනේ.ඒ වෙද්දී ඉරි අල්ලලා සෙල්ලම් කරන්න පුළුවන් පිරිසක් එකතුවෙලා හිටියේ.ඒත් තුසිත සේරටම කලින් කතාව කියන්න ගත්තා.


"අද පත්තරේ බැලුවද ? මුත්තයියා මරලලු..."


නෑ..........


ඒ එතන හිටපු පිරිස පුදුම උන හැටි.ඒ කොහොමද ?මොකක්ද වෙලා තියෙන්නේ මොන පත්තරේද තිබුනේ?.හැමෝටම එක එක ප්‍රශ්න. ඒ වෙද්දී හය හත වසරවල හිටපු අපේ වීරයා වුනේ මුරලි.ලංකාවේ ක්‍රිකට් වසන්තය තිබුණු කාලේ අපි බෝල දාන්නේ මුරලි විදියට අනුකරන කරලා. වේගෙන් දාලා දාල මහන්සි වුනාම  මුරලි විදියට දාන්නා හැමෝම උනන්දු වුනා. ඒ විදියට දුවන් ඇවිල්ලා ඇස් දෙක ලොකු කරලා තොල කරකවල අතත් ඒ විදියට කරකවලා දැම්මත් අපි කවුරුවත් දාන බොලනම් කැරකුණේ නැහැ. හදිස්සියෙවත් ගල් කැටයක් උඩට බොලේ වැදිලා බොලේ යන දිහාව වෙනස් වුනොත් අපි හිතුවේ ඒ මුරලි වගේ දාපු නිසා දඟ කැවුනා කියල.එහෙවු අපේ වීරයාට වුනු දේ ගැන අපි හැමෝම කම්පා වෙලා හිටියේ.


දැන් කොහොමද මැරිලා තියෙන්නේ.කවුද මරල තියෙන්නේ. මිනීය ලංකාවට ගෙනල්ලද? එක එක ප්‍රශ්න.ඔස්ට්‍රේලියාවේදී ලු මැරිලා තියෙන්නේ.කවුද දන්නේ නැහැ මරන්න  ඇත්තේ...අපි සිද්දිය ගැන ගැඹුරින් සාකච්චා  කරගමන් හිටියේ.





මම නම් හිතන්නේ ෂේන් වෝර්න්. මොකද ඌ තරහයි නේ මුරලිත් එක්ක. ඌට වඩා හොඳට බෝල් කරන  නිසා. ඒ තව එකෙක්ගේ අදහසක්. සමහර විට ඊයන් හිලි වෙන්න ඇති මම දැක්කා එදා මැච් එකේ මුරලිට මොනවද කියනවාත්. මමනම් හිතන්නේ උන් ඔක්කොම සෙට් වෙලා වැඩේ කරන්න ඇත්තේ මොකද උන් හැමෝටම මුරලිදරන්ගේ බෝල වලට ගහන්න බැහැ නේ.ඒ එක එක අදහස් ආවේ අපේ යාලුවෝ ටික දෙනෙක්ගෙන්. මට තිබුනේ වෙනත් ප්‍රශ්නයක්. මරපු හේතුවට වඩා  මරපු විදිය ගැන. "මම හිතන්නේ රෑ නිදගද්දී අරුන් හොරෙන් ඇවිල්ලා නහයට ලේන්සුවක් තියල මරන්න ඇත්තේ එතකොට සිහිය නැති වෙනවා අර ටින් ටින් එකෙත් එහෙම කළා මම දැක්කා.කොච්චර ආරක්ෂාව තිබුනත් වැඩක් නැහැ කෑ ගහන්න විදියකුත්  නැහැ නේ." ඒ මගේ හඬ. එක එක්කෙනා එක එක විදියේ අදහස් පල කලා  මුරලි මරපු විදියේ ගැන . හැංගිලා ඉඳල පොල්ලකින් ගහන්න ඇති නැත්නම් හොරෙන් කාමරේට  ගිහිල්ලා බෙල්ල මිරිකුවද දන්නේ නැහැ නේ.ඒ තවත් අදහසක්.






අපිට අයෙත් ඉතිං මැච් දිනන්න අමාරු වෙයි නේ මුරලි නැතුව . අපේ වීරයාට වුනු ඒ අවාසනාවන්ත ඉරණම ගැන අපි හැමෝටම දැනුන දුක කියල නිම කරන්න බැහැ. ඒ කාලේ අපි දැනගෙන උන්නු කුණු හරුප හැම එකකින්ම අපි බැන්නේ හිතේ තියෙන ආවේගය නිසා.වැඩි පුර බැන්නේ ෂේන් වෝර්න්ට හා ඔහුගේ දෙමා පියන්ට. මේක කරපු වුන්ට හෙනම ගහන්න ඕනේ දත් කුරු හපන ගමන් දෙස් තියන්නේ මේ ආරංචිය මුලින්ම දැගත්තු තුසිත.සමහර විට රජයේ ශෝක කාලයක් දාවි නේද ඒ තව එකෙක්.  එහෙම වුනොත් ඉතින් ඉස්කෝලත් නිවාඩුත් දෙවිනේ.අපි එහෙම වුනොත් අපි එදාට එහා ගමත් එක්ක මැච් එකක් ගහමු.මොන දේ වුනත් ඒ දේ වාසියට පෙරලා ගන්න අපේ එකෙක් ඒ විදියේ ගොන් කතාවක් කියපු එක ගැන අපි හැමෝටම ඌත් එක්ක කේන්ති ගිහින් හිටියේ.


   
මේ විදියට එකී නෙකගේ අදහස් දෙස් දොවොල් තියෙන අතරේ සම්පත් ආවේ සෙල්ලම් කරන්න වෙනදට වඩා පරක්කු වෙලා.අපි හය වසෙරේ හිටියත් සම්පත් හිටියේ එකළහ වසරේ.අපිත් එක්ක හිටපු උන්ගෙන් ශිෂ්සත්වේ පාස් වෙලා හිටපු එකම කෙනාවෙනදා මේ වෙද්දී හොර ලකුණු දාගෙන දෙපිලම රණ්ඩු වේවි ඉන්න වෙලාවේ කවදාවත් නැතුව අපි වට වෙලා කතා කරනවා දැකපු සම්පත් සාක්කුවෙන් සල්ලි ගත්තේ තවත් පරක්කු නොවී ඕවර හයේ මැච් එකක් ගහන්න එරෝප්ලේන්බෝලයක් ගේමුද  කියල අහන ගමන්.එත් සිද්ද වෙලා තියෙන දේ ගැන තව එකෙක් සම්පත්ට විස්තර කළා. එත් සම්පත් දුකෙන් හිටපු අපි ගැන සමච්චලේට හිනාවෙල නිකා හිටියා.


හිනා වෙන්න නෙවෙයි මුත්තයියාව මරලලු පත්තරේ තිබුනා මම දැක්ක නේ.පත්තරවල බොරු තියෙන්න විදියක් නැහැ නේ.තුසිත පොළොවට අත ගහන ගමන් දහ අතේ දිවුරනවා.(ඒ කාලේ අපි හිතන් හිටියේ පත්තරවල යන හැම දෙයක්ම ඇත්ත කියල.). බොරුනන් අහපන් මුගෙන් තුසිත මා ගිහාවට අත දික් කරලා පෙන්නුවේ මමත් එක් සාක්‍ෂි කාරයෙක් නිසා. ඉතිං මට මගේ ඇස් දෙක විශ්වාස නිසා මම කිවුවා මම දැකපු දේ. මං දැක්කා පත්තරේ  තිනුනා මුරලිදරන්  ඝාතනය කරල කියල ඉතිං ඝාතනය කරනවා කියන්නේ මරනවා කියන එක නේ.මමත් තුසිතගේ පැත්තට කතා කලා. එහෙම කොහෙත්තම වෙන්න බැහැ. එහෙනම් අපිට මීට කලින් ආරංචි වෙනවා. අනික හෝටල් වල ඇතුලට එහෙම කාටවත් යන්න බැහැ අපේ කණ්ඩායමට ආරක්ෂාව දීලා නේ තියෙන්නේ. කාගේ හරි බොරුවක් වෙන්න ඇති .සම්පත් අපි කියන දේ පිලිගන්න ලෑස්තිම නැහැ. අපිට වඩා කොච්චර වැඩිහිටියෙක් උනාත් අපි හැමෝම සම්පත් එක්ක කේන්තියෙන් හිටියේ.


හරි බොරුනන් යමන් කඩේට ගිහින් පත්තරේ බලමු.එතකොට උඹටත් තේරේවි මම කියන්නේ ඇත්ත කියල.තමන්ගේ  ආරංචිය පිළිගත්තේ නැති සම්පත් දිහා කේන්තියෙන් බලන ගමන් තුසිත කිවුවේ ඒ අවනම්බුවෙන් බේරෙන්න හිතා ගෙනමයි.අපි හැමෝම කඩේට යන්න පිටත් වුනේ බැට් බෝල තේ ගස් අස්සේ හංගලා.අපි කට්ටිය දහ දෙනෙක් විතර කඩේට කිට්ටු වෙද්දීම කඩේ මාම කිවුවේ "ටෙනිස් බෝලනම් ඉවරයි නේ පුතේ ". අපි දවසට එක බොලේ ගානේ මිලදීගන්න හොඳ පාරිභෝගිකයෝ හින්දා වටේ පිටේ කඩවල් වල රබර් බෝල විතරයි ඉතුරු.එත් අපි ආවේ පත්තරේ බලන්න කියල දැනගත්තු ගමන් කඩේ මාමගේ මුණ හරියට ඔට්ටපාළු බෝලයක් වගේ වුනා. අපි හැමෝම කියන සම්පත් විතරක් අවිශ්වාස කරන ඒ කණගාටුදායක ප්‍රෞතිය තිබුණු තැන තුසිත පිටු අතරෙන් වෙන් කරලා සම්පත්ගේ අතට දුන්නා. ඉඳා කියවපන් කියල. ඒ දිහා ටිකක් වෙලා බලන් හිටපු සම්පත් හිනා වෙලා අපි හැමෝටම ඇහෙන්න ශබ්දනගා කියවන්න ගත්තේ අපේ නොරිස්සුම් ගතිය නිසාමයි.මුලින්ම මතෘකාව කියෙවුවෙ මෙහමයි.  "ඔස්ට්‍රේලියානුවෝ මුරලිගේ චරිතේ ඝාතනය කරති"

(සම්පත් පසුව ගුවන් හමුදාවට බැඳුනු රණවිරුවෙක් එත් අවාසනාවත විදියට හදිසි අනතුරකින් ඔහුත් ඔහුගේ බිරිඳත් මෙලොවින් සමුගත්තා ඔහුන්ගේ එකම දරුවා අසාද්‍ය තත්වෙන් හිටියේ.) 


