18 Feb 2013

පරණ ඔක්කොම තනි එකක.

                              අද මම දාන්න හිතුවා මෙතෙක් කල් මගේ පොස්ට් වලට ඇන්ඳ චිත්‍ර ටික පොස්ට් ලින්ක් එක්කම තනි පොස්ට් එකක. .  


                                                              බස් අජිත්ගේ පැහර ගැනීම.
{"ඒ.... මල්ලි මාර වැඩේ නේ බස් ඒක නැහැ නේ. අපි ඩිපෝවට මොකද කියන්නේ ."
"අපි මෙතන නේද නැවැත්තුවේ." එදා හිටියේ අලුත් කොන්දොස්තර කෙනෙක්.

රියදුරා මගේ ලඟට ආවා

"මල්ලි මෙතන තිබුන බස් ඒක දැක්කද?"

"අහ්... හංදිය පැත්තට ගියා ඒ ඔය ගොල්ලෝ නෙවෙයිද?" නොදන්නා විදියට ඇහුවේ.}


                                                  පාසැල ජිවිතේ තවත් අඳුරු දවසක්.
{ඉර එළියත් දැන් ටිකක් වැටිලා කණ දෙපැත්තෙන් දාඩියත් බේරෙනවා. හැම හංදියක් ලඟම ඉස්කෝල බස් ඒක එනකං ඉන්න ළමයි මගේ දිහා බලන්නේ හරි අමුතු විදියට වට පිට බලද්දී මට දැනෙනවා ටිකක් දවල් වෙලා වගේ. සමිරලගේ ගේ ටිකක් පහු වෙද්දී, ඇඟටත් ටිකක් මහන්සි එත් හිතටනම සතුටුයි ඉස්කෝලෙට තියෙන්නේ තව ටික දුරකින් නේ. සමීරගේ ගෙදර පහු වෙලා වැඩි දුර යන්න ලැබුනේ නැහැ මගේ පිටි පස්සෙන් ඇහුන ලොරි හෝන් සද්දෙට මම පාරේ කාණුවට බැහැල අයින් වුනේ ඒ ලොරිය ලොකු වැඩි නිසා සද්දෙන් මම දන්නවා ඒ කාගේ ලොරියද කියල. එත් ඒ ලොරියක් නෙවෙයි....}



                                                                        පාවෙන බෝඩිම
{උදේ එක සැරේම අත ඇඳෙන් එලියට වැටෙද්දී කවදාවත් නැති සීතලක් "ජබුක්..!!" සද්දයකුත් ඇහුනා. මිට කලින් නින්දෙන් ඒ වගේ සීතලක් සද්දෙකුත් ඇහිලා නැති මම ටිකක් කල්පනා කරලා අමාරුවෙන් ඔලුව උස්සල බලද්දී බලන්න ලස්සනයි පුටු දෙකත් මේසයත් මගේ සපත්තුත් කාමරේ තැන් තැන් වල පාවෙනවා.!}


                                   වහල උඩ සෙල්ලම

{හොරෙන් ගස් වල පළතුරු කඩද්දි අයිතිකාරයා එද්දී ගහෙන් පැනල දුවපු මම දැන් මේ පොඩි උස තැනින් බහින්න බැරුව ඉන්නේ. එතෙක් වෙලා දනගහගෙන හිටපු මම වහල දිගේ බඩ ගෑවේ දිග ඇදිලා උළු වලට යටින් තියෙන පරාල දෙකේ එල්ලිලා පනින්න. පරාල ලඟට යද්දී මට පෙනේවා මෙතනට වඩා අනිත් පැත්තේ වහල පාතයි කියලා. ආමාරුවෙන් ඒ කොනට ආයෙත් දනගාගෙන යන්නේ.එතැනදී මට පේනවා හිටපු පැත්ත අනිත් හැම පැත්තටම වඩා පතයි කියල. දෙපැත්තට මාරු වේවි හිටපු මම වහලේ උඩ වාඩි වුනේ මොකක්ද කරන්නේ කියල කල්පනා කරන්න.}


{මට දුන්නු වතුර ටිකක් අමුතුයි වෙනද දෙන තැනින් නෙවෙයි වතුර ගත්තෙත්. බොන්න දුන්නේ වතුර එකෙත් තේ කොළ තව බත් ඇටයක් වගෙත් තිබුනා. එක උගුරක්‌ බොද්දි රස වෙනස් බව තේරුණා නිසා බොන විදියට ටිකක් ඉඳල වතුර එක විසිකරලා දාලා නිශාන්ත ඉන්න තැනට ගිහින් විස්තරේ කිවුවාම දැනගත්තේ ඒ ඊට කලින් නිශාන්ත ගියපු වෙලේ අත හෝදපු හා කෝප්ප හෝදපු වතුර මට බොන්න දුන්නේ කියලා.}


                           වේදනාකාරී දුම්රිය ගමන.

