25 Jul 2012

සිරිවර්ධන බුදුදහමින් නිවන් ගිය සීයාගේ බීම කඩේ.


                                     
                              අපි ඉස්කෝලේ ඇරිලා බස් එක එනකන් හිටපු හංදියේ ලොකුම කොල්ලෝ ටික තමා අපි. බස් අජිත් ඒ මල්ලි නිශාන්ත ,රොෂාන් මම. අපි තමා හිටපු එකම දිග කලිසම් කාරයෝ. අනිත් උන් පොඩි උන් නිසා උන්ගේ වැඩ ලාමක නිසාත් අපි උන්ව ගණන ගත්තේ නැහැ ඒත් පස්සෙනුත් ආවා. කාලේන් කාලෙට අපි බස් එක එනතෙක්‌ හිටපු තැන් සැරින් සැරේ මාරු කළා. මේ කාලේ අපි හිටියේ සියාගේ කඩේ. සීයාගේ කඩේ කියන්නේ හංදියේ තිබුණු ටොෆි බිම බෝතල් කෑම ජාති තිබුන පොඩි කඩයක්. මේක කලින් ආත්තගේ කඩේ. ආත්තා මියගියාට පස්සේ අපි කිවුවේ ආත්තා හිටපු සීයාගේ කඩේ කියල. නම දිග වැඩි වචනෙත් පොඩ්ඩක් පැටලෙන ගතිය වැඩි පස්සේ ලොකු එකා ඉඳල පොඩි එකා දක්වා හැමෝම කිවුවේ සීයාගේ කඩේ කියලා.


මම එක වසරට බාර දුන්න දවසේ ඉඳල මේ කඩේ හොඳට මතකයි. අවුරුදු ගානකට සැරයක් පොඩි තීන්ත පාරක් දැල් වටේ ගෑවට සමහර බඩු ඇන්ටික් වෙලා. බිස්කට් පැකට් වල පාට පාට කවරය තනි සුදු පාටට හැරිලා. මේ කඩෙන් මම මුලින්ම ටෝෆියක් හොරෙන් කෑවේ එක වසරේදීමයි. ඒ ප්‍රසාද් ගේ හැකියාවෙන්. ප්‍රසාද් කියන්නේ මම එක වසරට බාර දුන්නු වෙලේ මගේ වම් පැත්තේ පුටුවේ හිටපු කෙනා. ලේනෙක් අඳින්න කියපු වෙලේ මගේ පොතේ නරියෙක් ඇඳලා නරියට ලේනා කියපු  ප්‍රසාද් ගේ ආත්තමගේ කඩේ තමා  මේ.  අපි දෙන්න ඉස්කෝලේ ඉවර වුන ගමන්  කඩේට ගියාම ආච්චි අහක බලද්දීම බෝතලෙන් ටොෆි ගන්නේ අනුන්ගේ කඩේකින් හොරෙන් ගන්න විදියට. නිකන් ලැබෙන ටොෆිය කන්න මම හැම දාම ප්‍රසාද් එක්ක යන්න පුරුදු වෙලා හිටියේ මටත් නොදැනීමයි. ටික කාලයක් යද්දී  ඒ පුරුද්ද නැති වෙලාම ගිය.


මේ ආච්චි ගෙන් පස්සේ නිතරඟයෙන් මුදලාලි වුනේ සීයා. සීයා ඒ හැටි පොඩි ළමයින්ට කරුණාවන්ත නෑ නිකන් ටොෆි එකක්වත් දුන්නේ නැහැ කවදාවත්.බස් එක පරක්කු වෙද්දී වතුර බොන්න ළමයි කඩේට යද්දී සීයාගේ නහය දිග් වෙනවා කේන්තියට. හිටපු ගමන් බැනලත් එලව ගත්තු දවස් තිබුනා වතුර නොදී.  දැල් අස්සේ එල්ලිලා සෙල්ලම් කරද්දී  දැල් දොරේ ඔන්චිලි පදිද්දී තරම් මේ සියට කේන්ති ගියේ නැහැ වෙන මොකකටවත්. කොහොම කලත් ලොකු ළමයින්ට පොඩි කැමැත්තක් තිබුනා මොකද කිසි කරදරයක් නොකර ඉන්න නිසා වෙන්න ඕන. අපිට ඒ විදියට සැලකුවාට මම කාලෙක ඉඳං මේ සීයා එක්ක කේන්තියෙන් හිටියේ. ඒ මට  පොඩි කාලේ කරපු වැඩක් නිසා.


ඒ කාලේ මම 7 වසරේ වගේ වෙනද වගේ වතුර තිබහක් හැදිලා අපි වතුර බොන්න ගියේ සීයාගේ කඩේට. පිරිසක් එක්ක ගියාට  කවදාවත් වතුර දෙන්නේ නැහැ. තනි තනියෙන් යද්දී  සියාටත් සංතෝසයි අපිටත් වතුර ලැබෙනවා. මට කලින් කඩේට ගියේ නිශාන්ත ඊට පස්සේ මම. මට දුන්නු වතුර ටිකක් අමුතුයි වෙනද දෙන තැනින් නෙවෙයි වතුර ගත්තෙත්. බොන්න දුන්නේ වතුර එකෙත් තේ කොළ තව බත් ඇටයක් වගෙත් තිබුනා. එක උගුරක්‌ බොද්දි රස වෙනස් බව තේරුණා නිසා බොන විදියට ටිකක් ඉඳල වතුර එක විසිකරලා දාලා නිශාන්ත ඉන්න තැනට ගිහින් විස්තරේ කිවුවාම දැනගත්තේ ඒ ඊට කලින් නිශාන්ත ගියපු වෙලේ අත හෝදපු හා කෝප්ප හෝදපු වතුර මට බොන්න දුන්නේ කියලා.  එතන හිටපු අනිත් එකා අපි දෙන්නටම කලින් ගිහින්  අඹ ගහෙන් ඇහුලුව ගෙඩියත් හෝදලා තියෙන්නේ මට  වතුර දුන්නු තැනින්. එදා ඉඳල වතුර බොන්න අපි වෙන කඩයකට යන්න පුරුදු උනා.


අපි ලොකු පන්ති වලට ගියාම දිග කලිසම් අඳින්න පටන් ගනිද්දී කලින් වගේ නෙවෙයි පොඩි පිළිගැනීමක් තිබ්බා. කඩේ ඇතුලට ඇවිත් වාඩි වෙලා ඉන්න අවසරය ලැබුනා.  ඒ කාලේ තමා දැනගත්තේ පොඩි වුන්ට අකමැති හේතුව. කඩේ දැල් අතරින් අනම් මනං කඩේට ඇතුල් කිරීම දොරේ එල්ලිලා සිසෝ පැදීම හකුරු කෑලි කිරි ටොෆි වගේ දේවල් ණයට ගැනීම පසුව ආයේ මුදල් නොදීම පස්සේ අකමැත්තෙන් වුනාත් ඒ දේවල් අමතක කරන්න සිදු වීම  වගේ සිද්දි නිසා පොඩි වුන්ව පෙන්න බැහැ. මොනවා උනාත් කතාව සාධාරණයි. ඒත් මට කරපු ඒ අලුගුත්තේරු වැඩේ මටනම් තවමත් හොඳට මතකයි. සමහරවිට ආච්චි නැති සොවින් ඉන්න නිසා මේ වගේ වැඩ කරනවද දන්නේ නැහැ .


එදත්  අපි තුන්දෙනා කඩේ ඇතුලේ බැංකුවේ වැඩි වෙලා ඉද්දි අපිට තිබහක් ඇවිත් තිබුනේ. ටිකකින් අපිට හිතුන දේ නිශාන්ත දෙසැරයක් හිතන්නේ නැතුව ක්‍රියාත්මක කලා. රාක්ක අතරේ පාට පාටින් තියෙන එක එක ජාතියේ බිම බෝතල් තුනක් අපි තුන් දෙනාගේ බෑග් ඇතුලට අතුරුදහන් වුනා. බෝතල් අඩි දෙකක් විතර විශාල කන්නාඩි දෙකක් නිතරම පැළඳගෙන හිටියාට පෙන්නේ නැහැ. කන් ඇහෙන්නෙත් නැහැ කියල අපි දැනගත්තේ බෝතල් දෙකක් එකට වදිද්දී එන ශබ්දයට  කිසි වෙනසක් පෙන්නේවේ නැති නිසා. එක සැරේම කඩෙන් එලියට යන්නේ නැතුව ටිකකින් අපි සීයට සුභ පතල කඩෙන් එලියට ගියේ හංදියෙන් ටිකක් එහාට වෙන්න තියෙන කරදරයක් නැති පාළු තැනකට. මුඩිය කටින් කඩලා වීදුරු බෝතලේ ඇති රතු පාට බිම ටික කටට හලාගෙන ටිකක් රස බලලා  ටිකකින්  උගුරෙන් පහලට යද්දී දැනෙන සනීපෙ ගැන කියල වැඩක් නැහැ. තුන්දෙනාගෙම තිබහත් ගිහින් බඩ ගින්නත් ඉවරයි. හිතටත් සනීපයි. අපි කවදාවත් හිස් බෝතල් අකුලකට වීසි කලේ නැහැ. ඒ බෝතලෙත් බෑග් එකේ දාගෙනම ගියේ. ටිකකින් එන පාන් බාගේ බස් එකේ සැමන් වගේ ළමයි පැක් වෙද්දී අපි දොරටුවේ එල්ලීලා යන්නේ හිස් බෝතලයත් පිටේ එල්ල ගෙන.


                                               අපි එදා මෙහෙමයි හිටියේ.


කිලෝ මීටර් හයක් විතර බස් එකේන් ගිහින් බහිද්දී අපිට ආයෙත් තිබහයි. ඒ පාලතටම සීයාගේ වගේ කඩ තිබුනේ එකක් නිසාත් ආයේ බොනවානම් සල්ලි දීලා තමා බොන්න වෙන්නේ. ඒත් අපි හොරෙන් ගන්නෙත් නැතුව සල්ලි දෙන්නෙත් නැතුව තව බිම බෝතල් දෙකක් ගත්තා. ඒ සාමාන්යෙන් හිස් බෝතලයකට රුපියල් දහයක් ලැබෙනවා බෝතල් තුනෙන් ලැබෙන සල්ලි වලින් අපිට තවත් බෝතල් දෙකක් ගන්න පුළුවන් කම තිබුනා ඒ වායේත් රස බලල කට්ටියම සතුටින් විසිරිලා යනවා. කාලයක් මේ විදියට කරද්දී සීයාට ටිකක් වෙනසක් දැනිල තිබුනා  බෝතල් අඩුවීම ගැන. පස්සේ අපි බෑග් එකේ දාගෙන ගෙදර ලඟට හිස් බෝතල්  ගෙන යන එක නැවැත්තුවා. සීයාගෙන් අරගෙන මගට ගිහින් බිලා හිස් බෝතලේ ආයේ හොරෙන්ම ගෙනල්ලා රාක්කෙන් තියලා කිසි දෙයක් නොවන විදියට ආයෙත් කඩේ වාඩි වෙලා අපි අපේ පාඩුවේ හිටියා. කාලෙකට පස්සේ සීයාගේ පුතා, ප්‍රසාද්ගේ තාත්තා කඩේ බාරගත්තයින් පස්සේ ඉබේම අපි කඩේට යන එක නැවතුනා..