අප්‍රේල් 17 වෙනිදා සිය 40 වෙනි උපන්දිනය සමරන මුත්තයියා මුරලිදරන්ට දිර්ගයුෂ වේවා!!

සැ/යු: වැඩි දෙනාගේ අකමැත්ත නිසා "අසර්" කියන නමින් මින් ඉදිරියට පෙනී නොසිටින බව කරුණාවෙන් සලකන්න.

9 Apr 2012

අපේ අම්මට අකුරු බෑ මිස්...

                                    


                                                 මම 8 වසරේ ඉද්දි අපේ පන්ති භාර මිස් අපේ සිංහල මිස්. ආසම විෂයක් එපා වුනේ අපේ සිංහල මිස් ගේ දැඩි දඬුවම් ක්‍රමය නිසා. ඒ කාලේ අපේ පන්තියට ගැහුවේ කිඹුරු මඩවද්දී අම්බරුවෝ පාලනය කරන්න ගන්න කෙවිටක් වගේ  එකකින්.හදිස්සියෙවත් ඒ කෝටුව නැති වුනොත් ඒ හා සමාන කෝටුවක් ගේන්න පන්තියෙන් කෙනෙක්ට ස්වේච්චාවෙන්  ඉදිරිපත් වෙන්න වෙනවා.කෝටුවක් ගෙන්න සුදානම් වෙන්නේ හැමදාම ගුටි කන්න කන්න ලෑස්ති වෙලා ඉන්න කෙනාගේ තරහා කාරයෙක්.තමන්ගේ තරහ පිරිමහගන්න හොඳම අවස්තාව එනකන් හැමෝම බලන් ඉන්නේ.ගෙනාපු කෝටුව මිස්ගේ හිතට හරියන්නේ නැත්නම් ගෙනාපු කෙනාටම දඬුවම් විඳින්න වෙන නිසා කවුරුවත් පොඩි කෝටුනම් ගෙනාවේ නැහැ.


වයසට වඩා  විලාසිත කරන පාසලකට උචිත නොවීන පාවෙන හෙට්ටි විදිය වගේ රත්‍රන් පුරවාගෙන  ඉන්න  කෙනක් මේ අපේ සිංහල මිස්.ආදරේට කිවුවේ "චවුලා" කියල.හිටපු ගමන "ජුහි චවුලා" කියලත් කියනවා.ගහන්න කොටුව උස්සන් එද්දී සාරියේ ලස්ස නැත්නම් කාරුබුවේ වටිනාකම ගැන කතා කලොත් මිස්ගේ කේන්තිය නැති වෙන්නේ  අයිස් දිය වෙනවා වගේ වේගයකින්.ඒ කාලේ ගුටි නොකා බේරෙන්න කරපු තව දෙයක් වුනේ මිස්ගේ  රුවට "ජුහි චවුලාගේ" රුව සමාන කිරීම.ලතා වල්පොල වගේ රුවකට සැබවින් හිමිකක් කියපු සිංහල මිස් ඒ කාලේ ස්ටාර් කෙනෙක්ට සමාන කිරීම ගැන ඇය සතුටු වුනා.පස්සේ පස්සේ මේ කරන්නේ බොරුවක් විත්තිය මිස්ට තේරුම ගිය බව දැන ගත්තේ දවසක් හරක් මඩවන කෙවිටදික් කරන් එද්දී මිස් අද ජුහි චවුලා වගේ ලස්සනයි කියල හැමදාම ගහපු තුරුම්පුව ගහපු දවසේ "චවුලා නෙවෙයි උඹල වවුලාට වගේ එල්ලලා ගහන්නේ ඊළඟ දවසේ කෑ ගහල අහු වුනොත්" .එයින් පස්සේ කට්ටියටම තේරුම ගියා මිස්ගේ ඇත්ත තත්වේ මිස්ටම තේරුම ගිය බව.


දවසක් සිංහල පාඩමේ කියා දෙන වෙලේ සුපුරුදු පරිදි වෙන වැඩ කර කර ඉද්දි කියා දීලා තියෙන්නේ පණිවිඩ කරුවන් පණවිඩ පතුරවන විදිය රජ කාලේත්  වර්තමානේත්. පනීවිඩ කරුවෙක් ලියන විදියට පනීවිඩ ලියන්න මුළු පන්තියටම පැවරුමක් දුන්නා..තම තමන් ගේ පණිවිඩය  හඬ නගා කියවන්න සිද්ද වුනේ එදා දවසේ මගේ තිබුණු අවාසනාවන්ත කම නිසාමද කොහෙද?. උගුරේ රැලි බුරුල් කරලා පටන් ගත්තා මගේ නිවේදනය කියන්න.


"ඩේන් කුටු ඩේන් කුටු   ඩාන්.... ඩාන්....ඩාන්....."  වරහන් ඇතුලේ බෙරේ සද්දේ.


"අසවු අසවු.."


මට එච්චරයි කියන්න ලැබුනේ සිංහල මිස් ගේ හඬ අවදි කළා. "අසවු නෙවෙයි යකෝ සරනේරු".රජ කාලේ එකෙක් නෙවෙයි වර්තමානේ එකක් ලියන්න දුන්නේ වෙන වැඩ කරන එකේ ඵලවිපාක නිසා මගේ කාර්ඩ් එක ටික කාලෙකට "සරනේරුවා" කියල වැටුනා.


කාලෙන් කාලෙට ඒ මිස් අලුත් අලුත් නීති අඳුන්වල දෙනවා.පාසල් එන්නේ නැති හැමෝම දවසකට රුපියලක් ගානේ දඩ ගෙවන්න ඕනේ ඒ සල්ලි වලින් පංති කාමරයට අවශ්‍ය කරන පොඩි පොඩි දේවල් ගන්නේ..දඩේ එකතු කරන්නේ පංති නායකයා වෙච්ච මම. වැස්ස දවසට පස්සේ දවස මට මගුල් වගේ අනිවාර්යෙන්ම ළමයි පස් දෙකෙවත් එදා ඉස්කෝලේ එන්නේ නැති නිසා මට ගෙඩි පිටින් රුපියල් පහක් ලැබෙනවා. වසර ඉවර වෙද්දී මට පන්තියේ හැමෝගෙන්ම ලොකු ගානක් ලැබිල තිබුනා ඒත් කවුරුවත් හොයල බැලුවේ නැහැ එකතු වුනු මුදල් වලට සිදිවුනු දේ ගැන. ඒ නිසා සිංහල මිස්ට පොඩි කැමැත්තක් තිබුනා මගේ හිතේ.


තවත්  නීතියක් තමා ඉස්කෝලේ එන්නේ නැත්නම් ගෙදරින් ලිවුමක් අරං එන්න ඕනේ කියන නිතිය. එක දවසක් අවේ නැත්නම් නිදහසට කරුණු නැත්නම් ලිවුමක්.දවස් දෙකක් නෑවිත් ලිවුම නැත්නම් ගුටි. දවස් දෙකකට වඩා නෑවිත්ව ලිවුමකුත් නැත්නම් ප්‍රින්සිපල් ළඟ. ඒ විදියට තමා නීති සම්පාදනය  වෙලා තිබුනේ. එදා බ්‍රහස්පතින්දා මහා වැස්ස දවසේ  අමාරුවෙන් ගෙදර නැවතුනා.සිකුරාදා දවස බොරු ලෙඩ අරං අයෙත් ගෙදර නැවතුනා.එක දිගට දවස් හතරක් නිවාඩුවක් ලැබෙන්නේ හරි කලාතුරකින්.ඉරිදා දවසේ අල්ලපු ගමත් එක්ක ගහපු මැච් එක දිනපු ප්‍රීතියෙන් පහුවද ඉස්කෝලේ යන දේවල් සුදානම් කරගන්නේ නැතිව නින්දට ගියේ. පහුවදා සිංහල මිස් දැක්කම මතක් වුනේ  පන්තියේ තියෙන නිතිය.හැමදාම ඉස්කෝලේ යන්න පුරුදු වෙලා හිටපු මම කලින් දවසේ සතුටත් එක්කම හැම දෙයක්ම අමතක වෙලා තිබුනේ.


සම්ප්‍රදායකව ඉස්කෝලේ එන්නේ නැති තුන් දෙනෙකුත් හදිස්සෙයෙන් එන්නේ නැති දෙන්නෙකුත් ඔක්කොම හය දෙනෙක් මට වගේම ලිවුම ගෙන්න අමතා වීම නිසා මරණෙට කැප වුනු  බොයිලර් කුකුල්ලු වගේ බය වෙලා වුන්නේ. හැම දෙනාම දවස් දෙකක්ම ඇවිත් නැහැ.ඒ හැමෝටම ලැබෙන්න තියෙන දඬුවම කෝටු පාරවල් කැමති අතක් තෝරාගෙන ලබා ගැනීම.එදා මුලින්ම ගියපු කෙනා නිදහසට කරුණු කියන්නේ වෙවුල වෙවුල. ගොඩාක් දෙනෙක්ට ලිවුම ගේන්න අමතක වෙලා. තව කෙනෙක්ට ලිවුම ලියපු පොත ගෙනල්ල නැහැ.ඒ කිසි කෙනෙකුට ගුටි නොකා ඉන්න බැරි තරම් කරුණක් කියන්න බැරි වුනා. තව කෙනෙක් ඒ නිතිය දාපු දවසේ ඉස්කෝලේ ඇවිල්ල නැති නිසා එහෙම නීතියක් ගැන දැනගත්තේ එදා. ඒ නියා වැරදි දෙකකට දඬුවම් දෙකක්ම ලැබුනා.
 