{"තණකොළ පෙත්තාගේ මාමණ්ඩිය වූද,ඔබේ රුව වැඩිකිරීමේ රහස හාර්පික්," වගේ FM චැනල් එක පිට එක මාරුවෙලා ඇහෙනෙන්න ගත්තා. ටිකකින් භ්ක්..ස්..ස්..ස්ප්..ෂෝ.. සද්ද විතරයි ඇහුනේ. කිසි වැඩකට නැති රේඩියෝ එක තිබ්බ තැනම නිධාන් ගතකරලා ඈත බලන් හිටියේ වෙන කරන්න දෙයක් නැති කමට. ආයෙත් ටිකකින් ස්ටේෂමක නැවැත්තුව ඒ වෙන මොකටවත් නෙවෙයි අපේ පිටි පස්සෙන් එන කොළඹ මාතර කෝච්චිය අපි ඉස්සර කරගෙන යන්න.}


{ගැහැණු ළමයින් වෙනුවෙන් නිෂ්පාදනය කරන ඒවා දුන්නෙත් මට. ෆේෂ් වොෂ්, සබන් ජාති, තව අනම් මනං හැම දෙයක්ම. අප්පේ..... බලන්න එපැයි ඒ කාලේ ගෑනු ළමයි මම වැඩට එනකන් බලන් හිටිය විදිය. ඒත් මම වැඩිය එයාලට බෙදන්න ගියේ නැහැ ඒවත් මමම ගෑවා. ටෙස්ට් එකරන්න දෙන ඒවා විස වෙලා ලස්සනට තියෙන මුණ කැත වුනොත් බඳින්න ඉන්න කොල්ලොන්ගෙන් ගුටි කද්දී ඔය කිසිම ආයතනයක් එන්නේ නැහැ නේ මාව බේරගන්න.}


                                        සිංහ උයන

{අපි හෙමින් හෙමින් අඩිය තිබ්බේ.. ගස් අස්සේ ඉඳල කොයි වෙලේ අපේ ඇඟට පනිවිද දන්නේ නැති නිසා.පොඩි පැටවුනම් කකුල් හූරනවා. ඒක තමා ඉවසන්නම බැරි.මේ සත්තුත් බළල් පවුලේ නිසා කොයි පැටියත් එකයි.. තුන් දෙනාට තුන් දෙනා බයෙන් තව ඇතුලට ගියා.}

{අද කාලේ “නොදැක ඉන්න බෑ මට නම් මගේ ආදරී”කියන ගීතය ගීතයක් විදියට ජනප්‍රිය වෙන්න කලින් ඒ මුල් වචන ටික මුලින්ම නිර්මාණය කලේ අපේ පාළම ලඟදි අපේ නිශාන්තම තමා. ඒ ඔහුගේ සිහින පෙම්වතියට. ඒ ගීතය අද කාලේ කොච්චර රස වින්දක් නිශාන්ත ඒ වචන ටික ඒ කාලේ කියද්දී මගේ බඩ පපුව පිච්චිලා යනවා. එයට හේතුව ගෑණු ළමයාගේ ගෙවල් ළඟට යන්නනම් මග දිගට ඇති කඳු 3ක් තරණය කරලා කිලෝ මීටර් 2ක් දුර බයිසිකලේ නිශාන්තවත් දාගෙන පදින්න වෙන එක ගැන. කෙල්ලව බලන්න "ෆ්‍රෙෂ්" එකේ යන්න ඕන නිසා මම දාඩිය දාගෙන බයිසිකලේ පදින්නේ.ගියර් තිබ්බත් ඒ කඳු පදින එක ලේසි නැහැ.}


මගේ පොස්ට් වලට ගැලපෙන ෆොටෝ නැතිව දස අතේ දිව විකාගෙන සොයද්දි ආපු යෝජනාවෙ ප්‍රතිඵල තමා මේ තියෙන්නේ.කැමති චිත්‍රය මොකක්ද කියල කමෙන්ට් එකක් දාල යන්න. මේ ඔක්කොම ඇන්දේ තිළිණි.


8 Feb 2013

එක කෙල්ලයි, කොල්ලෝ තුනයි,මාස 10යි.


    
    
                        අපේ සෙට් වෙන බල ප්‍රදේශයේ අලුතින්ම ගෙනාපු  ගියර් 21 ඉස්සරහ විතරක් ශෝකට් තියෙන  නිල් පාට මවුන්ටන් බයිසිකලය මගේ. ඒ කාලේ ඒ බයිසිකලය සමාන වුනේ 70 දශකයේ ගමේ "මැම්බර් මහත්තයා" ගෙනාපු "ඉබ්බා කාර්" එකට ලැබුන තැනමයි.හැම දෙයකටම පාවිච්චිකලේ මගේ මේ සයිකලේ.ඒ කාලේ කාර් එක ලෙඩෙක් ගෙනියන්න, මගුල් ගෙදරක මනමාලිව ගෙනියන්න, වගේ වැදගත් වැඩවලට ගත්තත් මේකෙන් කලේ හවස පංති ඉවර වෙන  වෙලාවට පන්තිය වටේ කැරකෙන්න, තමන්ගේ කෙල්ලගේ ගෙවල් පැත්තේ යන්න වගේ වැඩ වලට.ලොකු එකාගේ ඉඳල පොඩි එකාගේ දක්වා වැඩ වලට මේක පාවිච්චි කළා. මේ හැමෝගෙම වැඩ ඉවර වෙලා බයිසිකලේ නැවත මට භාරදෙනකන් මදුරුවෝ තල,තල පාලම උඩට වෙලා ඉන්න සිදුවුණ අවාස්තාවල් එමටයි.


මගේ එක වසරේ ඉඳල යාළුවා, "බස් අජිත්ගේ" මල්ලි නිශාන්තත්  මේ බයිසිකලේ ගමට ගෙනාව දවසේ ඉඳල කෑල්ලෙන් කෑල්ල කඩා දාලා  අපේ ගෙදර පිළිකන්නේ දිරලා යනකම්ම හොඳට ප්‍රයෝජන ගත්ත කෙනෙක්.ඔහුගේ ඒ දවස් වල ට්‍රයි කරපු ඒ කෙල්ල බලන්න යන්න පාවිච්චිකලේ මේ සයිකලයම තමා. අපේ ගමට ගම් දෙකකට ඈතින් හිටපු ඒ ගෑණු ළමයාගේ  ගේ අවට කැරකෙන්න අපි සඳුදා, බදාදා,වැඩක් නොතිබුනොත් සෙනසුරාදත් යන්නත් අපි පුරුදු වෙලා හිටියා. ඒ අවට හිටපු ලස්සනම කෙල්ල.පැය දෙකේ හින්දි ටෙලි නාට්‍ය වල "ස්ට්‍රේට් කොන්ඩ" දකින්න කලින් අපි මුලින් ස්ට්‍රට් කොණ්ඩයක් දැක්කේ ඇගේ උපතින්ම හිමිවෙලා තිබුන කොන්ඩෙන්. ඇස් දෙක හරියට "සුදු කිරි කෝප්පයකට කළු කෝපි බිංදුවක්" දාලා වගේ.පැහැදිලි ඇස් දෙකක් ඇයට තිබුනේ. රූපය ටිකක් "ශෂිකා නිසංසලා" කියන ගායිකාව වගේ.