අපි දන්නා කාලේ ඉඳල සීයා බෞද්ධ පොත් කියවන ගමන් හිටියේ . සීයා "සිරිවර්ධන බුද්ධාගමේ" සරණ කියපු උපාසකයෙක්.  දැන් කාලේ ප්‍රසිද්ධ සිරිවර්ධන කියන තැනැත්තා ඒ කාලේ ඉඳලම මේ වගේ වයසක මිනිසුන්ගේ මනස විකුර්ති කරලා තිබුනේ. ඔහුගෙන් බණ අහල සියදිවි නසාගත් එකම පුද්ගලයා මේ සීයා වෙන්න ඕනේ. අපේ පාසල් ගමනේ අවසාන දවස් කිහිපයේදී දැනගන්න ලැබුනේ මුහුදට පැනලා සියදිවි නසා ගත්තා කියන සංවේදී පුවත.  ගාල්ල කොටුව උඩ ඉඳල මුහුදට පැනලා තියෙන්නේ "මේ මගේ කුණු ශරීරය මුහුදේ ඉන්න මාළුන්ට ආහාරයක් වේවා ඒ පිනෙන් නිවන් දකින්න ලැබේවා" කියල. ඒ වෙලාවේ කොටුවේ හිටපු හිඟන මනුස්සයෙක් සාක්ෂි දීලා තියනවා අන්තිමට පනින්න පෙර  සීයා කියපු වචන ටික. මිය යන්න කලින් සිකුරාදා දවසේ "සිරිවර්ධන"  බණක් දේශනා කරද්දී මේ වගේ වයසක පිරිසකට කියල තියෙන්නේ මේ කුණු ශරීරය කෙනෙකුට ආහාරයට දෙන්න වගේ අදහසක් එන දෙයක්. සීයා මුහුදට කෙසේ වෙතත් මුහුදු රැල්ලට පැනලා තියෙන්නේ. උඩ ඉඳං පනිද්දී ගොඩට ආපු රැල්ල අයෙත් ගිහින්. කෙලින්ම වැටිලා තිබුනේ කළු ගල් ගොඩට. කොහොම උනාත් නිවන්නම් දකින්න බැරි වෙයි ඒ කාලේ කරපු ඇතැම් වැඩ නිසා. සිරිවර්ධන ගෙන් බණ අහපු කි දෙනෙක් මේ විදියට අකාලේ ජිවිත නැති කරගත්තද දන්නේ නැහැ.



වෙනදා වගේම සිත්තරේ තිලිණිගෙන්.



16 Jul 2012

කඩු නැති කටු ගේ .


                        ලෝකයේ  බොහෝ රටවල කෞතුකාගාර ඇත.තම රටේ ප්‍රෞඩ ඉතිහාසය ඒ හා බැඳුන අමිල වස්තුන් වගේ දෑ අනාගත පරපුර වෙනුවෙන්  ආරක්ෂා  කිරීමටත්, ලෝකයේ අනිකුත් රටවලට දැනගැනීමට  ඇති  ස්ථානය නිසා එයට රාජ්‍ය අනුග්‍රහය ලැබේ. එවැනි ස්ථානයකට නිසි ආරක්ෂාවක් නොලැබුනොත් රටේ අනාගතයට තම රටේ ඉතිහාසේ ප්‍රෞඩත්වය පෙන්වීමට ඇති සුළු සාක්ෂි පවා නැතිව යෑම වැලක්විය නොහැක. ඝානාවේ ඇති කෞතුකාගාරය නැරඹීමට ගියපු මට දැකගන්න ලැබුනේ පාලුවට ගියපු විශාල ගොඩනැගිල්ලක ඉතා සුළු ප්‍රමාණයේ භාණ්ඩ කිහිපයක්.පමණයි. ලංකාවේ කඩු නැතිවීමට දින කිහිපයකට පෙර  එම ස්ථානයට ගියපු මම ඊට පසු සතියේ ලංකාවේ කෞතුකාගාරයේ සිදුවුන ඒ කනගාටුදායක සිද්දිය ආරංචි විමෙන් මට අපේ රටේ කෞතුකාගරයටත් මෙවැනි දෙයක් වීමට ඉඩ ඇතිබව නිකමට වගේ දැනුනා. මට දැනුන දේ ඔබටත් දැනේවි. පහත පලවන්නේ එම කෞතුකාගාරයේ ඇති හොඳම භාණ්ඩ කිහිපය පමණයි. 1957 දී ආරම්භ කරන ලද මෙම ආයතනය දිනෙන් දින අභාවයට යනබව දේශීය දෑ අගයන ඝානා වැසියන් පවසයි.

විනාඩි 30 ක් වගේ සුළු වෙලාවක් තුල නැරඹීමට හැකි ඒ විනාඩි 30 වැඩි වෙලාවක් ගත වෙන්නේ  ගොඩනැගිල්ලේ ඇති භාණ්ඩ දෙකක්  අතර ඇති දුර ගෙවා ගැනිමටයි. කෞතුකාගාරයේ සේවකයෝ වගේම තව රටේ බලවත් පිරිසේ උපරිම දායකත්වයෙන් විශාල භාණ්ඩ ප්‍රමාණයක් විදේශිකයන්ට අලෙවිය හා ප්‍රභූ වරුන්ගේ නිවස් තුලද එම භාණ්ඩ විසිර පැවතීම නිසා එම ස්ථානය අභාවයට යමින් පවතී. සත්ව ඇටකටු සතුන්ගේ ඡායාරූප  හා දේශීය ශාන්තිකර්ම වල  ඡායාරූප වැනි දේවල් හිස්තැන් පිරවීමට යොදාගෙන. ආයුධයක්‌ විදියට මා දැක්කේ  ලොකුම ආයුධය ආඩි 5 ක් පමණ දිග "මන්නා පිහියක්."

                                           ලි කැටයම් සහිත ආසන කිහිපයක්.



             

 මැටි වලින් කරපු නිර්මාණයක්.

දේශීය සංගීතයෙදී භාවිතා කරන බෙර විශේෂයක්.

                                     
                                                          සම්ප්‍රධායක ඇඳුම් පිරිමි හා ගැහැණු.
                                
                                                             19 වන සියවසේ   ප්‍රභූවරයෙක්.

ලී කැටයම්.


                                                   විදේශ ආක්‍රමණ වලට පෙර සිටි ප්‍රභූන්ගේ ආසන.


                                                     මෙම කැටයමේ ඇති අලියා ආසියානු අලියෙක්


          
                                    "CAPE COST" 13 වන සියවසේදී ගොඩ නගපු බලකොටුවේ ආකෘතියක්.




මෙම බලකොටුව විදෙශි යන්ගේ සිත් ඇදගන්නා ස්ථානයකි.මා රැකියා කරන  ස්ථානයේ සිට 200 Km ඈතින්ව පිහිටා ඇති මෙය ගාල්ලේ කොටුව මෙන් ප්‍රෞඩත්වයෙන් ඉහලයි. ළඟදීම එම ස්ථානය නැරඹීමට සිතාගෙන ඉන්නේ. එම ගමනෙන් පසු  වැඩි විස්තර බලාපොරොත්තු වන්න.



5 Jul 2012

වහල උඩ සෙල්ලම



                               දවස්  දෙකක නිවාඩුවෙන් පස්සේ ඉරිදා  දවල් ගෙදරින් ආවේ වේලාසනින් අපි කිහිප දෙනෙක් එකතු වෙලා ගත් කුලී ගෙදරට. ඇළ ඉස්සරහ තියෙන බෝඩිම් ජිවිතෙන් වෙන් වෙලා ටික කාලයක් වෙනවා. මේ ගෙදර පිහිටලා තියෙන්නේ නුගේගොඩ ආසන්නයේ.ඒත් ගේ පිහිටි ඉඩමට ඇතුල් වෙද්දී කිසිම කෙනෙකුට හිතෙන්නේ නැහැ මේ නගර බද පිහිටි ඉඩමක් කියල. අක්කරයක් විතර  විශාල ඉඩමක්. ඉඩමේ හරි මද ඇති ඉතා පැරණි නිවසක් ඉඩම වටේ පිහිටා ඇති ගස් කොලන් දැක්කම කිසිකෙනෙකුට හිතන්නේ නැහැ කොළඹ පිහිටි ඉඩමක්ය කියා. පොල් ගස්, උණ පඳුරක්, උණ පඳුර ලඟම ළිඳක්.කොස් ගස්, පේර ජම්බු මේ හැම දෙයක්ම තිබුනා මේ වත්තේ. මේ හැම දෙයක්ම භාරව හිටියේ මාත් එක්ක හිටපු පස් දෙනාට. අයිතිකරු ඕස්ට්‍රේලියාවේ පදිංචිය. ගේ ඇතුලෙත් නිවසකට අවශ්‍ය සියලු ගෘහ භාණ්ඩ පවා දෑ තිබුනා. පාවෙන බෝඩිමේ හිටපු අපිට මේ ගෙදර අපේම වගේ තමා .අයිතිකරු ලංකාවේ හිටපු ඉංජිනේරුවෙක්. කළුතර මහා දාගැබ වෙනුවෙන් විශාල මෙහෙයක් කරපු පුද්ගලයෙක්. ඔහුගේ ගෙදර කරපු ඇතැම් නිර්මාණත් ගොඩාක් අද කාලෙට ගොඩාක් වැදගත්.(ගෙදර එකතු වෙන කුණු කසල වලින් බයෝ ගෑස් නිපදවල ඒ ගෑස් වලින් උයන්න සැලැස්වීම. වහලෙන් වැටෙන වතුර හා නාද්දී එකතු වෙන වතුර වෙන වෙනම ටැංකි දෙකකට එකතුවෙන්න සැලැස්වීම ඉන කිහිපයක්.)


                                      සතියේ මැද පෝය දවසක රොබින් හුඩ් සෙල්ලම කරන ගමන්.

                                                            උණ පඳුර ළඟ ඇති බංකරේ.