අන්තිමටම ආවේ මගේ වාරෙ. හැමෝම කිවුවේ එකම විදියේ බොරු. ඒ කිසි කෙනෙකුට බේරෙන්න බැරි වුනා.අන්තිමට හිටියේ මම නිසා කලින් හැමෝටම ගහල කොටුවත් කැඩිලා තියෙන්නේ.එකේ වාසියත් ගන්න පුළුවන් නිසා කලින්ම මම අන්තිමයා වෙන්න තිරණය කලා.මගෙන් නිදහසට කරුණු අහන්න පටන් ගත්තේ උසාවියේ නඩු අහන වගේ.අනිත් අයට වඩා වැඩි සද්දෙකින්.


"මොකද අවේ නැත්තේ"....."උණ හැදුනා මිස්"...."කෝ ලිවුම ??.".අනිත් අයට වගේ අමතක වුනාද?... මිස් දිහත්  පන්තිය දෙපැත්ත බැලුවේ නිකමට වගේ. මුළු පන්තියක්ම දැන් බලන් ඉන්නේ මගේ දිහා.ගෑණු ලමයිනම් හිත යටින් සතුටු උනා.මට කලින් ගුටි කාපු දෙන්නෙක් තවමත් අඬනවා. තව කෙනෙක් ඇස් රතු කරන ඉන්නේ. මුලින් ගුටි කනවට වඩා  අන්තිමට ගුටි කද්දී වේදනාවට වඩා ලැජ්ජාව වැඩියි කියල මට එවෙලේ තේරුම් ගියා.


"කෝ ලිවුම කියනවා මොකද වුනේ".දරුනු අපරාධ කාරයෙක් ගෙන් හොර බඩු ගැන විස්තර අහනවා වගේ මගෙන් ප්‍රශ්න කරන්නේ. මට තවත් නිශ්ශබ්ද වෙලා ඉන්න බැරි වුනා.අහිංසක මූණක් මවාගෙන බිම බලාගෙන මිස්ට විතරක් ඇහෙන්න හේතුව කිවුවා.


"මිස් අපේ අම්මා අකුරු දන්නේ නැහැ ඉතිං ලිවුමක් ලියන්න බැහැ.එකයි ලිවුම ගෙනාවේ නැත්තේ".මගේ දිහා ටිකක් වෙලා බලන් ඉඳල මිස් පංතියෙන් එලියට ගියා.මම හිතුමේ මම ගැන දුක හිතල කාටවත් නොපෙනෙන්න සාරි පොටෙන් කඳුළු පිහදන්න ගියා කියල.පංතියම හොල්මන්  හැමෝටම ගහල මට විතරක් නොගහ හිටපු එක ගැන.මිස් එලියට ගියාම පන්තිය පුරා යන බැල්මක බලල මට කලින් ගුටි කාපු  වුන් දිහා බලල මාපට ඇඟිල්ල උස්සල "ෆිට් තමා" කියල හස්ත මුද්‍රවක් දුන්නේ මගේ බොරුවේ සාර්ථකත්වය පෙන්නන්න.


                       
ටිකකින් අයෙත් පංතියට එද්දී ඇගෙ සුරතේ රැඳුනු දේ ගැන මගේ හිතේ පොඩි කැමත්තක්වත් තිබ්බේ නැ. පාවිච්චියෙන් පසු නැවත ලබා දෙන පොරොන්දුව මත එහා  පංතියෙන් ණයට ඉල්ලාගත් ගොඩපර කෝටුව දකිද්දී මගේ පපුව හෝස්!! ගාල ගියා.අඩි දෙකක් විතර දිග  කොටුවක් මිස්ගේ අතේ දුරට එහාට වෙන්න මම හිටියේ. කිසි දෙයක් කියාගන්නවත් හිතා ගනන්වත් බැරි වෙන්න පහර පිට පහර ලැබුනා ඉතා සැහැසික විදියට.හදිස්සියේ වත් මුණට වදින එක වලක්වන්න විතරයි මට කරන්න පුළුවන් වුනේ.කොටු පාරවල්  විස්සක් විතර වැදුනා කියල ඉස්සරහ පේලියේ හිටපු ගෑණු ළමයින්ගෙන් පස්සේ දැනගත්තා.සුදු පාට ෂර්ට් එකේ කොළ පාට ඉරි  විස්සකට වැඩිය තිබුනා.ඈතට මගේ ෂර්ට් එක  ගොඩාක් ලස්සනට පෙනිලා තිබුනා. බොරුවට වෙනසක් කරන්න ගියපු මට ඉතුරු පීරියඩ් දෙකත් දණ ගහගෙන ඉන්න සිද්ද වුනා.සාමාන්‍ය බොරුව කිවුවනම් කොටු පාරවල් හතරකට වැඩිය ලැබෙන්නේ නැහැ.


මම නොදන්නා වුනාට අපේ අම්මගේ මිතුරියක්‌ වුනු අපේ සිංහල මිස් මම ගැන හැම විස්තරයක්ම දන්නවා.ඉස්කෝලේ කරන හැම වැරද්දක්ම මම ගෙදර යන්නත් කලින් අපේ ගෙදරට තොරතුර ලබන්න හැකි  අදී තාක්ෂණ උපකරණය මොකක්ද කියල දැනගත්තා.උප විදුහල්පතු  තුමාගේ සිට ගොඩක් දෙනෙක් මම කාගේ කවුද කියන විත්තිය දැනගෙන ඉඳල තියෙන්නේ.කාලයක් යනකම් යහපත් ළමයෙක වගේ ආයෙත් සංවරව හිටියා.

~~අසර්~~

ලබන්නාවූ සිංහල හා හිංදු අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!..

5 Apr 2012

මම මුලින්ම නටපු දවස.

                                   




                                       දා දෙසැම්බර් 26 වෙනිදා නත්තල් දවසට පසු දින  විභාගේ නිවාඩුයි.ඒ මම සාපෙ ලියපු අවුරුද්ද.විභාගේ ලියන්න හැර අනිත් කිසිම දෙයකට ගෙදරින් පිට වෙන්න කිසි අවසරයක් ලැබුනේ නැහැ.පාඩම් කලේ නැතත් පොතක් අතේ තියාගෙන ඉන්න ඒක අම්මට සතුටක් ගෙනාවා.විභාගේ ලියන  මට වඩා අම්මට වුවනාව තිබුනේ මට පාඩම් කරවන්න.එහෙම තත්වයක් තියෙද්දී හන්දියේ පාලම,තරංගගේ ගෙදර මට මැවි මැවි පෙනුනා.එදා රෑ අපේ ගමේ තිබුනා සංගීත සංදර්ශනයක් එතනට මගේ යාළුවො හැමෝම එකතු වෙන්න කතා වෙලා තිබුනේ.මම හැර අනිත් යාළුවො හැමෝම මට වඩා වැඩිමල් නිසා කිසි අමතර කරදරයක් නැතුව එතැනදී මුණගැහෙන්න ස්ථිර වෙලා තිබුනේ.


අපේ ගෙදර ඉඳල පාරේ දිගේ ගියොත් කිලෝ මීටර් දෙකක් විතර දුර ගුවන් සැතපුම් වලින් බැලුවොත් මීටර් 200 ක්.ඒ කියන්නේ ගෙදර ඉස්සරහම තියෙන පිටියේ තියෙන්නේ.ගෙදරට කොච්චර කිට්ටුවෙන් තිබ්බත් මේකටනම් යන්න දෙන්න නැහැ කියල හොඳා කාරම දන්න නිසා මම නිකන් වචන නාස්ති කරගන්න ගියේ නෑ.ඒ වෙද්දී රුපවාහිනියේ හැර සංගීතයක් බලල නැති මම ගේ ළඟ තියෙන එකටවත් යන්න දෙන්නේ නැති ඒක ගැන කලකිරීමෙන්  හිටියේ.ගායකයෙක් වාදකයෙක් සියසින් දැකගන්න තිබුණු ආසාවට කාලෙන් කාලෙට අපේ ගම අවට තියෙන සංගීත සංදර්ශන තියෙන තැන් වලට හවස් වෙලාවට ගිහින් බලන්නේ වැරදිලාවත් ගායකයෙක් වත් ඉන්නවද කියල බලන්න.ඒත් ඒ හැම දාකම හිටියේ සංගීත කණ්ඩායමේ වැඩ කරන අප්‍රසිද්ද වේදිකාවේ ලයිට්  හයිකරන නැත්නම් බෆල් හයිකරන සේවකයෝ විතරයි. රෑ වෙන්න කලින් ගෙදර ගියේ අම්මා බනිනවට නෙවෙයි බයිසිකලේ ඩයිනමෝව වැඩ නැති නිසා.(කරුවලේ යන්න බැහැ බයයි.)


අම්මගේ මතය වුනේ සංගීතයක් බලන්න යනවා කියන්නේ උතුරු නැගනහිර රාජකාරි කරන්න යන රණවිරුවෙක් වගේ.සංගීතයක් තිබුණ දවසට පසු දින අම්මට ආරංචි වෙන්නේ තුවාල කරුවන් ගනන සහ මියගිය ගණනන පිහි ඇනුම් හා දේශීය නිෂ්පාදනයක් වුනු සැමන් ටින් බෝම්බ වලින්.මෙහෙම යුධ  වාතාවරණයක් තියෙද්දී සංගීතයක් බලන්න යන්න අවසර දෙන්න තරම් අම්මා එඩිතර වුනේ නැහැ.ඒත් මේ ගේ ලඟටම ආ අවස්ථාව මග අරින්න කොහෙත්තම මගේ හිත ඉඩ දුන්නේත් නැ.