ඈ ටියුෂන් තුන හතරකට ගියා.ඒ යන හැම තැනකදීම කොල්ලෝ ඈගෙ පස්සෙන් දුසිම් ගණන් ආවා.අපි නම් ඒ පංති අසල කැරකුණේ නැ.අපි මොකටද නොදන්නා පළාත් වල ගිහින් චාටෙර් කන්නේ. කොහේ ගියාත් හවස ගෙදර එන නිසා අපි ගේ අවටම තමා කැරකුණේ. අද කාලේ “නොදැක ඉන්න බෑ මට නම් මගේ ආදරී” කියන ගීතය ගීතයක් විදියට ජනප්‍රිය වෙන්න කලින් ඒ මුල් වචන ටික මුලින්ම නිර්මාණය කලේ අපේ පාළම ලඟදි අපේ නිශාන්තම තමා. ඒ ඔහුගේ සිහින පෙම්වතියට. ඒ ගීතය අද කාලේ කොච්චර රස වින්දක් නිශාන්ත  ඒ වචන ටික ඒ කාලේ කියද්දී මගේ බඩ පපුව පිච්චිලා යනවා. එයට හේතුව ගෑණු ළමයාගේ ගෙවල් ළඟට යන්නනම් මග දිගට  ඇති කඳු 3ක් තරණය කරලා  කිලෝ මීටර් 2ක් දුර බයිසිකලේ නිශාන්තවත් දාගෙන පදින්න වෙන එක ගැන. කෙල්ලව බලන්න "ෆ්‍රෙෂ්" එකේ යන්න ඕන නිසා මම දාඩිය දාගෙන බයිසිකලේ පදින්නේ.ගියර් තිබ්බත් ඒ කඳු පදින එක ලේසි නැහැ.එනගමන් ඔහු මාව තියාගෙන පැද්දත් මම කලින් තරණය කරපු කඳු ඔහුට තිබුනේ නිවුටල් එකේ බස්සන්න.කන්දක් තිබුනොත් පැල්ලමක් ඇතැයි කියන සිද්ධාන්තය මෙතැනදී අපිට බලපෑවේ නැහැ.


අපි යන එක දවසකවත් ඇය මිදුලේවත්  හිටියෙනම් නැහැ.යන හැම දාම අපි දැක්කේ මිදුලේ ඇති මල්ගස් හා පිළිකන්නේ ඇති හිස් රෙදි වැල විතරයි.හැම දාම ඇගේ ගෙදර ළඟදීම අපේ බයිසිකලේ චේන් එක පනිනවා. මම චේන් එක දාගන්නකන් නිශාන්ත ගේ දිහා බලන් ඉන්නේ හරියට "ගැරඬියා ගෙම්බෝ පැටවූ දානකන්" බලන් ඉන්නාව වගේ.කවදාවත් එලියට ආවේ නැහැ. ඔන්න දවසක් නිශාන්ත තරමක්  සතුටු හිතෙන දෙයක් තිබුනා.ඒ පිළිකන්නේ රෙදි වැලේ ඇය එදා පංති ඇඳන් ගියපු ඩෙනිම් කලිසම වනලා තිබුනා. මෙය දැකීමෙන් නිශාන්ත ගේ මුනේ තිබුන හිනාව හරියට ඇගෙන් විවහා යෝජනාවක් ආවා වගේ. ඔහුගේ ඇස් වලින් මම දැක්කා අවංක ප්‍රේමය.


මට හිතුන එක දෙයක් තමා කොහොම හරි මේ දේ ඇයට ඒත්තු ගන්වන්න ඕනේ කියන එක.කවදාවත් කතා කරලා නැහැ, ඈතින් ඉඳන් බලන් ඉන්නවා නැත්නම් ගේ ඉස්සරහින් එහාට මෙහාට යනවා.ඊට වඩා දෙයක් නිශාන්තගේ අතින් සිද්ද වුනේ නැහැ."වඳුරා ගෙවල් හදනවා වගේ" අද අහනවා හෙට අහනව කියා කියා හැම දාම වැඩේ පස්සට දැම්මා. දවසක් මගේ උනන්දුවෙන් බස් එකෙන් බහිද්දිම ඈ ලඟට යන්න කැමති කරව ගත්තේ යාළුවෙක් හිතින්  දුක් විඳිනවා බලන්න ඉන්න බැරි කම නිසාමයි. බස් එක පස්සෙන් පුට් සයිකලයක් පදින එකනම් ලේසි නැහැ.ගියර් බයිසිකලෙන් වැඩක් ගත්තේ මම නම් එදාම තමා. දාඩිය දාගෙන නහයෙන් හා කටින් හුස්ම ගන්න ගමන් මම ඇ යන පාරේ ටිකක් ගෙවල් අඩු හරියකදී  ඈගේ ලඟට  කිට්ටු කලේ නිශාන්තගේ හිතේ කැකෑරෙමින් තිබුන අවංක අදහස වචන වලින් පිට කරන්න. මම තවත් ඇගේ කිට්ටුවටම ලන් කරද්දීම අරු රහසින් ලතෝනි දුන්නේ වේගෙන් පදින්න කියලයි. “මොකෝ බන් චෑන්ස් එක මිස් කලේ”. වෙවුලන කට හැඩින් මමත් රහසින් ලතෝනි දුන්නා. "උඩ ගෙදර හිටිය අංකල් අපේ තාත්තා වගේ බං මම දැක්කේ". තියෙන බයට තමන්ගේම තාත්තත් අඳුර ගන්න බැරි වුන පුතෙක් ගැන මං එදා දැනගත්තා.