හවස හතර විතර වෙද්දී මම ගෙදරට ආවේ. ඒ වෙද්දී කවුරුවත් නැහැ. මාසෙකට සැරයක් ගෙදර ගියාම අම්මා හදල දෙන කිරි ටොෆි පාර්සලෙන් ටිකක් වැඩිපුර තනියෙන් කාලා ඉතුරු ටික අනිත් අයත් එක්ක බෙදාගෙන කන්නමයි එහෙම වේලාසන ගියේ. තනියෙන් කෑම නරක පුරුද්දක් වුනාත් ඒ දේ කලේ මට සාධාරණයක් වෙන්න ඕනේ නිසා. ගෙදර ගියත් ඇතුලට යන්න විදියක් නැහැ   යතුර හංගන තැන යතුර නෑ. එක තැනක නැතත් තව තැන් දෙකකම යතුර හංගන උපක්‍රමය අපි භාවිතා කලේ සොරුන් නොමග යවන්න. අවාසනවට කිසිම තැනකින් යතුර හොයාගන්න බැරි වුනා. යතුර නැති විත්තිය තේරුණා නිසා ඒ සතියේ ගෙදර නොගියපු කෙනා ළඟ අනිවාර්යෙන්ම යතුර ඇති තැන දන්නා නිසා කෝල් කලේ වෙන කරන්න දෙයක් නැති කමට. 


මම : "කෝ... බං යතුර" 


එහා පැත්තෙන් : "අඩේ.. උඹ ආවද ? මගේ ළඟ බං යතුර. මම කෙල්ල බලන්න ආවා තව පැයක් විතර යද්දී එනවා. අනේ බං කොහෙට හරි ගිහින් ඉඳපන් ... ඉතින් ඇයි බං උඹ වේලාසනින් ආවේ."


යතුර අරන් ගියපු එක නෙවෙයි වැරැද්ද මම වේලාසනින් ආපු එක. ඒ විදියට  ඌ අදහස් කලේ. ඒත් ඒ කියපු පැය රබර් පැයක් කියන විත්තිය දන්නවා. අනිත් එක ඌ හෙන ඇබලයා. ගැලවෙන්නෙම නැහැ. කරන්න දෙයක් නැති තැන ගේ වටේ කැරකුණේ මිට කලින් හොරු ගෙට ඇතුළු උණු කවුලුවක්වත් තියේද බලන්නත්, පිටිපස්සේ දොර ගැන බලන්නත් එක්ක. ඒත් එදා මට මේ සිද්දිය වෙන්න ඕනේ නිසාම කිසිම දොරක් ජනේලයක් ඇරලා නැහැ. වට දෙකක් දොරවල් වලට  තට්ටු දදා යද්දී තමා මට මතක් උනේ කොහොම හරි මැද මිදුලට පැනගත්තොත් එතනින් ගේ ඇතුලට යන්න පුළුවන් විත්තිය මැද මිදුලට එන දොර හැමදාම ඇරලා කියලා. ඒත් එතනට යන්න ඕනේ වහලට නැගලා. බෑග් එක ඉස්සරහ දොර ළඟ තියල තව වටයක් යද්දී දැක්කේ නගින්න ලේසි තැනක්. වතුර ටැංකියට අඩිය තියල වහලට නගින්න  හිතපු තරම් අමාරු වුනේ නැහැ.


වහලේ උළු දිගේ මැද මිදුල තියෙන තැනට යන්නත් ටිකක් අමාරුයි. උඩක ඉඳං බිම බැලුවාම කකුල් වෙව්ලනවා, කැරකිල්ල හැදෙනවා. ඉස්සරනම් හිටියෙම ගස් උඩයි වහලවල් වලයි. ඒත් දැන් පොඩි උසකට නැග්ගත් බය වැඩි. වහල දිගේ යන්න ඕන තැනට මම දන ගා ගෙන ගියේ. ඉඩමේ පිහිටීම නිසා වත්ත ලොකු නිසාත් වහලක් උඩ දන ගාන කොල්ලෙක් ඒ වටේ පිටේ කිසි කෙනෙකුට දැකගන්න ලැබුනේ නැහැ.විනාඩි පහක වගේ කාලයක් ගියා මට එතනට යන්න. හෙමින් හෙමින්. වහල උඩ ඉඳං පහල බලන්නේ නැතුව ඈත බැලුවාම හරි ලස්සනයි වටේම පේනවා.

වහල උඩ ඉඳං පනින්න කොහෙත්තම බැහැ මෙතනට ආව වගේ නෙවෙයි කොහොමද බහින්නේ. ආයෙත් ගිහිං වතුර ටැංකිය දිගේ බැහැල යාළුවා එනකන් ඉන්නත් හිතුනා. ඒත් දැන් පරක්කු වැඩි. වහලේ ගැට්ටටම ගියා. පනින්න බැහැ අඩි 6ක් විතර උසයි. ඉස්කෝලේ තාප්පෙ මිට වඩා උසයි  ඒ කාලේ හදිස්සියට අපි ඒ හරහා ගියාට මේ වගේ බයක් දැනුනේ නැහැ ඉස්සර. හොරෙන් ගස් වල පළතුරු කඩද්දි අයිතිකාරයා එද්දී ගහෙන් පැනල දුවපු මම දැන් මේ පොඩි උස තැනින් බහින්න බැරුව ඉන්නේ. එතෙක් වෙලා දනගහගෙන හිටපු මම වහල දිගේ බඩ ගෑවේ දිග ඇදිලා උළු වලට යටින් තියෙන පරාල දෙකේ එල්ලිලා පනින්න. පරාල ලඟට යද්දී මට පෙනේවා මෙතනට වඩා අනිත් පැත්තේ වහල පාතයි කියලා. ආමාරුවෙන් ඒ කොනට ආයෙත්  දනගාගෙන යන්නේ.එතැනදී  මට පේනවා හිටපු පැත්ත අනිත් හැම පැත්තටම වඩා පතයි කියල. දෙපැත්තට මාරු වේවි හිටපු මම වහලේ උඩ වැඩි වුනේ මොකක්ද කරන්නේ කියල කල්පනා කරන්න.


හදිස්සියෙන් හරි මම බහින්න ගිහිල්ල වැටුනොත් කෙලින් කරන්නවත් කෙනෙක් නැහැ. නැගිටින්න බැරුව හිටියොත් ආයේ මාව දකින්නේ කට්ටිය මහා රෑ නැත්නම් ඊළඟ දවසේ උදේ රෙදි වේලෙන්න දන්නා කෙනෙක් ආපුවාම.එතකොට මට වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයි.  එල්ලීලා ඉද්දි බිම වැටුනොත් කකුල් දෙකට මොනවා වෙයිද?. ඇවිදින්න බැරි වෙයි ද? රෝද පුටුවෙන් යන්න වෙයිද? එහෙම වුනොත් රස්සාව කරන්න වෙන්නේ නැහැ. විකාර අදහස් එකින් එක මැවෙනවා.කාලෙකට කලින් පත්තරේ තිබුන සිද්දියක් මතයක් වෙලා තවත් බය හිතුනා. වහලට නැගපු ගෙදර ගෘහමුලිකයා වැටිලා සිහිය නැතිවෙලා. දවසක්ම ඉඳල පස්සේ මිය ගිහිං. මට මේ හැම සිද්දියක්ම මතක් වෙනවා. වටෙන් පිටෙන් දැන් කරුවලත් වැටීගෙන එන්නේ. පැයකට වැඩි කාලයක් වහල උඩ, අරු කියපු විදියට කොහේ හරි ගිහිං හිටියනම් දැන් ඌ කෙල්ලව බලල එන වෙලාව. එහෙනම් මම මේ වෙද්දී ගේ  ඇතුලේ.මදුරුවෝ එකා දෙන්න කන්න පටන් ගද්දි මම කරපු මෝඩ කමේ තරම තේරුනා. 


අයෙත් බඩ ගාගෙන පොල් පරල දෙකක් අල්ලලා හෙමිහිට එල්ලුනා දැන් මුළු ඇඟේම බර තියෙන්නේ මගේ අත් දෙකේ.පොල් කීරකට අත හිල් උනා. එක අතක් අත ඇරියොත් අනිවාර්යෙන්ම මම  වැටෙනවා. වේදනාව ඉවසාගෙන ටිකක් ආමාරුවෙන් එල්ලිලා හිටියේ. අත් දෙක ඇත ඇරියොත් බිම. උඩක ඉඳල එක සැරේ කකුල පොළොවේ වැදුනොත් අඩුම  තරමේ වළලු කර ලඟින් උලුක්‌ වෙන්නත් බැරි නෑ. අත් දෙක වෙවුලන තරම් වෙලා එල්ලිලා හිටියා බැරිම තැන මම ඇත අතෑරියා. අයියෝ.... කකුලයි පොලවයි අතර අඩියක තරම් පරතරයක් වත් තිබිලා නැහැ. හිතේ තියෙන බියගුළු ගතියට මට හිතුන සිතුවිලි.


                                             මම එල්ලිලා හිටියේ මෙහෙමයි.

දැන් මම ඉන්නේ මැද මිදුලේ .ගේ ඇතුල හොඳටම කරුවලයි. මීට කලින් හොරු දෙවතාවක් ඇවිත් ගිහිං තිබුන නිසාම හිත පොඩ්ඩක් බය වෙලා තිබුනේ මේ ගේ ඇතුලේ  කරුවලේ ඇවිදින්න.ඇතුලට ගිහිං ඇතුලෙන් දොර ඇරගෙන බෑග් එක අරං එන්න අඩිය තියද්දීම වැටුණු ලයිට් එළියක්‌  එක්ක  ඇහුන කට හඬින් මම ගැස්සිලා  ගියා. " මොකද බං කරන්නේ බෑග් එකත එළියේ තියෙල කවුරු හරි ආවනම්!! මොකෝ බං දාඩිය දාගෙන කොහොමද බං ඇතුලට ආවේ" යාළුවා එහෙම අහද්දී මට වහල දිහා බැලුනේ ඉබේටමයි.  ටිකක් වැඩි පුර කන්න ගෙනා කිරිටෝෆි ටික වෙනදා වගේම අයිතිකාරයාට අඩුවෙන් දෙන නීතිය යටතේ මට ලැබුනේ හරි පොඩ්ඩයි. මගේ යාළුවා  හැම වැඩක්ම කරගෙන ගෙදර එනකම් මම වහල උඩ .



ප/ලි: හැමදාම වගේ සිත්තරේ ඇඳලා දුන්නු "තිලිණිට" ස්තූතියි!! 