හවස මම හෙදරින් පිටත් වුනේ ඉක්මනින් ආයෙත් ගෙදර එන පොරොන්දුව පිට.වෙනදා මගේ බයිසිකලේන් පාරට ගියත් එදා මගේ බයිසිකලේ ඒ ඇතුලේ දාලම  ඇවිදගෙනම ගියේ මගේ යටි හිතේ තියෙන අරමුණ ඉටු කරගැනීමේ අදහසින්.මම යද්දිත් තරංගලගේ ගෙදර කට්ටිය පිරිලා.කාලය ගත කරන්න වැඩියෙන්ම ආස මේ කොල්ලෝ ටිකත් එක්ක ඒත් මගේ ආවාසනාවට විභාගයක් තියෙන නිසා ඒ දේ මට ලැබුනේ හරි අඩුවෙන්.බයිසිකලේ ගේ ඇතුලේ දාලා පයින්ම ආපු ඒක ගැන අම්මගේ හිතේ සැකයක් ඇති වුනේ නැහැ.අම්මට වුනු පොරොන්දුව නිසා මම ඉක්මනින් ගෙදර යන්න පිටත් වුනේ යාලුවෙක්ගෙ බයිසිකලයක් ඉල්ලගේනමයි.ඇවිදන් ගියපු මම බයිසිකලේ එනවා දැකපු අම්මා කර කර හිටිය වැඩේ නවත්වල බැලුවේ මොකද මේ අනුන්ගේ බයිසිකල් එකක් අරගෙන එන්නේ කියල.පොරොන්දු වුනු විදියට ඉක්මනින් එන්න ඕනේ නිසා යාළුවෙක්ගෙන් බයිසිකලයක් ඉල්ලගෙන ආවා කියල අම්මට තේරුම් කරලා දුන්නම අම්මා අමුතු හිනාවක්‌ දාලා අහක බලාගත්තේ ආඩම්බර කමක් හිතිලද නැත්නම් මම කීකරු වීම ගැන සන්තොසටද කියල හිතුනේ නැහැ.


අම්මත් එක්ක කතා කරලා හැමෝටම කලින් කාමරේට ගියේ පාඩම් කරන්න තියෙන නිසා.පාඩම් කරද්දී නිදිමත වුනොත් තේ බොන්න මට උණු වතුර බෝතලයකුත් බිස්කට් පැකට එකකුත් ගෙනල්ල දුන්නා.වෙලාව රෑ 10ට විතර ඇති බෆල් වල සද්දේ ඇහෙන්න  ගත්තා අම්මා ගෙදර පිරිත් දානවට වඩා සද්දෙට  ප්‍රසංගය පටන්ගන්න කලින් ගිටාර්,ඩ්‍රම් සෙට්, ටේස් කිරීම පටන් ගෙන තිබ්බේ. ඒ සද්ද ඇහෙද්දී මට දත් කැක්කුම හදුනා වගේ.වාඩි වෙලා ඉන්නත් බැහැ ඇවිද ඇවිද ඉන්නත් බැහැ නිදාගෙන ඉන්නත් බැහැ යන්නමයි  හිතෙන්නේ.ගේ ඇතුලේ කිසි සද්දයක් නැහැ වටේම කරුවලයි හීනියට වැහි පොදකුත් ගිහිල්ල තිබුනේ සීතලත් එක්ක ගෙදර හැමෝම සැප නින්දේ.දුන්නු බිස්කට් පැකට ඒකෙන් ටිකක් කාලා හදල දුන්නු තේත් බිලා හෙමින් දොර ඇරියේ ගෙදර ඉන්න බ්‍රවුනටවත් සද්දේ ඇහෙන්නේ නැති අඩු හර්ට්ස් ගානකින්.


ගේ ඇතුලෙන් එලියට මම අඩිය තිබ්බේ කොරවක්කා නෙළුම් කොළ ඇවිදින විදියට.යටි පතුලේ පොළොවේ වදින සද්දෙවත් තව කෙනෙක්ට ඇහෙන්නේ නැති වෙන්න. වටේම ඝන කළුවරේ කලාමැදිරි එලිය රැහැයියන්ගේ සද්දෙත් එක්ක කණ ලඟම ඇහෙන සංගීතය හරි අමුතුවට දැනුනේ.කලිම සැලසුම් කරපු විදියට මිදුලේ නවත්වල තිබුණු යාළුවගේ බයිසිකල් ඒක ලඟට කිට්ටු වෙන්න කලින් අයෙත් වට පිට බැලුවේ කවුරුවත් දැක්කොත් ඔක්කොම ප්ලෑන් වතුරේ යන නිසා.ඒත් මං දැක්ක දෙයින් ගැස්සිලා ගියා මගේ කකුල් දෙක ළඟ බ්‍රවුනා.සාක්කුවේ දාගෙන තිබුණු ඉතුරු බිස්කට් ටික ඌට දීලා එතනින් ගියේ ඌ බිස්කට් කද්දී  කිසි කෙඳිරිලි සද්දයක් එන්නේ නැති නිසා.මේක පැදගෙන ගියොත් කරත්ත සද්දේ වගේ. තල්ලු කරන් ගියත් සද්දේ වටපිට බලල බයිසිකල් ඒක ගත්තා කරට ටික දුරක් උස්සගෙන යන්න. ඒත් හෙමින් අඩි තියල වැඩි දුර යන්න ලැබුනේ නැහැ.



"මොකද පුතේ බයිසිකල් ඒක කරේ තියාගෙන."


ඈ... අම්මා ලිඳ ළඟ.


"ඕක තමා වේලාසනින් පාඩම් කරන්න කියල කාමරේට වැදුනේ. දැන් තියනවා බයිසිකල් ඒක බිමින්. හ්ම්..හ්ම්...  යනවා යනවා ගිහින් 12 කලින් ගෙදර එන්න ඕනේ නැත්නම් දොර අරින්නේ නැහැ රෑට" කියල බොරු සද්දයකුත් දැම්මා.


භාධක ජයගෙන එතනට යද්දී කට්ටිය බලං හිටියේ මං පරක්කු නිසා.සෙනග ගොඩේ ඉස්සරහටම ගිහිංඉන්න බෑන්ඩ් එකේ හැමෝම හොඳ හැටි බලාගෙන අයෙත් හිටපු තැනටම ආවා.වටේම ඉන්න හැමෝම නටනවා.ඒත් මම මිට කලින් ගෙදර කවුරුවත් නැති වුනාම දොර වහන නැටුවට මෙහෙම කවදාවත් නටල නැහැ. අඳුම් ඇඳන් ඉන්න පිරිසක් මැද්දේ නිරුවතින් සිටීමත් නිරුවතින් ඉන්න පිරිසක් මැද ඇඳුම් ඇඳන් සිටීමත් හාස්‍යට ලක්වීමක් වගේ නටන පිරිසක් මැද නටන්නේ නැතිව බලාගෙන සිටීමත් හාස්‍යට ලක්වෙන ඒක නවත්වන්නත් බැහැ.වට පිට බලල ගමේ කිසිම කෙනෙක් පෙන්න නැති නිසා ජැමෙයිකාවේ ඉඳල ආපු කොල්ලෙක් වගේ එකෙක් නටන දිහා බලං ඉඳල මමත් අතපය දිග ඇරලා හොඳට නැටුවා.ඒත්  විභාගෙන් පස්සේ පාරේ යද්දී ගමේ කොල්ලෝ  එදා මම නටපු විදිය නටල පෙන්වනවා විලි ලෑජ්ජාවේ බැහැ.එදා දැක්කේ නෑ කියල හිතුවට ගමම  දැකල.විභාගෙන් පස්සේ කොළඹ ආවා අයෙත් ගමේ යද්දී ඒ දේ හැමෝටම අමතක වෙලාම ගිහිං.

~~අසර්~~

22 Mar 2012

අම්මගේ පරිප්පු හොද්ද හා මගේ තිත්ත පැටියා.

                                


                                    එදා ඉරිදා දවසක් උදේ ඉඳල ගෙදර හිටියේ අම්මයි මමයි විතරයි. ඉරිදා දහම්පාසල් යන්න තිබ්බත් උදෙන්ම බොරු ලෙඩක් අරන් ගෙදර නැවතුනේ දහම්පාසැල් ගියාට මගේ හිතට කිසි ගතියක් දැනුනේ නැති නිසා.දහම්පාසෙලේ ඉන්න කොල්ලෝ අපේ ගමේ වුනාට මම උන්ව වැඩිය අඳුරන්නේ නැහැ.උන් මාව ගනන්ගන්නෙත් නැහැ මම අලුත් කෙනෙක් නිසාත් වෙනත් ඉස්කෝලෙක ඉන්න නිසාත්.

කුකුළා නැතිවුනාට පස්සේ මම ආයෙත් තනි වුනා.ගෙදරට  හුරතල් සතෙක් ගෙන්න කියලා ඉල්ලුවත් කිසිම සතෙක් මට ලැබුනේ නැහැ.ඒ වෙද්දී මාළුවන්ට කැමැත්තෙන් හිටපු මම මාළු ටැංකියක් ඉල්ලලා කරදර කරත් කූඩු වල දාලා ඇතිකරන, ටැංකි වල ඇතිකරන, සත්තුන්ට අපේ ගෙදරින් කිසි අවසරයක්  ලැබුනේ නැ.වටේ ගෙවල්වල ඇති කරන ගිරවු සැළලිහිණි වගේ සතුන් අපේ ගෙදර ඇතිකරන්න කිසි අවසරයක් නැති නිසා මම කෑම අරගෙන ඒ ගෙවල් වලට ගිහින් වුන්ට කෑම දෙනවා.අහල පහල ගැට ගහල තියෙන වහු පැටියෙක් එතනින් ලිහාගෙන ඇවිල්ල අපේ වත්තේ ගැට ගහන්නේ කිසිම හුරතෙලෙක් නැති මට හරක් පැටියෙක්වත් ඇති කරන්න හිතාගෙන.ගමේ කොහේ හෝ වසු පැටියෙක් නැති වුනාත්  හරක් අයිති කාරයෝ කෙලින්ම එන්නේ අපේ ගෙදර වත්තේ බලන්න. ඒ තරම් වැඩේ දරුණු වුනා.