මොනවා වුනාත් ඇය හොඳ හැදිච්ච කෙල්ල. කොල්ලෝ 100ක් පස්සෙන් ආවත් හිනා වෙලා බලා පොරොත්තු දුන්නෙත් නැහැ වචනයක්වත් කියලා එක කොල්ලෙක්ගේ හිත රිදෙවුවෙත් නැහැ.බැනලා තරහා කරගත්තෙත් නැහැ. ඉඳල හිටලා පස්සෙන් එන කොල්ලොන්ට රවනව විතරයි. මේ අතරේ මහා පුදුම දෙයක් සිද්ද වෙනවා.නිශාන්ත තනියෙන් බස් එකේ යන දවස් වල  ඒ ගෑණු ළමයා නිශාන්තත් එක්ක හිනා වෙනවා “කොහොමද” කියලා කතා කරනවාලු.අපි දෙන්නම ඉද්දි මුණවත් බලන්නේ නැහැ.මාස 4කට පස්සේ නිශාන්ත තීරණයක් ගත්තා. “වැඩේ හරියන්නේ නැහැ බං. එකී අල්ලන්න අමාරුයි වගේ අල්ලලා දාමු මචං”.මම කඳු පැදිල්ලට නිමාවක් තැබුවා.


දවසක් මම දවල් නිදාගෙන ඉන්න වෙලාවක අපේ සෙට් එකේම සම වයසේ තව යාළුවෙක් අපේ අම්මට බොරුවක් කියලා මාව එලියට එක්කරගෙන ආව.කඳු තරඟයට නිමාවක් කියල හිතුවත් ආයෙත් නිශාන්ත තියන් පැදපු මට දුලිප්ව තියාගෙන පදින්න සිද්ද වෙලා.එදා තමා මම ඉස්සෙල්ලාම උදේ හවස පිහදාල සන්සිල්ක් ෂැම්පු වතුරෙන්  හෝදන මගේ බයිසිකලේ දිහා කේන්තියෙන් බැලුවේ. නිශාන්තගේත් දුලිප්ගේත් වැඩි වෙනසක් මම දැක්කේ නැහැ ගෙදර ලඟට යනවා ආයේ එනවා බස් එකේදී හිනා වෙනවා ලු.ඒ හැර දෙයක් සිද්ද වුනේ නැහැ. නිශාන්තට හිත ගියේ නැති ඇය දුලිප්ටවත් හිත යාවිදෝ කියන අදහසින් මම හිටියේ. නිශාන්ත හිතින් ආදරේ  කරපු ඇයට දුලිප් ට්‍රයි කරන්නේ අවංකවමයි. නිශාන්තගෙන් අපිට තිබුනේ සහයෝගයක්  මිසක් කවදාවත් නපුරක් වුනේ නැහැ.අපි අතර තිබුන මිතුරුකම "මිරිඟුවක්" වගේ කෙල්ලෙක් වෙනුවෙන් නැතිකරගත්තේ නැහැ. කාලෙකට පස්සේ දුලිප් නිශාන්ත වගේම අඩි ගානක් පස්සට තියලා හැරිල වෙන ගමනක් ගියා.


කාලයක් ඒ පැත්තටවත් යන්න හේතුවක් නොතිබුන නිසා සාමාන්‍ය විදියට හවස් වරුව ගත කළා.හිටපු ගමන් පුරුද්දට වගේ ආයෙත් ඇගේ ගෙවල් පැත්තේ රවුමක් දාල එන්න හිත කියනවා. නිශාත්තත් එක්ක දවසක් ඔහු නැති වුන දවසට දුලිප් එක්කත් ඒ පැත්තේ ගියා.විශේෂයකට තිබුනේ වෙනදා දහඩිය දාගෙන පැදපු මම බයිසිකලේ වාඩි වෙලා යන්නේ. ඒ කියන්නේ කෙසේ හෝ මේ ගැහැණු ළමයා ගමේ කෙනෙක්ට අයිති කරගන්න තම අපි උත්සහ කලේ. ඈ ගැන හිතක් පහල වුනාට නිදා ගනිද්දී  සිහින දකින ඒවා අත අල්ලාගෙන පාරේ ඇවිදින හැටි,පෝරුවක් උඩ ඉන්නවා වගේ දේවල් ගැන සිහින් මැවුවෙත් නෑ නින්දේදී දැක්කෙත් නෑ.මිට කලින් මවපු හීන බොඳ වුනේ  හරියට "ගස්ලබු බටයෙක් සබන් බෝල යවපු ගමන් බිඳෙනවා වගේ". මවන වේගෙට වඩා වැඩි වේගයෙන් බොඳ වෙනවා. අනිත් දෙන්නත් එක්ක බස් එකේ හිනා වෙලා කතා කලා කිවුවට මගේ මුණ බැලුවෙත් නැහැ ඇගේ යාළුවනම් අමුතු බැල්මක් බලල අහක බලාගන්නේ මහා "අලුගුත්තේරු" විදියට.එත් අරුන් දෙන්නට වඩා මං ටිකක් ඉස්සරහින් හිටියේ.ඇගේ පාසලේ නිවාසාන්තර තරඟ දවසක "සරඹ සංදර්ශනයකට" ඈ සහභාගී වෙලා එයට අවශ්‍ය  සුදු අත්දික ෂර්ට් එකක් මට දෙන්න හැකි වුනා .ඈ ඇන්දයින් පසු සෝදන්නේ නැතිව මට අඳින්න මම සිහින මැවුවා.නැවත එය බාර දෙද්දී අර "කිරි පාට ඇස් දෙක" ලගටම දකින්න, ඒ දෙද්දී ඇස්දෙක කරකවා "ස්තුතියි" කියනවා අහන්න ආසාවෙන් හිටියේ. අනිත් දෙන්නට වඩා පියවර ගානක් ඉස්සරහින් මම හිටියා.අවාසනාවකට  ඒ සුදු කමිසය නැවත ලැබුනේ නැහැ. මේ විදියට මම නිශාත්තත් එක්කත් දුලිප් එක්කත් අපේ ගමන ගියා. හදිස්සි දවස් වල අපි තිදෙනාම ඇගේ ගෙවල් වටේ කැරකුණ වෙලාවලුත් තිබුනා.ඒ වෙද්දී අපි තිදෙනාම එකා පස්සේ එකා ඇගේ හිත ගන්න උත්සහ කළා.