22 Jun 2012

අප්‍රිකාණු ගුරුකම්. African Black Magic



                           ගුරුකම් වලට ලංකාවේ ප්‍රසිද්ද දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයයි.ලංකාවේ ඈත අතීතයේ ලෝකය පුදුමයට පත්වෙන විදියේ ගුරුකම් තිබුනත්  අද ඇති ගුරුකම් වල එතරම් සත්‍යක් නැහැ කියන ඒක ප්‍රසිද්ධ කරුණක්.  ලෝකේ ප්‍රබල ගුරුකම් ශාස්ත්‍රයක් තවමත් තියෙන්නේ ඉන්දියාවේ. ඒත් අප්‍රසිද්ධව තව කොතෙකුත් රටවල් ඇතිද? 14 වන සියවසේ සිට බටහිර රටවල් වලද මේ ගුරුකම් ශාස්ත්‍රය පැවතුනා. ප්‍රධාන වශයෙන් බටහිර රටක් වෙන එංගලන්තයේද එම රටට ආවේනික ගුරුකම් සාස්තරයක් තිබිල තියෙනවා. "රොබින් හුඩ්" කතා මාලාවේ මායාවරුන්ට කතා කරන දර්ශන වල ඇත්තේ 14 වන සියවසේ එංගලන්තයේ තිබුන  ශාස්ත්‍රයි . උදාහරණයක්‌ විදියට අරාබියට ,ජපානයට ඊජිප්තුවට යන රටවල ඔවුන්ටම ආවේනික ගුරුකම් ශාස්ත්‍රයක්ද බටහිර විද්‍යාවෙන් ඉදිරියෙන්ම ඉන්න ඇමරිකාවටද  ගුරුකම් ක්‍රමයක්  තිබිලා තියෙනවා. නමුත් බටහිර රටවල් ඔවුන්ට තිබුන ඒ ගුරුකම් ශාස්ත්‍රය පිළිගන්න තවමත් කැමති නැහැ. 


සති කිහිපයකට  විතර පෙර අප්‍රිකානු ගුරුන්නාන්සේ කෙනෙක් එක්ක කථා කරන්න හැකි වුනා. මේ රටේ ඇති ඇතැම් විජ්ජාවන් ගැන කථා කරන්න. අප්‍රිකාවේ බටහිරට වෙන්න ඇති  රටවල් හා දකුණුට වෙන්න ඇති රටවල් වල  ඇති ගුරුකම් ගැන දැනගන්න. මම මේ කියන ඇතැම් කරුණු පිළිගන්න අමාරු වෙන්න පුළුවන්. එත් ඒ ගුරාත් සමග හිටපු අපේ ආයතනයේ තවත් සේවකයෙක් කියපු සිද්දින් හා ඔහුගේ අත්දැකීම් නිසා මට විශ්වාස කරන්න පුළුවන් වුනා.


අප්‍රිකාවේ රටක් වෙන "බෙනේ" කියන රටේ හා "මලාවි" කියන රටවල් දෙකේ ප්‍රධාන වශයෙන් මේ ගුරුකම් ශාස්ත්‍රය තියෙන්නේ. අප්‍රිකාවේ ඇති ගුරුකම් එකම දේ නොවුනත් ටිකක් සමානයි.මේ හැම දෙයක්ම පැවතගෙන එන්නේ  මේ රටවල වල ඇති ගෝත්‍රයන්ගේ පරම්පරාවෙන්. අනිත් සිසු අප්‍රිකානු රටවල සිට  මේ ශාස්ත්‍රය ගැන වැඩිදුර ඉගෙනීමට  "බෙනේ" රටට එනවා. මේ ගුරුකම් ඇතැම් වෙලාවට අපිට හිතෙන්නේ මේ ශාස්ත්‍රයේ ඇති සැහිසික කම හා පුහු ආකල්පයි. කොංගෝ වේ 2008 අවුරුද්දේ විතරක් ළමුන "පනස් දහසකට" ආසන්න ප්‍රමාණයක් ගෙදරින් එලියට දාල  තියෙනවා එම දරුවන් යක්කුන්ගේ දරුවන් කියල හිතලා. යලිත් ඔවුන්ගේ පවුල් වලට එකතු කරගෙන නැහැ.මේ පිලිබඳ එක්සත් ජාතින්  විසින් කෙටි චිත්‍රපටියක් නිර්මාණය කරලා තියෙනවා පසු කාලෙක.  තව පිරිමින්ගේ පුරුෂ ලිංගය ගුරුකම් මගින් නැති කිරීම වගේ සාහැසික සිද්දීත් කොංගෝවෙන් සහ ඝානාවෙන් වාර්තා වෙනවා. ඒ සියලුම පිරිමින් අධික ලේ යාම නිසා මිය ගිහින් තියෙන්නේ. එම දේවල්  නැති කරල තියෙන්නේ කිසිම ආයුධයක් නොමැතිව. ඒ විදියට නැති කරන්න හේතුව ඒ කට්ටටියන්ගේ බලය වැඩි කරගැනීමට.


ටැන්සානියාවේ, කෙන්නියාවේ වගේ රටවල් වලත් ඒ ඒ ගෝත්‍රිකයන්ට ආවේනික ක්‍රම තියෙනවා. ලංකාවේ තොවිල් වගේ ශාන්තිකර්ම වලට සමාන දේවල්  කරනවා. ඒ අවස්ථාවල ඔවුන් අදහන ආගම් අනුව ඔවුන්ගේ දෙවියෝ ලඟට යන්න මිනිසුන් ඉදිරිපත් වෙන්නේ කිසි පැකිලමකින් තොරවයි. ශාන්ති කර්මය ඇති අවස්ථාවේ දෙවියන් ලඟට යන්න අවශ්‍ය පුද්ගලයා එම ස්ථානයේ බිම නිදාගෙන  ඉද්දි කට්ටඩියා ඇවිත්  උල් ආයුධයකින් පපුව පළලා හදවත එලියට ගන්නවා. ඒ හදවත ලේත් සමඟ ආහාරයට ගන්නේ ගුරුන්නාන්සේගේ බලය වැඩි වෙන්නත් අර පුද්ගලයා දෙවියෝ ලඟට යන්නත් එක්ක. හදවත වගේම තවත් ශරීරයේ කොටස්  ඒ විදියටම ගැලවීම් ක්‍රම තියෙනවා.නමුත් දැන් එම රටවල පොලිසිය  මගින් කට්ටඩියන්ව  අත්තඩංගුවට ගැනීම සිද්ද කරනවා.


මට මුණ ගැසුන කෙනා  ඒ ගෝත්‍රයේ නෙවෙයි. මිනිසුන්ට සෙතක් වෙන දේවල්. කරන්නේ. ලේ මිශ්‍ර වෙන කාර්යක් සිද්ද කලොත් ඔහුගේ පලය නැති වෙනවා.මේ රටවල ඇති වගා ඉඩම් වලට කිසිම ආරක්ෂාවක් නැහැ. අප්‍රිකාවේ එතරම් ආහාර නැතත් කිසි දිනක මේ ඉඩම් වලට දිළින්දන්  බඩගිනි වුනත් ඇතුල් වෙන්නේ නැහැ.ඔවුන් දන්නවා ඒ ඉඩමට ඇතුළු වුනොත් සිද්ද වෙන්නේ මොන වගේ දෙයක්ද යන වග. හදිස්සියෙන් වත් ඇතුළු වුනොත් ඉඩමේ අයිති කාරයා නැවත එනකන් ඒ ඉඩමෙන් එලියට යන්න බැහැ ඒ සොරාට එලියට යන්න හිතෙන්නෙත් නැහැ. පලතුරු ගස් කොච්චර තිබුනත් අයිතිකාරයා ඇවිත් ඵල නෙලාගන්නකන් ගහ  යටට කිසිම  කෙනෙක් එන්නේ නැහැ. මේ සිදුවීම සාමාන්‍ය සිද්දියක් මේ රටවලට. 


ඇමරිකානු ජාතිකයෙක් ඝනාවට මිට අවුරුද්දකට කලින් ඈවිත් තිබෙන්නේ  මේ  ශාස්ත්‍ර ඉගනගන්න. මාස තුනකට පසු ඔහු යලිත් ගියේ ගොඩාක් දක්ෂ කට්ටඩියෙක් විදියට. තමන්ගේ දැනුම විදේෂකයන්ට විකුනන්න කිසිම විදියකින් මැලි වෙන්නේ නැහැ..  ඇමරිකානු පුද්ගලයත් එක්ක අපේ ආයතනයේ මිතුරා වැඩකරලා ඇති නිසා ඔහුත් පිළිගත්තා අමරිකානුවගේ හැකියාව.  මේ කාරනා ඇතැම් විට විහිළු විදියක් වෙන්න පුළුවන්. මේ දවල් පිළිගන්න කියල කියන්නෙම නැහැ ඒත් මෙහෙම දේවල් තියෙනවා කියල තහවුරු කරන්න පුළුවන් කියල මේ රටේ කිහිප දෙනෙකුගෙන් දැනගන්න පුළුවන් වුනා.විශේෂ ගහක කොලයකට මැතිරිමෙන් එම කොලය බිම දිහේ ඇවිදීම, ලංකාවෙ වගේ කනප්පුව ඇවිද්දවනවා වගේ. එක වර විශාල පුද්ගලයන් පිරිසක් සමඟ සටන් කිරීමේ හැකි බලයක් ලැබීම . ප්‍රශ්නයක් වෙන අවස්තාවලදී  එම වස්තුව නැතිකිරීම වගේ දේවල් උදාහරණයක්‌ විදියට කිසියම් ලියකිවිල්ලක් අපිට අවශ්‍ය ආයතනයට යැවීම උසාවියේ විභාග වෙන නඩුවක් ජය ගැනීම හෝ තමන් කැමති අයුරින් විසඳීම වගේ දේවල්. ඔහුට හැකි තවත් දෙයක් නම් යම් තැනක ඉඳල තවත් තැනකට අතුරුදහන් වීමේ හැකියාව. හදිසි අවස්ථාවකදී. මේ හැකියාව මිට අවුරුදු 100 කට කලින් සුලබ දෙයක්. එත්දැන් ඒම හැකියාව තියෙන පුද්ගලයෝ ඉන්නේ ඉතා සීමිත පිරිසක්. ඔහුගේ පියාට මේ හැකියාව තිබී නැහැ. 


තරුණයෙක් සමඟ හාවයි දුපතට යන අවස්ථාව.