ඉස්කෝලේ ගිහිං ආවගමන් මම ගේ ඉස්සරහ තියෙන පොඩි ලඳු කැලෙට යන්නේ ගහක් බඩගාල ලේන් කුඩුවක්වත් තියෙනවද කියල බලන්න.හදිස්සියෙවත් පැටවූ හිටියොත් එකෙක් කුඩුවේ තියල අනිත් එකාව අරන් එන්නේ ඒ ලේන් අම්මා ගැන හිතලා මොකද පැටවූ දෙන්නම නැති වුනාට වඩා එකෙක් ඉන්න එක ගැන ඒ ලේන් අම්මට සතුටු වෙන්න පුළුවන් නිසා.එත් අපේ අම්මා මං ගැන  නොහිතා ඒ පැටියා ආයෙත් ඒ කුඩුව ළඟටම ගිහිං දානවා.  මට ඒ වෙද්දී අක්කාගේ සෙල්ලම් ගෙදර මුරකාරයගේ චරිතේ කරලා ඇති වෙලා තිබුනේ.ඉතින් මම පුළුවන් තරම් අක්කට නොපෙනෙන්න තමයි  හිටියේ.ඒ වෙද්දී සුරතල් සතෙක් ගෙදර ඇතිකරන්න ගත්තු හැම උත්සාහයක්ම  සාර්ථක වුනේ නැහැ.

අගෝස්තු මාසේ නිසා අපේ පළාතට හොඳටම පායනවා.ගඟේ වැල්ලත් පෑදිලා.ගඟේ වතුර අඩු නිසා කිසි අවසරයක් නැතිව ගඟට යන්න පුළුවන් කමක් තිබුනා.ගඟ ඉස්සරහම අපේ ගේ තිබුනාත් මම වතුර වැඩි කාලෙට ගඟ ළඟටවත් යන්නේ නැහැ.මාළු ටැංකියට ආසාවේ උපරිමයේම හිටපු මම ගඟේ ඉන්න මාළු දිහා බලාගෙන ඉන්න තරම් ආසා කලා.මාළුවෙක් අල්ලන්න ගියාත් අහුවෙන්නේ ඉස්සෝ.වතුර යට තියෙන කොටන් වතුරෙන් ගොඩට දාපු ගමන් කොට ඇතුලේ ඉන්න ඉස්සෝ එලියට ආවත් කවදාවත් මාළුවෙක් නම් එහෙම ආවේ නැහැ.මාළුවෙක් අල්ලනවනම් දෙන්නෙක්ගේ සහයෝගය ඕනේ.අක්කා ඇඳන් ඉන්න  සාය තමයි සහයෝගයට ගන්නේ. තනියෙන් අල්ලනවනම් කුස්සියෙන් කිරිගොට්ට ගෙන්න වෙනවා.අම්මා කිරිගොට්ට ගන්නවා දැක්කොත් අනිවාර්යෙන් දන්නවා ධීවර වැඩක් කරන්නේ කර අදින බව.එයට දඬුවම වෙන්නේ නිවාස අඩස්සියට පත් වීම.

එදා උදෙන්ම ගඟට බැස්සේ වැල්ලේ වලක් හාරලමායි.වලට වතුර පුරවල ගඟේ මාළුවා ගඟට පොඩ්ඩක් එහායින් තියලා ඇති කරන්න හදන්නේ ගෙදර ගෙනියන්න දෙන්නේ නැති නිසා.ටික වෙලාවකින් ගං කන්ඩිය අතරේ ඉඳල ටිකක් ලොකු තිත්ත පැටියෙක් අල්ලගන්න පුළුවන් වුනා.ඌව අතේ තියාගෙන ටිකක් ඌගේ හැඩ බලල  මමම හදාගත්තු  ටැංකියට ඌව දැම්මා.එදා මට දැනුන සන්තෝසේ මට කුකුළා ලැබුණු දවසේ දැනුනා වගේමයි.

වල වටේ ඌ පිනන දිහා හරි ආසවෙන් බලන් හිටියේ.වටයක් කැරකිලා උඩ පනිනවා. පැනල යන්න තමයි උගේ උත්සාහය.ඒ ගැන මම විශේෂයෙන්ම හිතපු නිසා කලින් සැරේ වගේ නැතිව වල ගැඹුරටම හාරලා වතුර වල භාගෙට පුරවල  තිබුණු නිසා මූ කොච්චර උඩ පැන්නත් යන්නනම් බැහැ.ගෙදර දුවල ගිහිල්ල පාන් කෑල්ලක් බත් ඇට ටිකක් ගෙනත් දැම්මේ කෑම ටිකක්වත් දෙන්න ඕනෑ නිසා.රවුම් කැරකිලා කෑම කාලා මහන්සි නිසා මම පොඩි කොට කැල්ලක් දැම්මේ කම්මැලි හිතුනාම ඌට හැංගෙන්න.


ටිකක් වෙලා බලාන ඉඳල ආයෙත් ගෙදර දුවන්නේ සැරින් සැරේ අම්මට පෙන්න නොහිටියොත් මාව හොයාගෙන අම්මා එන නිසා නැත්නම් ගෙදර ගියපු වෙලාවක ආයෙත් ගෙයින් එලියට එන්න  දෙන්නේ නැ. ඒ වෙලාවේ අම්මා දවල්ට උයමින් හිටියේ.දවල්ට උයනගමන් මට කතාන්දර කියල දෙනවා.ඊලඟ දවසේ දහම් පාසල් නොගියොත් ලොකු හාමුදුරුවන්ට කියනවා කියල මාව බයකරනවා.හැබැයි එදා අම්මා කේන්ති යන කිසි වැරද්දක් මම  කලේ නැහැ.දවල් එකට විතර ආයෙත් දිවුවේ වැල්ලේ ටැංකිය වෙතට.ඒ යද්දී උදේ පින පින හිටපු මාළුවා සුදු බඩ උඩු පැත්තට හිටින්න ඔළුව පතුලට හිටින විදියට  ටැංකිය වටේටම ඔහේ කැරකි කැරකි හිටියා.කැරපොත්තෙක්,ගෙම්බෙක්,වගේ සතෙක් උඩු බැලිව  හිටියොත් කවදාවත් උන්ට හරි විදියට ඉන්න බැහැ කාගේ හරි උදවුවක් නැතිව.මමත්  ඌව අරගෙන හරි පැත්තට හරවල තියන්න හිතාගෙන ටැංකියට ඇත දැම්මේ මූට උදවුවක් කරන්න. ගඟේ හිටියනම් වෙනත් සහෝදර මාළුවෙක්ගේ හරි ඉස්සෙක්ගේ හරි උදවු තියෙනවා නේ මේ ටැංකියේ කවුරුවත් නැති නිසා මම ඌට උදවුවක් කරන්න දෙපාරක් හිතුවේ නැහැ.අනිත් එක සතෙක්ට උපකාර කිරීම පිංසිද්ද වෙන වැඩක් කියල කලින් දවසක දහම් පාසලේදී කියල දුන්නා. අත  දැම්මට වඩා  වේගයෙන් ආයෙත් ගත්තේ මගේ අතට වේදනාවක් දැනුන නිසා.


ටිකක් වෙලා කල්පනා කරලා බලද්දී තේරුනේ කවුරු හරි මේ ටැංකියට උණු වතුර  දාල නේ කියල.මගේ අත පිච්චුනත් මම මාළුවා කෙලින් කරලා තිබ්බත් ඌ ඉන්නෙම උඩු බැලි අතටමයි.ටිකක් වෙලා කොටේ අස්සේ හිර කරලා  තිබුනත් ටික වෙලාවකින් ආයේ උඩ මතුවෙනවා.කරන්නම දෙයක් නැති තැන මම ඌ අරගෙන අයෙත් ගඟට දැම්මේ හුරු පුරුදු තැන නිසා ඌට සනීප වෙයි කියලා හිතුනු නිසා.එත් ඌ ඉන්නෙම උඩු බැලි අතට.ටිකකින්  තේරුණා අවුවේ රස්ස්නේට ටැංකියේ වතුර රත්වෙලා රස්නේ වැඩි කමට ඌ ටැංකියේම තෑම්බිල මැරිලා කියල.


අමාරුවෙන් අල්ලගත්තු මාළුවා එහෙම ලේසියෙන් ගඟේ පා කරලා යවන්න මට හිතුනේ නැහැ.ඌ අතට අරගෙන උගේ දත් කියක් තියේද වරල් මොනවගේද, පාට කියාක්‌ තියේද,මාළු බිත්තර දාන තැන මොනවගේ ද, කියල සියුම්ව පරික්ෂා කලා.ආයෙත් ඌව ගඟේ ඔබල  අරගෙන උඩ සාක්කුවේ දාගෙන ගෙදර ගියේ නිකන්ම විසිකරන්න ලෝභ හිතුන නිසා.
          
අම්මා ඒ වෙද්දී පරිප්පු වගේ දෙයක් හදනගමන්  හිටියේ.දෙපාරක් තුන්පාරක එහාට මෙහාට ගිහිං වට පිට බලද්දී අම්මා හිතුවේ මට බඩගිනි ඇති කියලා.හොදි එක "උතුරනවානම් කියන්න" කියල අම්මා ගියේ තව ටික වෙලාවකින් ගෙදර හැමෝම එන නිසා කෑම මෙසේ හදන්න වෙන්න ඕනේ.එතෙක් වෙලා සාක්කුවේ හිර කරන් හිටපු මාළුවාව අතට ගත්තේ නිකමටනම් නෙවෙයි.අනිත් අය කන්න කලින් මට කෑම ඕනේ වලදෙ ඉඳල කෙලින්ම පිඟානට බෙදන්න කියල අම්මට කිවුවේ මට අසාධාරණයක් වෙයි කියල බයට.