කාලෙකට පස්සේ උදේ බස් එකේ මම රැකියාවට කොළඹ යද්දිත් එකම බස් එකෙන් ඇවිත් බස් ස්ටැන්ඩ් එකේ අපි දෙන්නම මූණට මුණ හමු වුනා .මාව දැක්ක ගමන්  ඉතා හුරුපුරුදු යාළුවෙක් එක්ක හිනා වෙන විදියේ හිනාවක් දැම්මා.ඒත් එක සැරේම හිනා නොවී පිටුපස බැලුවේ ඇගේ යාලුවෙක් එක්කවත් හිනා වුනාදවත් කියල දැනගන්න.මිට කලින් ඒ විදියේ නින්දාසහගත අත්දැකීම්  අනන්තවත් විඳලා ඇති නිසයි.නොසිතු විදියට ඇය මාත් එක්ක කතා කළා!!..  ඇය විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් බව ඇගෙන් මම දැනගත්තා. මෙච්චර කොල්ලෝ කරදර කරලත් පළවෙනි  සැරෙන්ම විශ්වවිද්‍යාල යන්න තරම් ඈ දක්ෂ වුනා. මමත් මගේ රැකියාව ගැන ටිකක් විස්තර කියල අපි දෙන්න වෙන් වුනා.ඉන්පසු  අද වෙනකන් ඈ දැක්කේ නැහැ.


අපිත් එක්ක කතා නොකර දැන් අපිටත් කලින් හිනා වෙලා කතා කරන්නේ ඇයිද කියලා මට ඒ හැටි පුදුමයක් ඇති වුනේ නැහැ."පැණි වරක ගහටත් හෙන ගහනවානේ" කාලෙකදී.ඒ වගේම ඇයට මහා නින්දා සහගත සිද්දියකට මුහුණ දෙන්න සිදු වුනා. ඉතා ප්‍රසිද්ද ටියුෂන්  ගුරුවරයෙක් සමඟ ඇති වුනා කියන සම්බන්ධයක්.ඔහුගේ බිරිඳ ඇයත් සමඟ කෙහිවලු පටලවා ගත්තා. තව තව සිද්දි ගොඩාක් ඇති වුනා ලු. පස්සෙන් ආපු කොල්ලෝ හැමෝම  විහිළු කරන්න ගත්තා. ඉතා පහත් ගෑණියෙක් විදියට කොල්ලෝ අතරේ කතාවක් නිර්මාණය වුනා.ඈ කාලයක් ගමෙන් පිට වෙලාත් හිටියා.මේ කිසි දෙයක් සිදු වුනාත්  කවදාවත් අපි තුන්දෙනා ඒ කිසිම කතාවක් විශ්වාස කලේ නැහැ.අපි තිදෙනාම අවංකව ආදරේ කල නිසා වෙන්න ඇති.ටික කලකින් ඈ ආයෙත් ගමට ආවා.කොල්ලෝ වෙනදා වගේ තමා මුණ බලන්නේ නැති විදියට කොල්ලොන්ට එපා වෙලා. නින්දා සහගත විදියට ඈ ස්සරහ හැසිරුනා. "හරියට උන්ගේ තාත්තත් එක්ක මේ කෙල්ල හිටියා වගේ". ඇතැම් විට ඇගේ කැමැත්ත නොලැබුන කේන්තියට වෙන්න ඕනේ.. මේ කිසිදෙයක් අපි නොදැක්ක නිසා විශ්වාස කලේ නැහැ.ඒ කාලේ අපි විතරයි කලින් විදියටම කෙල්ලෙක්ට කරන ගෞරවයෙන් හිටියේ.ඒ නිසාම වියයුතුයි එදා මාත් එක්ක කතා කලේ. අපි තිදෙනාම කැමැත්ත ලබා ගැනීමට උත්සහ කිරීම  අනිකුත් ප්‍රශ්න ඇති වීම මේ හැම දෙයක්ම මාස 10ක් ඇතුලත සිදු වුනේ.