එක් අවස්තාවක ඔහුත් ඔහුගේ පියාත් "මාලි" කියන රටට ගියපු දවසක ඇති වූ කරදරයකදී ඒ රටේ සිට එතනින් අතුරුදහන් වෙලා ඝානවට ඇවිත් තියෙන්නේ ඔහුගේ මේ බලය පාවිච්චියෙන්. ඒ එද්දී තමන්ගේ පියාත් රැගෙන  එන්න හැකිවෙලා තියෙනවා. ඒ බලය ඔහු පාවිච්චිකරන්නේ හදිසි අවස්ථාවකදී යුද්ධයකදී වගේ. ඒ වගේම තව කෙනෙකුට නොපෙනෙන්න ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවාලු. ඇමරිකාවේ මජික් ශුරයෙක් වෙන "ඩේවිඩ් කොපිෆිල්ඩ්" ගේ ඒක් දර්ශනයක් තියෙනවා ඔහු සිටින තැන ඉඳල හාවයි දුපතට තව තරුණයෙක  රැගෙන යන සජීවී දර්ශනයක්. ඇතැම් විට මේ දෙදෙනාම කරන්නව ඇත්තේ එකම ක්‍රමයකට වෙන්න පුළුවන්. ඔහුගේ ඇතැම් හැකියාවන් මා ඉදිරියේ පෙන්වීමටත් එම දේවල් වීඩියෝ ගත කිරීමටත් ඔහු කැමති වුනා. නමුත් අහුගේ ඇති අධික වැඩ රාජකාරි කම නිසා තවම මුණ ගැහෙන්න හැකියාවක් ලැබුනේ නැහැ.  එම වීඩියෝ දර්ශනත් වෙනත් පොස්ට් එකක් හරා ඉදිරිපත් කිරීමට   බලාපොරොත්තු වෙනවා.



මේ දර්ශනය අවට ලෝකයේ සුලභ දර්ශනයක් වැඩි වශයෙන් දෙසැම්බර් ජනවාරි කාලයයේ. ඒත් ගැහැණියෙක් සහ පිරිමියෙක්  මේ විදියට ඉන්න අවස්තාවක් ගැන අහල තියෙනවද? අප්‍රිකානු ගුරුකම් නිසා මේ වගේ දකින්න පුළුවන්. අසම්මත ඇසුරක  ඵලවිපාක. පහත වීඩියෝ ඒක එවැනි සිද්දියක්.මෙතනින් ගිහිං බලන්න පුළුවන්. "මෙය වඩාත් සුදුසු වැඩිහිටියන්ට. " මෙම වීඩියෝවේ මැද හරියේ සුදු පාට කමිසයක්‌  ඇඳන් ඉන්න පුද්ගලයාගේ බිරිඳ වෙනත් පිරිමියෙක් සමග අනියම් ඇසුරක් පවත්වනවා කියන සැකය නිසා ගුරුකමක් මගින් අතටම අල්ලගන්න කරපු උපක්‍රමයක්. මේ කෙන්නියාවේ  දිළිඳු ගමක සිද්දියක්. එම ගමේ නිවාඩු නිකේතනයක ගියපු අවස්ථාවේ ඔවුන් දෙදෙනා ඒ විදියට හිර වීමෙන් පැය 4ක් වගේ කාලයක් ඉඳල තියෙනවා පුට්ටු වීමෙන්.පසුව පොලිසියෙන් නීතියට සම්බන්ධ නිලදාරීන් ද ඇවිත් දොර කඩා දෙදෙනා කොටු කරගත් අවස්ථාවයි මේ. පසුව එම කාන්තාවගේ සැමියාට හොර පුද්ගලයා කෙන්නියානු මුදලින් 20,000ක  මුදලක් දෙන්න පොරොන්දුව පිට ඔහු කට්ටඩියෙක් හරහා එම බන්ධනයෙන් නිදහස් කරනවා. වීඩියෝවේ   අවසානයේ තියෙන්නේ එම ගමේ ඇති මුදල් ගන්න ටේලර් මැෂින් ඒක. ඒ දේ දැක්කම හිතාගන්න පුළුවන් නේ ඒ ගමේ දියුණුව.

මේ ඇතැම් කරුනුත් ඔබට පිළිගන්න අමාරු ඇති ඒත් තවමත් හිතාගන්න අමාරු ගුප්ත හැකියාවන් මොවුන් සතුව තියෙනවා. සුළු සුළු ක්‍රම මටත් උගන්වන්න කැමතියි කිවුවා ඒ පිරිසක්ව පුදුම කිරීමේ හැකි ක්‍රියාවන්.
"අනියම් ඇසුරු අතටම අසුකර දෙනු ලැබේ"




12 Jun 2012

පාවෙන බෝඩිම

                       


                                             මම රස්සාව කරන්න පටන් ගෙන පළවෙනි අවුරුද්ද ගෙවුනා විතරයි. ඒ වෙද්දී මීගමුවේ පැත්තේ "නෙට් වර්ක්" එකකට ගිහිං කලින් හිටපු බෝඩිමට යන්න බස් නැතුව බස් හෝල්ට් එකක නිදාගෙන උදේ සිඟන්නේක් එක්ක නැගිටින්න වුන ඒ සිද්දිය වෙලා කාලයක් ගිහිල්ලා. පස්සේ වැඩකරන තැනට ටිකක් ලඟින් ඒ කාලේ වැටුපට ඔරොත්තු දෙන තැනක් හොයා ගත්ත්තා හරිම අමාරුවෙන්. වටේ පිටේ සුන්දරත්වයක් නැති රාත්‍රී 12 න් පස්සේ ඉතා නිශ්ශබ්ද ප්‍රදේශයක්. අළුත් කෙනෙක් ආවාම බෝඩිමේ පාලකයා අපිව සුර ලෝකේ මවා පෙන්වන සිද්දිය මදි නොකියන්න මටත් ලැබුනා. දවස් දෙකක් යද්දී  පළවෙනි වෙනි දවසේ ලැබුන විශේෂ සැලකිල්ල දෙවැනි දවසේ ඉඳල අනිත් අයටම වගේ මටත්  ලැබුනේ සියල්ලන්ටම සම තැන දෙන්න ඕන නිසා වෙන්න ඇති. අපි හිටිය උඩ තට්ටුවේ මට ලැබුණු ඇඳ තිබුනේ මුදුන් වහලට කෙලින්ම. ඒ වැහි කාලේ හැම වැහි දවසකම  මගේ කොට්ටේට වතුර බිංදු වැටිලා කෝට්ටේ පෙගිලා යනවා. ඇඳ පස්සට ඇද්දොත් කකුල් දෙකට වතුර වැටිලා හිරිකිත සීතලක් දැනෙන්නේ. මේ දුක ටික දවසක් ඉවසගෙන නොගැලපෙන අළුත් යාළුවොත් එක්ක ආමාරුවෙන් සතියක් ඉඳල ඒ අයිතිකාරයගේම වෙනත් ගෙදරකට මාරුවීමක් ගත්තා.


ඒ ගෙදර වෙනම පැත්තක බෝඩින් වෙන්න ඉඩ තිබුනත්  දැනට ඉන්නේ මම විතරක් නිසා මගේ පාසැල් කාලේ මිතුරන් දෙන්නෙකුත් කතා කරගත්තා සහයෝගයෙන් බෝඩින් ජිවිතේ කටුක කම විඳින්න.එක්කෙනෙක් කේක් බස් හෝල්ට් කතාවේත්  සමීරගේ පත්තෑයා කාපු වෙලේ  සිද්ධාලේප ගාපු අසංක. අනිත් කෙනා තවත් පාසැල් මිතුරෙක්. ගෙවල් විස්සක විතර පොඩි වත්තක් මැද්දේ තියෙන අපේ බෝඩිමේ දොර ඇරියාම කෙලින්ම වැටෙන්නේ  වත්ත මැද්දෙන් වැටිලා තියෙන පාරට. පාරෙන් එහා පැත්තේ ඇති ඇල අපිට තිබුන කරදර තවත් වැඩි කළා. ඇලට මායින්ව ඇති ගෙවල් වලින් විසි කරන ඉඳුල් ගෙයින් එලියට දාන හැම දෙයක්ගෙන්ම මේ ඇල පුරවල තිබුනේ මේ නිසා වත්ත  එහා කොනේ ඉඳල මෙහා කොනට වෙනකං ඇලේ වතුර බැහැලා යන්නේ ලොකුම වැස්සකදී විතරයි. එතකං මේ ජරාව ඇල ඇතුලෙම පල් වෙනවා.


මේ පල් වතුරෙන් නහයට දැනෙන ගඳ දැනුනත් ඇඟට දැනුනේ මා වවුලෙකුට වඩා පොඩ්ඩක් පොඩි මදුරුවෙක් විදින වේදනාව විතරයි.පල් වතුරේ හැදෙන මදුරුවෝ හිටියත් ඒ වටේ ගෙවල් වල කිසි කෙනෙක් මදුරුවන්ට බය වුනේ නෑ ඩෙංගු නොවන විත්තිය දන්නා හින්දමයි. හවස වැඩ ඇරිලා ගෙදර  ඇවිත් නාල තුන් දෙනා  යන්නේ මදුරු දැල් යටට.  අපේ දවසේ හවස් යාමේ ගත වුනේ  මේ මදුරු දැල යට. අපි ඉන්නේ මොන තරම් අපිරිසිදු තැනකද කියල තේරුම ගියපු නිසා අපි තුන්දෙනාට අමතරව කිසි කෙනෙකුට අපේ මේ සුන්දර වාසස්ථානය ගැන දැනගන්න සැලැස්සුවේ නෑ. ඒ වෙද්දී ගිටාර් වාදකයෙක් වෙන්න ආසාවෙන් හිටපු මට අනිත් දෙන්නගෙන් ලැබුනේ ගැරහීම් විතරයි.  ඇලෙන් එන "පල් පුවක් ගඳත්" මගේ ගිටාරයෙන් එන ශබ්දයත් ඒ දෙන්නට ජිවිතේ දුක තවත් වැඩියි මට වඩා. ඒත්  මාව අඩපණ කරන්න හැදුවත් මටම බෑ කියල නවත්වනකන් ඒ දෙන්නට මගේ ආසාව නැති කරන්නම් බැරි වුනා. ඒත් ගිටාරයේ ශබ්දයට මදුරුවෝ අඩු වීමක් තිබිල තියෙන බව පස්සේ දවසක මට ඒ දෙන්නගෙන් දැනගන්න ලැබුනා.