හොඳ සිරිත් පුරුදු වෙලා හිටපු මම කෑමට පෙර සබන් දා අත හෝදන්න කවදාවත් අමතක කලේ නැහැ.අම්මා  පුරවල දුන්නු වතුර බේසම ළඟ අත හෝදන අතරේදී කුස්සියෙන් ඇහුනේ "ඊඊඊඊඊඊඊයා....."චෙඑඑඑඑඑඉ වගේ සද්දයක්.මම සබන් පිටින්ම කුස්සියට දෙවුවේ මොකක්ද වෙලා තියෙන්නේ කියල දැනගන්න.මොකද ඒ වෙද්දී උණු උණු හොදි එකක්නේ අම්මා බෙදා බෙදා හිටියේ මට ටිකක් බය හිතුනා. මම එතනට ලං වෙද්දීම  මට ලැබුණු ගුටි කිහිපයක් විතරයි."මොකක්ද මෝඩයෝ මේ කලේ.දැන් කොහොමද මේකේ කන්නේ.ජරාවනේ  සම්පුර්ණ හට්ටියම විසිකරන්න වෙනවා ."පරිප්පු එකේ මාළුවෙක්". මම කිවුවත් එකේ ජරාව නැහැ කියල පිළිගත්තෙම නැ.ඌ ඉන්නෙත් ගඟේ වතුරේ සාක්කුවේ දාගන්න කලින් හොඳට හෝදලා දාගත්තේ.ඒත් මට ඒ මාළුවා පිරිසිදුයි කියල ඒත්තු ගන්නවන්න බැරි වුනා.අපිරිසිදුනම් මම ඇඳන් ඉන්න කමියේ අම්මා හරියට හෝදලා නැති වෙන්න ඕනේ.


උඩ සාක්කුවේ මාළුවා  හිටපු නිසා මාළුවාගේ ඉස්ම බේරිලා කමිසේ ගෑවුන දේවල් ඇඟේ ගෑවිලා  මුළු ඇඟම පීලි ගඳයි.එතෙක් වෙලා බඩගින්නේ හිටපු මාව ඇදගෙන ගඟට අරන් ගියේ මාව නවාන්න.දෙවැනි සැරෙත් අම්මා පරිප්පු හදනකම් ගෙදර හැමෝම මාව කෑවා.හැම ඉරිදාම දහම්පාසැල් යන්න මට සිද්ද වුනා.දහම් පාසලේ තුන වසරේ හිටපු මම පන්සලේ ලොකු හාමුදුරුවොන්ට කියලා අයෙත් දෙක වසරට  දැම්මේ මුල ඉඳල ආයෙත් ඉගන ගන්න ඕනේ නිසාලු.නෑමට හැර අනිත් කිසම දෙයකට ගඟ පැත්ත පළාතේ යන්න කිසිම අවසරයක්  ලැබුනේ නැහැ.ආයෙත් අකමැත්තෙන් වුනත් අක්කාගේ සෙල්ලම් ගෙදර මුරකාරයා වෙන්න සිද්ද වුනා.


~~අසර්~~


ප/ලි: මට අදටත් හිතාගන්න බැහැ එච්චර ආසාවෙන් ඇතිකරපු මාළුවාව හොදි එකට දාන්න හිතුනේ ඇයි කියලා.පසු කාලේදී තේරුනා එකේ වැරැද්ද?.

14 Mar 2012

සුනීතාගේ මංගල තෑග්ග

                        


                                                       


                                          මගේ යාලුවෙක් වුනු සමන් මට වඩා පන්ති දෙකක් ඉහලින් ඉගන ගත්තේ.සමන්ගේ අක්කා සරසවි අධ්‍යාපනය හදාරමින් හිටියේ.කාලෙකට පස්සේ  කැම්පස් ඉවර වෙලා ගෙදරට වෙලා ඉද්දි අපි එහෙ ගියපු දවස් වලට දකිනවා කැරකි කැරකි ඉන්න සමන්ගේ අක්කාව.ඒ කාලේ ටිකක් ගැමි ගතිය තිබුණු වෙල් යායක් ළඟ තිබුණු ගෙදරක මෙයාලා ජිවත් වුනේ.ඒත් සමන්ලගේ අක්කා සුනීතා කැම්පස් ගියපු මුල් දවසේ ඉඳල හැසුරුනේ බටහිර පන්නෙට.ගමේ ඉඳල කොළඹ ගියාම කොළඹ දකින්න ඇත්තේ අමුතු විදියට වෙන්න ඇති.ඒත් ගමේ ආවම ගම දැක්කෙත් කොළඹ විදියට.


වෙනද වෙළෙන් එහා පැත්තේ තියෙන ඇයගේ ආච්චි අම්මගේ ගෙදරට යන ඒක පවා මග ඇරියේ වෙල් නියෙරේ තියෙන ගොම පෑගෙන නිසා හා ගොම ගඳ නිසා.හදිස්සියටවත් යන්න ඕනේ වුනොත්  යන්නේ ගම වටේන් ගිහින්  වැඩි පුර හැතක්මක් විතර ත්‍රිරෝද රථයකින්.උපන්දා ඉඳල ගොම ගඳ හොඳට හුරු සුනීතා වෙනස් වුනේ සරසවි අධ්‍යාපනයේ තිබුණු බටහිර ගැති මොනයම් දෙයක් නිසාද කියල ඒ අම්මලා බයෙන් හිටියේ.ගොම වලට වෛර කලත් සුනිතලගේ ගෙදර හරක් පට්ටියක්ම හිටියා හැම උදේම කිරි බිවුවේ ඒ එළ වැස්සියන්ගේ කිරි.පැණිත් එක්ක කිරි කෑවේ හිටපු මී වැස්සියන්ගෙන් ගත්තු කිරි වලින්.සුනිතලගේ කුස්සියේ බිමට දාලා  තිබුනේ මැටි ගොමත් එක්ක කවලම් කරලා.


දෙවෙනි වසර ඉවර වෙනවත් එක්කම  බැලු බැල්මට හිතෙන්නේ කුරුඳු වත්තේ මනෝරි කෙනෙක් වගේ.අපි සමන්ලගේ ගෙදර යන්න ඒ කාලේ බයෙන් හිටියේ මොකද සුනීතා කතා කරන්නෙම ඉංග්‍රීසියෙන්.සුනිතගේ අම්මත් එක්ක රණ්ඩු වුනාම බනින්නේ ඉංග්‍රීසියෙන් නිසා ඒ අම්මා සුනිතාව කේන්ති ගැස්සුවේ නැහැ.සමන් අපිත් එක්ක කිවුවේ ඉස්සරහට ඉංග්‍රීසි නැතිව මොනවත් කරන්න බැරි නිසා අපිවත් ඒ විදියට හැඩ ගස්සවන්න ඕන නිසාලු අක්කා එහෙම කතා කරන්නේ.සුනිතගේ ගෙදරට එන වට පිටේ අහිංසක මිනිස්සුන් එක්ක වචන දහයකට 5 ක් විතර ඉංග්‍රීසියෙන් කතාව.එදා වේල හම්බකරන් ජිවත් වෙන මිනිස්සු වෙච්ච ඒ වයසක අච්චිලත් එක්ක ඉංග්‍රීසි වචන පාවිච්චි කලේ ඒ ආච්චිලගේ ආනාගතය වෙනුවෙන් කියලා ඒ වයසක මිනිස්සුන්ට තේරෙන්නේ නැතුව ඇති.ගමේ කොල්ලෝ නම් කියන්නේ වෙන කතාවක් සුද්දෙක් මොනවා හරි කරලා කියල එකලු එහෙම හැසිරෙන්නේ.


සරසවියෙන් පිට වෙද්දී බඳින්න කෙනෙකුත් හොයාගෙන හිටියේ.ඔහු නම් සාමාන්‍ය විදියට ඉන්න කෙනෙක්.වැඩි කාලයක් යන්න කලින් ඔහු රැකියාවකුත් කළා.සුනිතානම් කිවුවේ ඒ ලංකාවේ තියෙන හොඳම රස්සවකින් එකක් කියලා.ඒ කාලේ එයා ළඟ තිබුනේ හොඳම දේවල් අනිත් හැමෝම බාල දේවල් පාවිච්චි කරද්දී සුනීතා විතරක් හොඳම දේවල් මිලදී ගත්තා ඇය කියන විදියට.එකම අවුරුද්දේ එකම කැම්පස් එකේ කලා උපාධියක් ගත්තු දෙන්නෙක්ගෙන් එයා ගත්තු උපාධිය විතරක් වැදගත්ලු.හේතුව අපිට තේරුම ගන්න බැරි අපි කැම්පස් එකකටවත් ගිහින් නැති නිසා කියල සුනීතා අපිත් එක්ක කිවුවේ.


කාලයකට පස්සේ දෙන්න විවාහ වෙන්න තීරණය කරලා තිබුනේ.ඒ උත්සවයත් ගන්න මෙයා අදහස් කරන්නේ ඒ පළාතේම තියෙන හොඳම හෝටලේ.සාමාන්‍ය පවුලක් වෙච්ච සුනීතා මේ කරන්න යන වැඩේ ගැන සමන්ට තේරුමක් තිබුන නිසා ගෙදර උත්සවය ගන්න අක්කව කැමති කරවගත්තා.සමන්ගේ යාළුවො වෙච්ච අපිට කිසි ආරාධනාවක් කලේ නැත්තේ අපි ඉස්කෝලේ යන කොල්ලෝ නිසා වෙන්න ඇති.උපාධි දෙකේ වෙනස තේරුම ගන්න බැරි අපි වගේ මැට්ටෝ සුනීතගේ මගුලට සහභාගි කරවගන්න ලජ්ජා හිතෙන්න ඇති.ඒ කාලෙනම් අපිට හිතුනේ වෙනත් හේතුවක්.


විවහා උත්සවය දවසේ සැලකිය යුතු පිරිසක් ඇවිත් හිටියේ.සුනිතගේ යාළුවො නෑදැයෝ හමොමාත් අතරේ ඇයගේ සැමියා  ගේ යාලුවෙක් ඒ කාලේ ගමේ ජිවත් වෙන මිනිස්සුට අමුතුවට දැනෙන  පුදුම තෑග්ගක් දුන්නා නව යුවළට.සුනිතගේ ජිවන රටාවට ගැලපෙන නියම තෑග්ග."කතාව දෝලාවෙන් ගමන පයින්" විදියට හිටපු සුනිතට මංගල තෑග්ග විදියට ලැබුනේ මරුටි කාර් එකක්..එදා ඇවිත් හිටපු සුනිතගේ යාළුවෝ හැමෝටම කණ නිසහසේ තියාගෙන ඉන්න ලැබිලා නැහැ.