අද වෙද්දී නිශාන්ත ලංකාවේ නැත. දුලිප් හා මමද ලංකාවේ නොමැත.අප තිදෙනාගේ තාරුණ්‍ය විඳින්නට සැලසු ඇයද අද ගමේ නැත. නුවර පැත්තෙන් දෙමාපියන්ගේ ආශිර්වාදය ඇතුව විවාහ වෙලා සැපවත් ජිවිතයක් ගතකරනවා.ගමේ  කොල්ලන්ගේ සිහින පෙම්වතියන් වෙනුවෙන් මැම්බර් මහතාගේ ඉබ්බා කාර් එකට සමාන සේවාවක් කල මගේ බයිසිකලේද අද ගෙදර පිලිකන්නේද නැත. නමුත් මතක් වෙද්දී ඇස්දෙක බොඳ කරන සුන්දර මතකයක් ඉතිරිව ඇත.හැමදාම මට හිතෙනවා වගේ අදත් හිතෙනවා "අපරාදේ අපි ඉක්මනින් ලොකු වුනේ".


ප/ලි: ඉරිසියාවක් නැතිව අදත් සිත්තරේ ඇන්දේ තිළිණි.



25 Jan 2013

මාරාන්තික මුහුදු ගමන. Deadly Voyage

                                                කිංස්ලි ඔෆෝසු.


                             කිංස්ලි ඔෆෝසු ඉපදුනේ 1970 දිය. කාර්මික ඉංජිනේරුවෙක් වීමට සිහින මැව්ව ඔහුගේ එම  සිහිනය බොඳ වුනේ ඉදිරියට අධ්‍යාපනය කරගෙන යාමට ඔහුගේ මවට වියදම් කිරීමට හැකියාවක් නොමැති කම නිසයි.එළවලු හෝ පළතුරක් විකිණීම රැකියාව කරගත් ඔහුගේ මවට ගෙදර බර වැඩි බව තේරුම් ගිය නිසා කුඩා කාලෙදිම පාසල් ගමනට නැවතීමේ තිත තබන්නට කිංස්ලිට සිද්ධවෙනවා. තම සහෝදරයන් රැකීමට යම් යම් රැකියාවල් කල ඔහුට වරායේ රැකියාවක් හිමි වන්නේ මේ අතරතුරදී.1992දි පමණ දියුණු තාක්ෂණයක් නොතිබුණ අවදියේදී නැව් වලට භාණ්ඩ පැටවීම සිදු වී තිබුනේ කම්කරුවන් අතින්. මොහුද එවන් කම්කරුවෙක්. අප්‍රිකාවෙන්, කොකෝවා යුරෝපයට ප්‍රවාහනය කිරීම සහ යුරෝපයෙන් පාවිච්චියෙන් පසු ඉවත දමන භාණ්ඩ අප්‍රිකාවට ආනයනය කිරීම ප්‍රධාන වශයෙන් සිදු වුණා.



තරුණයකුට යුරෝපයට යෑමට අවශ්‍යව, ඔහු ගුවන් මගින් ගියහොත් ඒ සමාජය පිලි ගන්නේ පිරිමියෙක් නොවන,නිකමෙක්  විදියට. වීරයෙක් වීමටනම් මුහුදු මගින් යුරෝපයට පැනීම අත්‍යවශ්‍ය කාර්යක් වුනා. රැකියාවන් සඳහා යෝරෝපයට යන බොහෝ තරුණයන් වැඩි වශෙයෙන් තෝරාගත්තේ නැව් සේවයයි. එයත් නැවේ කාර්යමණ්ඩලයට හොරෙන් සති දෙකක් හෝ තුනක් ඉතා දුෂ්කර ගමනකින් යුරෝපා රටකට ඇතුල් වීමෙනුයි. අවුරුදු 22 තරුණයෙකු වූ කිංස්ලි ඔෆෝසුද මෙම දුෂ්කර ගමනට පිඹුරුපත් සැකසුවා. ඔහුගේ මිතුරන් මිට ඉහත  මේ ආකාරයෙන් විදේශ ගත වී තිබුනත්, ඒ කිසිම කෙනෙකුගෙන් කිසිම තොරතුරක් ඔවුන්ගෙ ඥාතීන්ට දැනගන්න හැකි වී තිබුනේ නැහැ. එහෙත්  ඔවුන් යුරෝපයේ සුපිරි ජිවිතයක් ගත කරනවා ඇතියි ඔවුන් තරයේ විශ්වාස කළා.



1992 ඔක්තෝම්බර් 24 වෙනිදා බහමාස් කොඩිය යටතේ යුක්රේන ජාතික කාර්‍ය මණ්ඩලයක් සේවය කරන භාණ්ඩ ප්‍රවාහන නෞකාව ඝානාවේ "තකොරාඩි" වරායෙන් පිටත් වුනේ ප්‍රංශය  බලා ගමන් කිරීමටයි. කාර්‍ය මණ්ඩලයට අමතර තවත් අමුත්තන් පිරිසක් ඇති බවට කෞකවේ  කිසි කෙනෙක් දැනගෙන සිටියේ නැහැ. කිංස්ලි ඔෆෝසු සහ ඔහුගේ බාල සහෝදරයත් තවත් මිතුරන් 6 දෙනෙකුත් මෙම අති දුෂ්කර මාරාන්තික  ගමනට එකතු වී අවසානයි. නැව පිටත් වී හයවෙනි දවසේ උදේ මොවුන් 8 දෙනාට අමතරව තවත් කළු කැමරුන් ජතිකයෙකුත් කොකෝවා ගෝනි අතරේ සිට මොවුන්ට හමු වෙනවා. මේ අයුරින් යුරෝපයට පැන යෑමට අප්‍රිකාවේ බොහෝ රටවල් වල තරුණයන් උත්සහ දැරූ බවට කදිම නිදසුනක්. එදාම හවස නැවේ  කාර්ය මණ්ඩලයට මොවුන් කොටු වෙන්නෙ ආවසානවන්ත විදිහට.