ආරක්ෂාව ගැන තත්ව සහතිකයක් දීලා තිබුන නිසා අපි බයක් නැතිව රස්නේ දවස් වලට දොර , ජනේලේ ඇරගෙන නිදාගන්න පුරුදු වෙලා හිටියේ. සොර සතුරු කරදර ඒ වත්තේ වෙලා නැති නිසා. වටේටම කරදරයක් වුන හොරු ටික ජිවත් වුනේ අපි හිටපු වත්තේ නිසා තමන්ගේ වත්තේම ගෙවල් වලට පැනල මංකොල්ල කෑම් කරන්නේ නෑ කියන ඒක බෝඩිම් පාලකයා හොඳට දන්නා නිසා ඒ වගේ සහතිකයක් දුන්නේ. මේ වත්ත කොළඹ ඇති මුඩුක්කු ප්‍රදේශයක් නොවුනත් ඒක ළඟ ගෙවල් ගොඩාක් තිබුනා . රජයේ රැකියාවල් කරන හා තවත් වැදගත් රැකියා කරන මිනිසුනුත් මේ වත්තේ ජිවත් වෙනවා. රාත්‍රී ඇඳුම පිටින් වත්ත මැද්දෙන් ගමන් කරන කාන්තාවන්  ඇසට (අ)ප්‍රිය  දසුන් මහා දවාලටත් දකින්න පුළුවන්.


එදා දවසේ රෑ හිටියේ මම විතරයි ටිකක් රස්නේ නිසා ජනේලය ඇරලා දොරත් භාගෙට ඇරගෙන නිදාගත්තේ පොඩි හරි සිතල හුළඟක් වදින්න ඕනේ නිසා මදුරු දැල තිබුනොත් හුළඟ බාල වෙන නිසා රෑ 10 න් පස්සේ මදුරුවොත් අඩු නිසා  මදුරු දැල   උඩ එල්ලා නිදාගත්තේ. එළිවෙන යාමේ මහා වැස්සෙ "හෝ" හෝ" සද්දෙත් වතුර බිංදු වහලට වැටෙන ශබ්දයත් මම ආසකරන සුන්දරම ශබ්ද දෙකත් එක්ක හීතල හුළඟත් නිසා ඔලුවේ ඉඳල පොරවාගෙන හොඳට නිදාගන්න පුළුවන්. ඇරලා තියෙන ජනේලෙන් එන හිරිකඩ තවත් අමුතු ගතියක් ගෙනාවා. ඒ ශබ්ද වැඩි වෙලා ඇහුනේ නෑ තිබුන සනීපෙට හොඳට නින්ද ගිහිං.  උදේ ඒක සැරේම අත ඇඳෙන් එලියට වැටෙද්දී කවදාවත් නැති සීතලක් "ජබුක්‌..!!" සද්දයකුත් ඇහුනා. මිට කලින් නින්දෙන් ඒ වගේ සීතලක් සද්දෙකුත් ඇහිලා නැති මම  ටිකක් කල්පනා කරලා අමාරුවෙන් ඔලුව උස්සල බලද්දී  බලන්න ලස්සනයි  පුටු දෙකත් මේසයත්  මගේ සපත්තුත් කාමරේ තැන් තැන් වල පාවෙනවා. ඇරලා තිබුන දොරෙන් හා ජනේලෙනුත් කමරේට ආපු වේලුනු පොල්ලෙලි විසිකරපු සපත්තු සෙරෙප්පු  වගේ දේවල් කාමරේ පිරිලා. ඇලේ තිබුණු කුණු රොඩු  ගෙවල් වලින් දාන ඉඳුල් හැම ජරාවක්ම හේදිලා ඒ වතුර මගේ කමරේ පිරිලා ඇඳ මිට්ටම ලඟට වෙනකං.


                                             මෙහෙමයි කාමරේ උදේ තිබුනේ

ඒ වත්තේ මිනිස්සුන්ටනම් ඒ දේ එච්චර ගානක් නැති බව කතා කරන දේවල් වලින්, හිනාවෙන් තේරුනා එදා ඉස්කෝලේ යන්නේ නැති පොඩි වුන් බෝට්ටු හදල පා කරන සිද්දි මම ඇඳ උඩට වෙලා බලන් හිටියේ. කුණු රොඩු අස්සේ මගේ ඒක සෙරෙප්පුවක්  තිබුනත් අනිත් ඒක දක්කින්න තිබුනේ නෑ. පාවෙලා ගියපු අනිත් සෙරෙප්පුව ඇතුලේ වෙනත් කාමරේක  තියෙනවා දැකපු තව කෙනෙක් ගෙනත් දුන්නත් මම මේ ජරා වතුරටනම් බැස්සෙම නෑ.  වත්තේ ටිකක් වැඩිහිටි  කෙනෙක් ඊට කිලෝ මීටරයක් විතර දුරින් ඇති සොරොව්ව ඇරලා විනාඩි පහළොවක කාලයක් ඇතුලත වතුර ඔක්කොම බැහැල ගියා. වතුර බැහැල ගියාත් ඉතුරු වුණු මඩ, කුණු රොඩු, අයින් කරලා පෙගිච්ච සපත්තුත් දාගෙන දවල් ඔෆිස් යද්දී ආයතනයට නොදන්නවා සේවයට වාර්තා නොවුන නිසා  වරුවක පඩි කපාලා.


ගිය සැරේ නිවාඩුවට ගියපු වෙලේ පරණ මතකයන් බලන්න ඒ ලඟට ගිහිං ඈතට වෙලා බලන් හිටියා .ඉස්සෙර  අපි වගේම තවත් පොඩි කොල්ලෝ දෙන්නෙක් ඒ බෝඩිමේ ජිවත් වෙනවා. අපි විඳපු දුක උනුත් දැන් විඳිනවා ඇති.. පව් වැඩේ..

5 Jun 2012

පාසැල ජිවිතේ තවත් අඳුරු දවසක්..

                 
                             අපි  හතර වසරේ ඉද්දි පිරිසිදු කිරීම තිබුනේ එළියේ. මිදුල අතු ගාන්න.හතර වසර පටන් ගද්දි මුලින්ම ලැබුනේ  පංති කාමරය පිරිසිදු කරන්න. ගෑණු ළමයි ගොඩේ ඉන්න දැන් වගේ නෙවෙයි ඉස්සර අපි පොඩ්ඩක්වත් කැමති නැහැ.පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න තමයි බැලුවේ. ගෑණු ළමයින්ගේ පුටු අස්සේ, ඩේස් යට කුණු අතු ගාන්න අපි කැමති වුනේම නෑ. මොකවත් නිසා නෙවෙයි ගෑණු ළමයි කියන කථා ඉවසන්න බැරි කමට. මාස දෙකකට විතර පස්සේ පංති භාර මිස්ට වැඳලා මිදුල අතුගාන්න පුළුවන් විදියේ සුහද මාරුවක් ගත්තා. ඒකටනම් ගෑණු ළමයිනුත් කැමති වුනා මොකද එයාල අව්වට අකමැති නිසා.


 ඒ කාලේ අපේ පංති නායකයා දුමින්ද. දුමින්ද 2 වසෙරේ ඉඳලම මම හිටපු පංතියේ හිටියේ. ඒ නිසා මම දිමියා ගැන දන්නවා හොඳට. නායකත්ව ලක්ෂණ හොඳට තිබුන කෙනෙක් එත් ටිකක් කපටි. තුන වසරේදී  තවත් කෙනෙක් එක්ක සම සමව සල්ලි දාලා බබල්ගම්  එකක් අරං දෙන්න හවුලේ කාපු හැටි මතකයි. ඒ සිද්දිය "හතරරියන් හා දෙරියන් කවි පන්තිය වගේ". ඒ ගත්තු බබල්ගම් ඒක දුමින්ද සම්පුර්ණයෙන්ම කටේ දාගෙන විනාඩි 10 ක් හපල ඩිලාන්ට දුන්නේ ඉතුරු ටික ඉස්කෝලේ ඉවර වෙනකන්ම හපලා ආයේ දෙන්න කියන පොරොන්දුවෙන්. පළවෙනි විනාඩි දහයේ තියෙන රසය ඊට පස්සේ නෑ ඩිලාන් දවසම හපන්න පුළුවන් නිසා දෙවනියට කන්න තීරණය කලා. හොඳම හරිය දුමින්ද රස බලල හාපෙ විතරක් ඩිලාන් බඩේ හුලන් පිරෙනකන්ම හැපුවා.


බ්‍රහස්පතින්දා මිදුල අතුගාන කණ්ඩායමේ පංති නායකයා වුන දුමින්දත් හිටියා. ගෙදර ලඟින් උදේ තියෙන බස් ඒක ඉස්කෝලේ ලඟට වෙද්දී ඉස්කෝලේ පටන් ගන්න ලඟයි. හැමදාම මම අතුගාන්න යද්දී අපේ කණ්ඩායම අතුගාල ඉවරත් වෙලා සෙල්ලන් කරනවා. වෙන පංති වල වගේ නෙවෙයි අතුගාපු නැති කෙනාගේ කොටස ඉතුරු කරන්නේ නැහැ. තනියෙන් හරි ඉන්න කෙනා අපේ පංතියට අයිති කොටස පිරිසිදු කරනවා. හැම දාම දුමින්දට කිවුවාම කියන්නේ "හරි හරි කමක් නෑ" අපේ පාරේ බස් ගැන හොඳට දන්න නිසා මට කිසි ප්‍රශ්නයක් වුනේ නෑ.එත් අපේ පංතිභාර  මිස් වුනේ හතර වසරේ ඉන්නකං මගෙන් පළිගත්තා වජිරා මිස්. දුමින්දගේ හොඳ කම නිසා මට කිසි ප්‍රශ්නයක් වුනේ නෑ. අන්න නායකයෝ.


එත් මට මේ දේ හරි ප්‍රශ්නයක් වුනා මගේ හිතට. ඒක දවසක් වත් මගේ කොටස ඉවර කර ගන්න බැරි වුනානේ. මම එන බස් ඒක තමා අපේ පාරෙ ඉස්කෝලේ පැත්තට උදේන්ම යන  බස් ඒක. කොහොමත් ඉස්කෝලේ පටන් ගන්න කලින් ඉස්කෝලේ ලඟට යන නිසා කාටවත් කරදරයක් නෑ. ගුරුවරු එන්නෙත් මේ බස් එකේනේ. වජිර මිසුත් ආවේ අපිත් එක්ක. එත් මම බස් එකේ නොගිහින් වෙනත් විදියකින් වෙනදට වඩා උදේන්ම පාසලට යන්න විදියක් ගැන කල්පනා කලා. එතකොට තමා මතයක් වුනේ බස් අජිත් ගේ මල්ලි නිශාන්ත්ව. නිශාන්තට ඒ කාලේ පොල්ලට උඩින් කකුල දාල බයිසිකලේ පදින්න පුළුවන්. ඒ වෙද්දී මම පැද්දේ කුඩුව ඇතුලේ. කලින් කථා කරගත්තු විදියට නිශාන්ත බස් ඒක නවත්වන තැනට බයිසිකලෙන් එනකං බලන හිටියත් නිශාන්ත වෙනදා වගේම ආවේ බස් එකේ යන්න සුදානමින්. බයිසිකලේ ගැන ඇහුවාම කිවුවේ "ඩිෆාරන්සල්" එකේ ප්‍රශ්නයක් තියන නිසා පදින්න බැහැලු. පස්සේ කාලෙක දැනගත්තේ ඩිෆාරන්සල් තියෙන්නේ ලොකු වාහන වල විතරයි කියල. ඌ මාව රැවට්ටුවා. හවුලේ කරන වැඩ එහෙමම අමතක කරලා දැම්මා.