                                                 
 සමන්ලගේ ගමේ පොලිස් ජීප් එකයි මහා ට්‍රැක්ටර් එකයි විතරක් යන පාර මැද පොකුණු තියෙන ඒ මඩ පාරවල්වලත් මේ මරුටිය කිසි ලොබ කමක් නැතුව ගමන් කලා.මගුලේ උණුසුම සති දෙකක් විතර තිබුනා. දවසට දෙවරක් දත් මදින්නා වගේ උදේ හවස සුනීතලගේ මල්ලිලාට රථය සෝදන්න නියම වෙලා තිබුනා.සමන් වගේම සමන්ගේ අම්මත් ගොඩාක් සතුටින් හිටියේ තමන්ගේ බෑනාගේ වත්කම් ගැන.සමනුත් අපිත් එක්ක මරුටියේ විස්තර  කියන්නේ අපි ගල් යුගයේ ඉඳල ආපු පිරිසක් කියල හිතාගෙන.ඒ අක්කගේ මල්ලිනේ ඉතිං


සුනීතා හැම සති අන්තයේ ගමේ ආවා. කාර් ඒක හරියට ඇඟට ඇලිලා වගේ තිබුනේ.ගමේ මිනිස්සුනම් කියන්නේ රැට නිදාගන්නෙත් ඒ කාර් ඒක ඇතුලේ කියලා.කාලය මාස දෙකක් විතර ගියා දැන් සුනීතා එන්නේ බස් එකේ.කාර් මොනවත් නැහැ.සැමියා එන්නෙත් බස් එකේ.කාලයක් කාර් ඒක නැතුව වසිකිලියටවත් යන්න බැරුව හිටපු සුනීතා තඩි මඩවල් වලින් පැනලා ගොම පාගාගෙන ආයෙත් ඇවිදින්න පුරුදු වුනා.ගමේ කෙනෙක් ඇහුවොත් මයිනර් එක කෝ කියල හැමදාම ගැරේජ්.එහෙම නැත්නම් හස්බන්ගේ යාලුවෙක් ඉල්ලන් ගිහින්.ගමේ වයසක මිනිස්සු දන්නේ කාර් වල එකම නමයි ඒ මොරිස් මයිනර් කියන නම විතරයි.


සමන් බොන්න පුරුදු වුන මුල් කාලේ මම ලඟට වෙලා සැන්ඩි විතරක් බීපු අවසාන දවසක් කීපයේ යාලුවෙකුගේ ගෙදර මළගෙයක් දවසේ විස්තරේ සමන් කිවුවා.ඒ කාලේ මරුටි කම්පනියෙන් දීලා තිබුනා දීමනාවක් රුපියාල් 50,000ක්  ගෙවල ගෙදර අරන් යන්න පුළුවන් ලු.ඉතුරුවා මාස් පතා ගෙවන්න.සමන්ගේ මස්සිනාට ඒ මස්සිනාගේ යාළුවා සල්ලි වගයක් දෙන්න තිබිලා ඒ දේ අමතක වෙන්න ෆිනෑන්ස් කරල කාර් එකක් අරන් දීලා. මගුල් ගේ ඉවර වෙලා සති දෙක තුනකට විතර පස්සේ මස්සිනාට ලැබිලා තියෙන්නේ ඒ ෆිනෑන්ස් කම්පනියේ ලියකිවිලි ටික ඔහුගේ මිතුරාගෙන්.මරුටියේ ඉතුරු ලක්ෂ 8 ක හිඟ මුදල වාරික විදියට ගෙවන්න.ඒ මංගල තෑග්ගේ වටිනාකම රුපියල් විසිදාහක්.මොකද ඔහුගේ මිතුරාගෙන්   මස්සිනාට කලින් ණයක් ලැබෙන්න තිබිල තිස් දාහක.රජයේ සාමාන්‍ය රැකියාවක් කරපු මස්සිනාට ඒ වාරිකය දරාගන්න බැහැ.හිඟ වාරිකයත් අතින් ගෙවල සුනීතාගේ සෝ සුසුම් මැද්දේ මරුටිය විකුණුවේ සුනීතාගේ ආඩම්බර කම නැති කරමින්.


එදා හැමෝම වෙනත් ලෝකෙක හිටපු වෙලාවේ සමන් කියපු ඒ කතාව ගලේ කෙටුව වගේ ආරක්ෂා කලේ මම මේ ලෝකේ හිටපු නිසා.ඒත් ටික කාලෙකදී ඒ කතාව ගම පරාම ප්‍රසිද්ද වුනා.මට මතක විදියට මමනම් කිවුවේ නැහැ. මේ දැන් කියනකං කාටවත්ම කිවුවේ නෑ.


~~අසර්~~

8 Mar 2012

වත්මන් අධ්‍යාපනයේ ඇති භයානක ප්‍රතිඵල හේතුවෙන් අතුරුදහන් වූ මිතුරා

                                                   .


                                                  ඔහුගේ නම රුවන් චාමර.රුවන් අපේ ඉස්කෝලෙට ආවේ වෙනත් කනිෂ්ඨ විද්‍යාලයකින්  6 වසරට.රුවන් මගේ පන්තියට වැටුනේ 7 වසරේදී.ඒ කාලේ ඉඳල ටිකක් කම්මැලි කොල්ලෙක්.කරාටේ ධම්මිකගේ ප්‍රශ්න වලදී මෙයා අපේ පන්තියේ හිටියේ.ඒ කලේ රුවන් පන්තියේ හිටියේ හරියට  දැන් ඉන්න වෛද්‍ය  ඇමති වගේ.හොඳත් නැහැ නරකත් නැහැ.(පතෝලා වගේ).රුවන්ට ඒ කාලේ පෙට්ටියා කියන නමින් අපි කතාකලේ.ඒත් තවත් පෙට්ටියෙක් හිටියා.ඌට කිවුවේ පෙට්ටි තුෂාර. නම තුෂාර මුණ පෙට්ටියක් වගේ. අපේ පෙට්ටියගේ මූණ පෙට්ටියක් වගේ නෙවෙයි උලක්‌ වගේ.ඒත් අපි කතාකලේ පෙට්ටියා කියල.හේතුව දැනගත්තේ ගොඩාක් පස්සේ කාලේක.රුවන්ගේ අක්කා යාළු කොල්ලට කියන්නේ පෙට්ටියා කියලා. ඒ පෙට්ටි කඩයක් තියෙන නිසා. මාර ගහක් යට අඹ ගහක් යට තිබුණු කඩයක් නෙවෙයි හංදියක තිබුණු සාමාන්‍ය කඩයක්.ඔහු හොඳ වියාපරිකයෙක්.ඒත් කොහෙවත් හිටපු අපේ රුවන්ට පෙට්ටියා කියල නම වැටුණු විදිය ගැන හිතත්දී හරි දුකයි.


8 වසරේ ආවසානය 9 මුල් කාලේ වගේ වෙනකම් පන්තියේ අවසාන දහ දෙනා අතරේ තිබුණු කරට කර තරඟයේ  මාත් එක්කම රුවනුත් හිටියා.ඉන්ද්‍රානි මිස්ගේ වචන වලින් පස්සේ මම ටික ටික ඉස්සරහාට ආවත් රුවන් තවමත් හොඳ සටනක හිටියේ ඒ ස්ථානය රැකගෙන.මොනවා හරි වැරැද්දකට ගුටි වැදෙද්දී ගෑණු ළමයි ඉස්සරහ වුනාත් කිසි විලි ලැජ්ජාවක් නැතිව අඬන්න හැකියාවක් තිබුණු කෙනෙක්.කාලයක් පෙට්ටියගේ අම්මා අපේ පන්තියට ආවා පෙට්ටියා ඉස්කෝලේ එන දවස් ගානට වඩා වැඩි කාලයක්.එක්කෝ මොනවා හරි වැරද්දක් කරලා ඉස්කෝලෙන් එන්න කියනවා නැත්නම් පෙට්ටියා ඉස්කෝලේ එන්නේ නැහැ කියන්න අම්මා ඉස්කෝලේ එනවා.


පෙට්ටියගේ අක්කා හැම අතින්ම දක්‍ෂ කෙනෙක්.ඒත් ඇයගේම මල්ලි වුනු පෙට්ටියා කිසි වැඩක් කරනේ නැති එකෙක්.එදා ඉරිදා දවසෙත් අම්ම පෙට්ටියට කෑ ගැහුවේ පොතක පතක මොනවා හරි දෙයක් කරන්න පාඩම් කරන්න කියලා. කියවීමට කිසි ආසාවක් නැති රුවන් කරන්නේ ගහකට නගින එක නැත්නම් දුවන එක.එදා ඉරිදා දවසේ අම්මා කෑ ගැහුවේ මොනවා හරි පාඩම් කරන්න කියලයි.කලින් දවසේ අසල් වැසියෙකුගේ ගෙදර තිබුණු තොවිලයක් බලන්න ගිහින් ගෙදර ඇවිත් තිබුනේ පාන්දර. වෙලාව උදේ 11.30 වගේ.එදත් සුපුරුදු පරිදි  රුවන් ගේ වටේ දිවුවේ අම්මා එළවපු නිසා. ඒත් හිටි හැටියේම රුවන් නොපෙනි ගියේ අම්මටවත් හිතාගන්න බැරි විදියට.රුවන් හින්දා  වට දෙකක් ගේ වටේ දුවපු රුවන්ගේ අම්මා වට පිටාවටම ඇහෙන්න කෑ ගැහුවේ ආයේ ගෙදෙර එන්න එපා කියලා කේන්තියෙන් .හැම දාම මෙහෙම කෑ ගැහුවත් දවල් කෑමට නැත්නම් අක්කා ගෙදර එන වෙලාවට කලින් ගෙදර එනවා.