මෙම  අනවසර පුද්ගලයන් කොටුවීමෙන් පසු යම් යම් හේතු කියා වෙන් කිරීමට ඔවුන් කටයුතු කරනවා. සියල්ලටම  කලින් මෙම පුද්ගලයන් ළඟ ඇති සියළුම මුදල් මෙම කාර්ය මණ්ඩලය විසින් එකතු කරනු ලබන්නෙ ආරක්ෂාකරිව ප්‍රංශයට ඇතුල් කරන පොරොන්දුව මත. එහෙත් කිසි විටකත් ඔවුන් සියලු දෙනාම එකම ස්ථානයේ රඳවා තබන්න උත්සහ කලේ නැහැ. දැනට කොටු කර ඇති ස්ථානයෙන් එක වර තිදෙනකු අවස්ථා කිහිපයකදී රැගෙන යන්නෙ පොරොන්දු වූ විදියට සඟවා තැබීමටයි. ඔෆෝසු සහ ඔහුගේ සහෝදරයා පමණයි අවසානයට ඉතුරු වුයේ. මොවුන් දෙදෙනාත් රැගෙන  යද්දී කිසියම් වෙනසක් මොවුන් දෙදෙනාට තේරුම් ගියා. මොවුන්ව  රැගෙන යන්න ආ පුද්ගලයාගේ කලිසමේ ඇති ලේ පැල්ලම් හා නැවේ තැන් තැන් වල විසිරි ඇති ලේ පැල්ලම් දැකීමෙන්  සිදුවෙන්න යන දේ ඉවෙන් මෙන් තේරුම් ගත්න කිංස්ලි සහ ඔහුගේ සහෝදරයත් හැකි වේගෙන් දිව්වත්, අවාසනාවට සහෝදරයට වෙඩි වැදෙනවා. කිංස්ලි හැකි අයුරින් ඔහුවත් රැගෙන සැඟවෙන්න උත්සහා දැරුවත් මේ මිනීමරු නැව් කාර්ය මණ්ඩලයට වෙඩි වැදී ඇති සහෝදරයාව කොටු වුණා.


තමන් කුඩා කාලේ වින්ඳ දුක තමන්ගේම දරුවන්ටත් විඳින්න දීමට නොහැකි කම නිසා මොවුන්ගේ නුපන් දරුවන් වෙනුවෙන් මෙම සහෝදරයන් දෙදෙනා ගත්ත උත්සාහය  වැරදි තීරණයක් බව තේරුම් යද්දී බොහෝ මිතුරන් මියගොස් අවසානයි. කිංස්ලිට ඔහුගේ සහෝදරයා මෙම මැරයන් විසින් මුහුදට විසිකිරීම  බලා සිටීම හැර කරන්න කිසි දෙයක් තිබුනේ නැහැ. මොවුන්ගේ මීළඟ ඉලක්කය වුනේ මේ සියල්ලම දන්නා තමන් විසින් ඝාතනය කරන  අයුරු දුටු කිංස්ලි ඔෆොසුව ඝාතනය කර මේ සියල්ල ලොවෙන් සැඟවීමටයි. මෙයට ඉහත නැව්  වලින් යුරෝපයට ගමන් ගත් මිතුරන්ට සිදු වූ දේ ගැන සිතාගන්නට කිංස්ලිට පුළුවන් වුණා. තමා ඝාතනය කිරීමට  එන මේ පිරිසෙන් බේරීමට ඔහු නොගත් උත්සහයක් නැහැ. දින තුනක් තිස්සේ නැවේ බඩු අස්සෙත්, විවිධාකාර බට අස්සෙ සැඟවිලා එහාට මෙහාට දුව දුව නැව ඇතුලේ නිරුපද්‍රිතව සිටින්නට ඔහුට හැකිවෙනවා. නෞකාව  කිසියම් වාරයක නැවතුන බව දැනගත් ඔහු නැංගුරම් කවුළුව අස්සෙන් යකඩ දම්වැල දිගේ මුහුදට බැස කෙටිදුරක් පිහිනා වරායට ඇතුළු වී හැකි වේගයෙන් දුවද්දි ඔහුගේ වාසනාවට ඒ මොහොතේ වරාය පොලිස් රථයක් පැමිණ තිබුණෙ. ඒ හැටි අධ්‍යාපනයක් නොමැති ඔහු දන්නේ ඔහුගේ දේශීය බස පමණයි. පොලිසියට කොටු වූ විගස ඉංග්‍රීසියෙන් කියන්නට දැනගෙන සිටියේ "ඝානා මෑන්, ඝානා මෑන් " පමණයි. ඝානා භාෂා පරිවර්තකයෙක් මගින් සියල්ල ප්‍රංශ පොලිසියට දැනගන්න ලැබෙනවා. ඒ ක්ෂණයෙන් නැවේ කැප්ටන් සහ අනෙකුත් සියලු දෙනාම අත්අඩංගුවට පත් විය.


                                               **********


මේ පුවත ලෝකයම කැළඹුව සිදුවීමක් බවට පත්වෙන්නෙ මෙතෙක් කල් ලෝකයට වසන් වී තිබුණු අපරාධයක් ලොවටම හෙළිවීමෙන්. ඒම කාලේදී එක්සත් ජාතික සංවිදානයේ ප්‍රධානියා වී සිටියේත් ඝාන ජාතිකයෙක් වන "කොෆි අනන්". එම නිසා මෙයට තවත් ප්‍රභල, ප්‍රසිද්දියක් ඇතිවිය. දුප්පත් අප්‍රිකානුවන්ගේ ජිවිත බේරාගන්නට ඔවුන්ව දැනුවත් කල කිංස්ලි ඝානාවේ වගේම අප්‍රිකාවේ සෙසු රටවල වීරයෙක් බවට පත්විය. වසර තුනක නඩු විභාගයකින් පසුව එම කාර්ය මණ්ඩලයට වසර 20ක සිර දඬුවමක් ද නැවේ ප්‍රධානියා හා තවත් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වාද සිර දඬුවම් හිමිවිය. නැවේ ප්‍රධානියාට ඇති අනිත් චෝදනාව වන්නේ කිසිම නිත්‍යානුකුල ලියවිල්ලක් නොමැතිව වසර තුනක් භාණ්ඩ ප්‍රවාහන කරවීමයි.