මම තනියෙම ඉස්කෝලේ යන්න තීරණය කලා. මට ප්‍රශ්නයක් වෙන්න කලින් ඒ දේ නැති කරගන්න මම ගත්තු උත්සාහය ගැන උඩ ඉන්න කිසි දෙවි කෙනෙක් දැක්කේ නෑ. උදේ හයට විතර ගෙදරින් ගියොත් ඒක දවසක් හරි මිදුල අතුගාන්න උදවු වෙන්න පුළුවන්. ඊට පස්සේ සතියේ උදේන්ම යන්න අම්මගෙන් අවසරෙත් අරගෙන යන්න පුළුවන් කෙටි පාරවල්  වල  ඊට කලින් දවසේ  ඇවිදලා වලවල් බෝක්කු ගැන හොඳ දැනීමක් ගත්තා.


උදේන්ම නැගිටලා කට්ට කරුවලේ හයට විතර ගෙදරින් පිටත්වුනේ  අම්මගේ බැනුම් සද්දෙත් එක්ක. අද නම් කොහොම හරි මිදුල අතුගාල මම වෙනුවෙන් මෙතෙක් කල් කුණු ඇදපු මගේ යාළුවො වෙනුවෙන් ප්‍රතිඋපකාර කරන්න ඕන කියන හොඳ ප්‍රාර්ථනයක් එක්ක මම එලියට බැස්සේ. එත් මට වැඩි දුර යන්න ලැබුනේ නැහැ. පාර දෙපැත්ත කරුවලයි ගඟ අයිනේ කෙටි පාර දිගේ යද්දී උණ පඳුරු අස්සේ ඉඳන් කෑ ගහන කොරවක්කන්ගේ සද්දේ හුළඟට හෙළ වෙන වියලි කෙසෙල් කොළ, අවෙලාවේ මම දැකපු නිසා ඩොන්කා  ගස් වල වහල හිටපු වවුලු අත්තටු ගහල පියාබිද්දී ඇහෙන සද්දේ නිසා මම බය වෙලා හිටියෙ. ආයෙත් ගෙදර ගියේ තව ටිකක් එලිය වැටෙද්දී යන්න හිතා ගෙන. 


තව ටිකක් එලිය වැටෙද්දී මම කලින් දවසේ  හොයාගත්තු  පාරවල් දිගේ ඇවිදගෙන ගිහිං අපි  උදේට බස් එකට නගින තැනයි ඉස්කෝලෙයි අතරේ මැද හරියෙන්  වගේ තැනකින් මම මහා පාරට වැටුනා. පාර දෙපැත්තේ ඉන්න මිනිස්සු අහන ප්‍රශ්න වලට උත්තර දීලාම එපා වෙලා. කවදාවත් නැතුව පයින් යද්දී මිනිස්සු මොනවා කියනවා ඇත්ද. කාටවත් ඇත්ත විස්තරේ කියන්න බෑ. තව ටික දෙනෙක් මගේ පස්සෙන් එන්න හදන්නේ වෙන මොනවා හරි ප්‍රශ්නයක්වත් නිසාදෝ කියල. ඉර එළියත් දැන් ටිකක් වැටිලා කණ දෙපැත්තෙන් දාඩියත් බේරෙනවා. හැම හංදියක් ලඟම ඉස්කෝල බස් ඒක එනකං ඉන්න ළමයි මගේ දිහා බලන්නේ හරි අමුතු විදියට වට පිට බලද්දී මට දැනෙනවා ටිකක් දවල් වෙලා වගේ. සමිරලගේ ගේ ටිකක් පහු වෙද්දී,  ඇඟටත් ටිකක් මහන්සි එත් හිතටනම සතුටුයි ඉස්කෝලෙට තියෙන්නේ තව ටික දුරකින් නේ. සමීරගේ ගෙදර පහු වෙලා වැඩි දුර යන්න ලැබුනේ නැහැ  මගේ පිටි පස්සෙන් ඇහුන ලොරි හෝන් සද්දෙට මම පාරේ කාණුවට බැහැල අයින් වුනේ ඒ ලොරිය  ලොකු වැඩි නිසා සද්දෙන් මම දන්නවා ඒ කාගේ ලොරියද කියල. එත් ඒ ලොරියක් නෙවෙයි අපි හැම දාම උදේට ඉස්කෝලේ යන ඩිපෝ බස් ඒක. බස් ඒක මාව පහු කරන යද්දී මට හූ කිවුවේ, හිනා වුනේ කොළ කෑලි වලින් ගැහුවේ මම එද්දී පාර දෙපැත්තේ හිටපු උන් ටිකයි මම නගින තැනින් නගින නිශාන්තල කට්ටිය.


                                             බස් ඒක පහුකරන් යද්දී  කේන්ති ගියපු මම

බස් ඒක පස්සෙන් දිවුවත් වැඩක් වුනේ නැහැ. කිලෝ මිටර හතරක් විතර ඇවිදන් ඇවිල්ල  දුවන්න කකුල් දෙකට පණ නෑ. මෙච්චර උදෙන් ඇවිල්ල කාලයක් හිතේ කැකෑරෙමින් තිබුන දේ ඉෂ්ඨ කරගන්න වෙන්නේ නැහැ කියන දුකයි බස් ඒක පහු කරන ගියපු කේන්තියත් එක්ක මම ඉස්කෝලේ ලං වෙද්දී  "ටිලිං".... "ටිලිං"... සද්දේ ඇහුනා ඒ ඉස්කෝලේ පටන් ගන්න සීනුව. ඉතුරු ටිකක් අමාරුවෙන් ඇවිදලා ගේට්ටුව ලඟට එද්දී ගාථ කියන්න පටන් ගෙන. විනාඩි දහයක් විතර එළියේ ඉඳන් ගාථ කියල ඉස්කෝලෙට ඇතුල් වෙද්දී ලොකු සර් ( ඒ කාලේ ප්‍රින්සිපල්ට කිවුවේ ලොකු සර් කියල) වේවැලත් වන වනා ඉද්දි මගේ බඩ පපුව පිච්චිලා  ගියා.  පරක්කු වුනාට දඬුවම විදියට ස්කෝලෙ ගේට්ටුව ලඟ ඇති කුණුයි, බෝ ගහෙන් වැටෙන කොළයි ඔක්කොම සුද්ද කරලා පන්තියට ගිහිං එදා දවසම උතුරා යන සන්තෝසෙන් ඉගෙන ගත්තා. හතර වසර හිටපු මුළු අවුරුද්දෙම මම අතුගාන වැඩේට සම්බන්ධ වුනේ නැහැ.

28 May 2012

බස් අජිත්ගේ පැහැර ගැනීම.


                                                      ඔහුගේ නම අජිත්. ඒත් කථා  කරද්දී වෙනස් වෙනස් විදියට  නම සංස්කරණය වෙලා තිබුනේ. අජ්ජා, අජිත්  මල්ලි, අජූත, වගේ නම් වලින්. වැඩි දෙනා හැඳිනුවේ "අජිත් මල්ලි" කියන නමින්. මට වඩා වයසින් වැඩි වුනත් අපි කථා කලේත් අජිත් මල්ලි කියල. පොඩි එකෙක් මල්ලි කිවුවට ඌ නම් ගණන් ගත්තෙම නැහැ. හැමදාම හවසට කට්ටිය එකතු වෙන තැන දී අජිත් මල්ලි අනිත් අයට වඩා කැපිලා පෙනුනා. ඒ වැඩියෙන් කථා කරන හා කරන මගෝඩි වැඩ  නිසා. අජිත් ඉස්කෝලේ කාලේ මිස් කෙනෙක්ව බයිසිකලේක හප්පලා මිස්ගේ අත කැඩූවයින් පස්සේ ටික කාලයක් යනකම් "මැර අජිත්" වුනා.මේ මොනවා කලත් හරි හිත හොඳ එකා.


මම දෙක වසරේදී තනියෙන් බස් එකේ එන්න බැරි කමට කනිෂ්ඨයේ පිට්ටනිය කොනේ වාඩි වෙලා පාරේ යන බස් ගණන් කර කර ඉන්නේ අක්කාගේ ඉස්කෝලේ ඉවර වෙනකං. එත් මට එහෙම වැඩි කාලයක් තනියෙන් ඉන්න ලැබුනේ නැහැ. මගේ තනියට ආවේ නිශාන්ත. ඒ මොන්ටිසෝරි කාලේ යාළුවා. හොඳ මිතුරෝ දුක සැප දෙකේදීම ළඟ ඉන්නවා කියල මට තේරුම් ගියේ දෙක වසරේදීමයි. නිශාන්ත කියන්නේ අපේ අජිත් මල්ලි ගේ මල්ලි. අයියා වගේම ගොන් වැඩ කරන්නේ සමහර විට ආරෙට යනවද දන්නේ නෑ.  ඒ කාලේ ටාසන් කථා මාලාව හොඳට ජනප්‍රිය වෙලා තිබුනේ.  මම වගේම අක්කලා අයියලා එනකං තනියෙන් හිටපු අපි කිහිප දෙනෙකුට කම්මැලි කම යන්න ගස් නැගීම පැනීම කම්බි වැටවල් යටින් රිංගීම වගේ වීර ක්‍රියා කලේ නිශාන්ත. පිට්ටනිය අයිනේ වවලා තියෙන අරලිය ගස් උඩ තමා වැඩි පුර කාලේ ගෙවුවේ. දවසක් ටාසන් ගහක් උඩ ඉඳල කැරකි කැරකි පනින සංදර්ශනයක් පෙන්වන්න ගහ මුදුනේ. "හූ" තුනක් කියල බිමට පැන්නේ වටයක් කැරකිලා කකුල් දෙක පොළොවේ වදින්න. එත් අවාසනාවට වුනේ වට බාගයක් කැරකිලා කකුල් දෙක හැර මුළු ඇඟම ඒක සැරේ පොළොවේ වැදීමයි.ටික වෙලාවක් යනකන් නිශාන්ත ඒ විදියටම නිදාගෙන හිටියේ. ටිකකින් අමාරුවෙන් නැගිටලා ඇලපත අතගාන ගමන් කිවුවේ "අද හරියට කැරකුණේ නැහැ බං" කියලා ඒ අයියගේ මල්ලි නේ. වැඩි වෙනසක් දැක්කේ නැහැ ගොන්කං වලින්.