එදා දවස ඒ අම්මා හිතපු නැති දෙයක් වුනේ.රුවන් ගෙදර ආවේ නැහැ.කන්දක් මුදුනක වගේ  තිබුණු ගෙවල් සමූහයක ගෙදරක හිටපු රුවන්ලා වටේම මිනිස්සු හොඳට දන්නවා.අම්මා දන්න දන්න හැම ගෙයක් ගෙයක් ගානේ ගිහින් හෙවුවා.ඒ කිසිම තැනකින් කිසිම හෝඩුවාවක් ආවේ නැහැ.රුවන් නගින ගස් වටේ ගිහින් රුවන්ව හෙවුවේ ගහකට නගිද්දීවත් අනතුරක් වත් වෙලාද කියල දැනගන්න.වටේම ඉන්න තරුණ මහළු හැමෝම රුවන්ලාගේ ගෙදර.නෑදෑයෝ පිරිලා හුල්ලනවා.කරන්න කිසි දෙයක් නැහැ.කවදාවත්  මෙහෙම තනියෙන් යන්නේ නැති කෙනෙක්.වටේ දිවුවත් ගේ අහල පහල විතරක් දුවපු රුවන් ගැන හැමෝම කම්පා වුනා.


රුවන්ගේ ගමට ගම් කිහිපයකට එහායින් තියෙන නිධානයක් ගන්න පොඩි ළමයි අරන් යන කතාවකුත් ඒ වෙලාවේ හිටපු වැඩිහිටියෙක් මතක් කළා.මේ සියල්ලම ඇහෙද්දී රුවන්ලාගේ අම්මා විලාප දුන්නේ අවට හිටපු සියල්ලන්ම කම්පාවට පත්කරමින්.වෙලාව තුනහමාර විතර වෙනකම් ගස්,ගල් යට ,යාළුවොන්ගේ ගෙවල් වල හැම තැනම සෙවුවත් කිසිම හෝඩුවාවක් හොයාගන්න ඒ අසරණ අම්මට බරිචුනා.ඒ වෙද්දී අක්කා ගෙදර ආවේ පංති අරන් ගියපු පොත් ටිකත් කුඩයත් පාරේ විසි කරලා විලාප තියාගෙන.ඒ වෙද්දී ඇය දැනගෙන නැහැ සිද්දිය.ගේ වටේ සෙනග පිරිලා ඒ මිනිසුන්ගේ මුහුණූ ශෝකෙන් පිරිලා ඒ අතරේ අම්මා අඬනවා ඒ සියල්ලම නිසා රුවන්ගේ අක්කාට දැනිල තියෙන්නේ සිදු වූ දෙයට වඩා සෝචනීය සිදුවීමක්.




මේ සියල්ලම මෙසේ වෙද්දී එතනට ආවේ "සප්සේ බඩා කිලාලේ" චිත්‍ර පටියේ ශාරුක් පැදපු හැඩල් එක නැවිච්ච පිටි පස්සේ  හේත්තු වෙන්න කෑල්ලක් තියෙන දිග මෝටසයිකලයක් වගේ එකක වෙන කවුරුවත් නෙවෙයි  ඔරිජිනල් පෙට්ටියා.ඒ අක්කා උදේ පංති ගිහින් හරියට ඉගනගත්තාදැයි සොයා බැලීමට.වටේ ඉන්න කිහිප දෙනෙක්ගෙන් සිදු වූ දේ කණ වැටුණු ගමන ගියේ මිදුලේ කොනට වෙන්න තිබුණු අතු තියෙන අඹ ගහ තරණය කිරීමට.ඒ දිග ඒරියල් එකක් තියෙන ඒ කාලේ හැමෝටම මැජික් එකක් වෙලා තිබුණු ජංගම දුරකතනයට සිග්නල් හොයාගන්න. ඒ වෙද්දීත් හැමෝටම අමතා වෙලා තිබුණු පොලිසිය දැනුවත් කිරීම ඔහු විසින් සිහි පත්කලා.


පැයක වගේ කාලයකින්  පොලිසියේ   දෙන්නෙක් ආවේ මැරතන් එකක් දුවපු  දෙන්නෙක් වගේ.දාඩිය දාගෙන මහන්සියට දිව දොට්ට දාගෙන.රාජකාරිය  පැත්තක තියලා පුටු දෙකක් ඉල්ලං වාඩිවුණේ කන්ද නැග්ගට වඩා බයිසිකලයකුත්  තල්ලු කරන් ආපු ඒ මහන්සිය නිසා.ආදුනික පොලිස් නිලදරියන් දෙදෙනෙක් වූ ඒ රාළහාමිලා අයෙත් ගියේ සැක කවුරුවත් ඉන්නවද?තරහා කාරයෝ කවුරුවත් ඉන්නවද?මොනවා හරි තොරතුරක් ලැබුනොත් පොලිසිය දැනුවත් කරන්න අපිත් පරීක්ෂණ පටන්ගෙන තියෙන්නේ බය වෙන්න දෙයක් නැහැ කියල ලොකු විස්තරයක් කියල.ගමේ වයසක කිහිප දෙනෙක් නම් කතා වුනේ ගමේ ග්‍රාමසේවක ආවනම් මිට වඩා හොඳයි කියලා.


තව කිහිප දෙනෙක් කතා වුනේ කලින් දවසේ තිබුණු බලි තොවිලේ ගැන.රුවනුත් එදා එතන හිටියා තනිකම් දෝසයක් භූත දෙසයක්වත් නිසා මොනවා හරි කරදරයක් වුනාද දන්නේ නැහැ.තොවිලේ වෙලාවේ කුකුලගේ ලේ ගන්න වෙලෙත් මෙය හිටියේ පෙරේත තටුව ලඟමනේ.එහෙම ඉඳල රෑ තුනට විතර තනියෙම ගෙදර ඇවිල්ලා තියෙන්නේ.වයසක තවත් කීප දෙනෙක් එහෙම සිද්දිය විස්තර කලේ  රුවනට සිදුවුණා දේ අනුමාන කරමින්."පන්සලේ හමුදුරුවන්ටවත් කියල පිරිත් ටිකක් කියෙවුවත් මොකද"?ඒ රුවන්ලාගේ මාමා.පිරිත් කියන්නත් රුවන් හොයාගෙන ඉන්න එපයි.


මෙතෙක් වෙලා හැම දෙයක් ගැනම හොයා බලපු රුවන්ගේ මාමාත් අඩන්නට පටන් ගත්තා."මගේ දරුවෙක් වගේ මම ඌව බල ගත්තේ පවුලේ හැමෝම මූට ලෙන්ගතුයි අද උදෙත් මට කතා කරලා ගියේ   එහෙවු එකාට මොකද මේ වුනේ....." පිරිසක් මැද්දේ පිරිමියෙක් අඬන දේ කොහොමත් දරාගන්න අමාරුයි කිහිප දෙනෙන් ඔහුව සනසන්න උත්සහ කලත් දුක තුනී වෙනකන්ම රුවන්ගේ මාමා හොඳටම ඇඩුවා.රුවන්ගේ අම්මා අක්කා ,මාමා  මේ සියල්ලම අඬන දිහා එතන සියල්ලන්ම බලන හිටියේ දරාගන්න බැරි දුකකින්.ඒ වෙද්දී කැලේ පැත්ත බලන්න ගියපු  ගමේ තරුණයොත් ආයෙත් ආවේ කිසිම හෝඩුවාවක් නැතිව.


ඒ වෙද්දී හවස 5 විතර  ආපු කිහිප  දෙනෙක් අයෙත් ගෙවල් වලට යන්න ගිහිං නැදෑයෝ ටික දෙනෙක් තවමත් පොලිසියෙන් තොරතුරක් ලැබෙනකන් රුවන්ගේ ගුණ කතා කියනවා.ඔරිජිනල් පෙට්ටියත් අක්කා ළඟටම වෙලා අක්කව සනසනවා.රුවන්ගේ මාමා හිටපු තැනින් නැගිට්ටේ හිටපන් මම උඹව තියන්නේ නැහැ කියාගෙන  විදුලි වේගයෙන්.සියල්ලන්ම එකී නෙකාගේ මුණ දිහා බැලුවා.හවස 5.30 විතර වෙලා ගොම්මන් වෙලාව මිදුලේ හිටපු හැමෝම ගේ අතුල දිහා බැලුවේ මාමා ඒ පැත්තට යනවා දැකපු නිසා.ඔලුව දිගට බේරෙන මකුණු දැල් එක්ක කබ කඩ කඩා උළුවස්සෙන් ඉස්සරහට ආවේ රුවන් චාමර.ඒ එක්කම ඔරිජිනල් පෙට්ටියා කෙලින්ම දිවුවේ පොලිසියට පැමිණිල්ල ඉල්ලා අස්කරගන්න.හවස් වරුවේ වුනු කිසි දෙයක් නොදත් රුවන් බයවෙලා ගේ පිරෙන්න මිනිසු හිටපු නිසා.රුවන් පස්සේ විස්තරේ කල සිද්දිය .රුවන්ගේ අම්මා එළවන් එද්දී අක්කගේ ඇඳ යටට රිංගල කලින් දවසේ හරියට නින්දක් නැති නිසා රුවන්ට එහෙම්මම ඇඳ යට නින්ද ගිහිල්ලා.

ඉංග්‍රීසි මිස් කිවුවේ "අන්ඩ ද බෙට්" කියාය. ඒත් අපි කිවුවේ "ඇඳ යට මහත්තයා" කියාය.ඌත් කැමති සිංහලෙන් කියනවට මොකද මහත්තයා කියලා කැල්ලක් තියෙන නිසා.


ප.ලි: මං දැක්කා වගේ කිවුවට අපේ පන්තියේ හිටපු ලක්ෂාන් තමයි ඉස්කෝලේ ඇවිත් ගිනි තිබ්බේ.නම් ගම් සියල්ල සත්‍යයි..

~~අසර්~~
Related Posts Plugin for WordPress, Blogger...