අජිත්, නිශාන්ත හා අපි හැමෝම හවසට එකතු වුනේ හංදියේ බස් හෝල්ට් එකට. එතන ජිවිතේ හරි වෙනස්.  කවදාවත් එපා වෙන්නේ නැති අසනීපයක් හැදුනු දවසකටවත් ගෙදරට වෙලා ඉන්න හිතෙන්නේ නැති හරියට අබින් කාපු වගේ ඇබ්බැහි විමක්‌ වෙලා තිබුනේ. හැම දාම හවස  තුන වෙද්දී කිසිම විදියකින් ගෙදර ඉන්න බෑ. කරන්න තියෙන හැම වැඩක්ම උදේ වරුවේ කරලා තුන වෙද්දී නාලා පිරිසුදු වෙන්නේ හංදියට එකතු වෙන්න.  සාමාන්‍ය පෙළ ලියලා කිසි වැඩක් නැතිව ඕපපාතිකයන් වගේ හිටපු මේ දවස් ටිකේ වැඩිපුරම කාලේ ගත කලේ එතන. එත් හැම වින්දනයකටම  දුෂ්ඨයෝ ඉන්න වගේම අපිටත් හිටියා. වෙන කවුරුවත් නෙවෙයි පොලිසියේ OIC දවසක් කියල ගියේ "උඹල ඔතන ආයේ මම එද්දී හිටියොත් ජනෙල් ටිකකුයි දොරකුයි හයිකරලා දෙනවා ඔතනම පදිංචි වෙලාම ඉන්න"  කියල එත් එතුමාගේ හිත රිද්දන්න බැරි නිසා ඈත නිල්පාට ජීප් එකක් එද්දී දුවන වගේ ශාරීර අභ්‍යාස කළා. අජිත් ගේ සමහර හුරතල් වැඩ වලට ගමේ මිනිස්සු ටික දෙනෙක් කිවුවේ මාදවීකාරයා කියල එත් ඔහු සැලුනේ නැහැ. මොකද නඩුකරයත් ඉන්නේ "කාරයා"කියන ගොඩේ නිසා.හැබයි ටික දෙනෙක් අනුමත කලා අපි එතන ඉන්න නිසා හංදියට ආරක්ෂාවක් ලැබෙනවා කියල. ඒ කාලේ අපි ඔවුන්ට දීර්ඝායුෂ පැතුවා.


අපේ ගේ පහුකරලා ඒ හංදියේ එක් ගමනාන්තයක් වෙන ඩිපෝ බස් එකක් යන්නේ හවස මම ගෙදරින් එලියට බහින වෙලවෙදිමයි. ගෙදර බයිසිකලයක් තිබුනත් නෑවයින් පස්සේ බයිසිකල් පදින්නේ නැත්තේ දාඩිය දාන නිසා. ඒ වෙනුවට කරන්නේ ගේ ඉස්සරහින් යන බස් එකේ එල්ලිලා හංදියේන් බැහැ ගැනීම ටිකට් නොගෙනම . කොන්දාස්තර මාමා එද්දී කියන එකම උත්තරය උනේ බයිසිකලේ හුලන් බැහැලා එකයි මේ එල්ලුනේ කියල. එත් ඒ බොරුව වැඩිකල්  කියන්න ලැබුනේ නැහැ. සුපුරුදු බොරුව කියපු දවසක  බස් එකටම ඇහෙන්න කිවුවේ "මල්ලි ඔයාගේ බයිසිකලේ හැමදාම හුලන් බහිනවා නේ. ලබන මාසේ පඩියෙන් ටියුබ් එකක් අරන් දෙන්නම් එතකන් ඉන්න කියලය". බස් එකේ පිටිපස්සට වෙන්න හිටපු ගෑණු ළමයි හිනා වෙන අතරේ එක ඔරවන මූණක් දැක්කා ඒ වෙන කවුරුවත් නෙවෙයි අපේ අක්කා. එදායින් පස්සේ සල්ලි දීලවත් ඒ බස් එකේ ගියේ නැහැ දාඩිය දාගෙන බයිසිකලේ හංදියටම පැද්දා.


අපිත් එක්ක හිටපු පිරිසගෙන් වැඩිපුර රථ උණ තිබුනේ අජිත්ට. රියදුරු බලපත්‍ර තිබුණු දෙන්නාගෙන් එක්කෙනෙක් මේ අජිත්. කාගේ හරි බයිසිකලයක් දැක්කොත් හොරෙන්  පදින ගමන් තනි රෝදෙන් යන වගේ වැඩ කරන නිසා අපි  පුළුවන් තරම් ඔහුගෙන්  බයිසිකල් හංගන් ඉන්න උත්සහ කළා. ගේ ඉස්සරහින් එන බස් ඒක නවත්වන්නේ හංදියේ තියෙන තේ කඩේ ළඟ එතනින් සෙනග නග්ගගෙන ආයෙත් අනිත් ගමනාන්තයට පිටත්  වෙනවා. මේ පිටත් වීම පැය භාගයක් වගේ ඇති. ඒ හිටියත් බස් ඒක පිරෙන්නම රියදුරු මහතායි කොන්දාස්තර මහතායි විතරක් ඉන්න දවසුත් තියෙනවා. එච්චරට අපේ හංදියෙන් සෙනඟ. දවසක් අජිත් මේ බස් ඒක වටේ ඇවිද්දේ හරියට අපේ බයිසිකල් වටේ කැරකෙන වගේ. සුපුරුදු විදියට දෙන්නා කඩේ ඇතුලට ගියේ ඉතුරු පැය භාගේ තේ බිලා බුලත් විඩක් කාලා එන්න. මේ හැම දෙයක්ම අජිත් වෙනදට වඩා උනන්දුවෙන් බැලුවා. බස් සේවකයෝ දෙන්න එලියට අවම අජිත් වෙලාව බලල කිවුවේ "මුන් දෙන්නා තේ බොන්න පැය භාගයක් ගන්නවා නේ මචං" කියලා.ඒ කතාවේ ගැඹුරු අර්ථය අපිට තේරුනේ නැහැ.


පහුවදාත් බස් ඒක හරි වෙලාවට ඇවිත් කඩේ ඉස්සරහම නැවැත්තුවා. අජිත් වටයක් කැරකුනා අද මම මේ බස් ඒක අනිත් හන්දියට අරං ගිහිං ආයේ එනවා කවුද එන්නේ මාත් එක්ක. මම දැනගෙන හිටියා මේ දේ කවදාවත් කරන්න බැහැ මොකද යතුර ඩ්‍රයිවර් ළඟ නේ. එත් අජිත් විස්තර කලේ ඩිපෝ බස් වල යතුරු නැහැ වයර් දෙකක් එකතු කරලා ස්ටාර්ට් කරන්න පුළුවන් කියල. ඒ කියපු ක්ෂණයෙන් අජිත් බස් එකට නැගලා ස්ටාර්ට් කළා ඒ එක්කම මාත් එක්ක හිටපු තව දෙන්නෙකුත් නැග්ගා. මම නැග්ගේ නැත්තේ බස් එකක් පැහැර ගැනීම ලොකු වැරද්දක් කියල දන්න නිසා.  අනිත් ඒක මොන දේ කලත් පාසල් නිළ ඇඳුමින් හිටියොත් පොලිසියෙන් හරි සහනයක් ලැබෙනවා කියල දන්නවා. සාමාන්‍යන් මේ වගේ වැඩ කරන්න මම කොහෙත්තම එකතු වෙන්නේ නැහැ. අජිත්ට හරියන අනිත් දෙන්නත් එක්ක බස් ඒක හෙමිහිට තිබුන තැනින් පිටත් වුනා. ටික වෙලාවකින් රියදුරා ආව එලියට කොන්දොස්තරගේ පැත්තට හැරිලා 


"ඒ.... මල්ලි මාර වැඩේ නේ බස් ඒක නැහැ නේ. අපි ඩිපෝවට මොකද කියන්නේ ."
"අපි මෙතන නේද නැවැත්තුවේ." එදා හිටියේ අලුත් කොන්දොස්තර කෙනෙක්.


රියදුරා මගේ ලඟට ආවා   


"මල්ලි මෙතන තිබුන බස් ඒක දැක්කද?"


"අහ්... හංදිය පැත්තට ගියා ඒ ඔය ගොල්ලෝ නෙවෙයිද?" නොදන්නා විදියට ඇහුවේ. විනාඩි දෙකකින් විතර හන්දියට ගියපු බස් ඒක හරවාගෙන ආයෙත් එනවා  බස් ඒක තිබුන විදියටම හරවල නැවැත්තුවා. බස් ඒකෙන් බැහැලා ආවේ රියදුරු අජිත් හා සහයක රියදුරෝ දෙදෙනා. බසයේ ඔරිජිනල් රියදුරා අජිත් ලඟට ගියා ඒ සුනන්ගුවෙන්ම ඔහුගේ දකුණු අත අජිත්ගේ වම් කම්මුල සිප ගත්ත බව "චිටිස්‌".......   කියන සද්දෙන්ම තේරුනා. ඒ එක්කම හරි සංවේදී සිද්දියක් උනේ. අජිත්ගේ අත්දෙකම එකතු උනා ඉස්සරහට තිබුණු කකුල දණ හිස ලඟින් ටිකක් නැවුනා.


                                  අජිත් මල්ලිට ගහද්දි අපි බලන් හිටියේ මෙහෙමයි කොටේ උඩ ඉන්නේ මම.

"අනේ අයියේ ඔයාට ඕනෙනං මට ගහන්න නැත්නම් මාව මරාගෙන කන්න.පොඩි කාලේ ඉඳලම තිබුන ආසාවක් CTB බස් එකක් පදින්න. දැන් ඒකත් හරි. වැඩි දුර ගියේ නෑ අතන හන්දියට විතරයි ගියේ." උණුවෙන හිතක් තිබුණු රියදුරු මාමා තව බොරු සද්දයක් දැම්මේ ඔහුගේ රස්සාව ගැන හිතලමයි.පොලිසි නොගිහින් බේරුනේ අහුගේ තිබුන කාරුණික කම නිසා. ඒ සිද්දිය වෙනකොට අපි හතර දෙනෙක් විතර හිටියේ ඒත් හවස පහෙන් පස්සේ ආපු දෙන්නෙකුට මම සිද්දිය කිවුවා  හැමෝම දැනගෙන ඉන්න ඒක හොඳයි නේ.පස්සේ කාලෙකදී අජිත් මල්ලි අපේ ගමේ බස් අජිත් බවට පත්වුනා.



Related Posts Plugin for WordPress, Blogger...