                                              කොෆි අනන්.


 මෙම සියලු සිද්දිය පසු කාලෙක චිත්‍රපටියකට නැගින. එය 1996 දී තිරගත විය. කිංස්ලි ගේ පුර්ණ කැමැත්ත ඇතුව චිත්‍රපටි සමාගම ඔහුට ඇමරිකානු ඩොලර් 60,000 ගෙවීමට පොරොන්දු නමුත් ඔහුට අද වෙනකම් ලැබී ඇත්තේ $10,000ක් පමණයි. ඔවුන් විවිධ හේතු මත කිංස්ලිව මගහරිනු ලැබූහ. එහෙත් විවිද සංවිධාන, රාජ්‍යන් ගෙන් ලැබුණු විශාල ආධාර මත ඔහු විශාල පොහොසතෙකුද විය. කාලයත් සමග ඔහු වටා සිටියවුන්ගෙන් රැවටීමට ලක්වීම ,කාන්තාවන්ට ලොල් බව හා යම් යම් හේතු නිසා    ඔහු සාමාන්‍ය පුද්ගලයෙකුගේ මට්ටමටම අද වෙන විට ඇද වැටි ඇත. එහෙත් කුඩා කාලේ සිට තිබුන කාර්මික ඉංජිනේරුවෙක් වීමේ ආසාව සඵල විය. ඔහුගේ බිරිඳත් දරුවන් හතර දෙනාත් සමඟ ප්‍රංශයේ දැනට ජිවත් වෙයි.    මෙම චිත්‍ර පටිය "යු ටියුබ්" හරහා ඉතා පහසුවෙන් නැරබිය හැක.මෙන්න මෙතනින්. 



සැ/යු. මගේ ආයතනයට සම්බන්ද කෙනක් මට මේ සිද්දිය විස්තර කෙළේ.කිංස්ලිට ඇති සම්බන්දයනම් කිංස්ලි වාරයේ රැකියාව සොයා දී ඇත්තේ මා කලින් කිව් මිතුරාගේ සහෝදරයයි.




9 Jan 2013

මහ කැලේ වැල.




                         අවුරුද්දේ දවස් 365 න් 364 ක්ම වැඩ කරන ආයතනයක වැඩ කරන අපිට  මුලු  ආයතනයටම  නිවාඩු ලැබෙන්නේ දෙසම්බර් 25 නත්තල් දවස. මාත් එක්ක ඉන්න අනිත් දෙන්නටත් අපි තුන්දෙනාම එකට ඉන්නේ අවුරුද්දකට එක දවයි. රට,තොට බලාගන්න පුළුවන් දවසේ අප්‍රිකාවේ සුන්දර තැනක් බලන්න අදහස් කරන් තිබුනා. ඊට කලින් දවසේ 24 වෙනිදා රෑ අපේම ආයතනේයේ අපේ රටට අල්ලපු රටවල් දෙකේ දෙන්නටත් අපේ අදහස දැම්මා. උදේ 7 වෙද්දී පිටත් වුනොත් 200 K.M ඈත තියෙන අප්‍රිකාවේ තවත් වැසි වනාන්තරයක් වන "කුකුම් ජාතික වනොද්‍යනට" අග නගරේ සිට ළඟා වෙන්න ගතවෙන්නේ පැය දෙකක් වගේ කාලයක්.

උදේ 7ට එනවා කියපු අනිත් දෙන්නා 7.45 වෙනකුත් නැති තැන අකමැත්තෙන් වුනත් ඔවුන්ව දාලා යන්න සිද්ද වුනා. සැලසුමේ විදියට ගමන අරබන්න නොහැකි වුන නිසා  මග දිගට ට්‍රැෆික්. නගරයෙන් පිට වෙන්න කලින් වියදමට මුදල් ගන්න අවශ්‍යතාව තදින්ම තිබුනා.ටේලර් මැෂින් පහුකරගෙන නගරේ කෙලවරේම තියෙන අවසාන මැෂින් එකෙන්ම සල්ලි ගන්න සිද්ද වුනේ මොන හේතුවක් නිසාද කියලනම් දන්නේ නැහැ.අපි තුන්දෙනාගෙන්ම දැනට ඉතුරු වෙලා තියෙන එකම "ATM කාර්ඩ් එක" මගේ.හැමෝගෙන්ම මුදල් අවශ්‍යතාවල් පිරිමහගන්නේ "හාල් පොත" වගේ තියෙන මේ කාර්ඩ් එකෙන්.අනිත් දෙන්නගේම කාර්ඩ් ටේලර් මැෂින් විසින් අතුරුදහන් කර අවසන්.අප්‍රිකාවේ මිනිසුන් වගේම යන්ත්‍ර, සුත්‍රාත් විස්වාස කරන්න බැහැ.කිසි වරදක් නැතිව කාර්ඩ් හිරවීම සමානයි.එසේ සිර වුන කාර්ඩ්  කෙලින්ම ලංකාවට යවනවා. සංචාරකයා අසරණයි.



මගේ කාර්ඩ් එක ඇතුල් කර සාමාන්‍ය විදියට පියවර අනුගමනය කලත් අවාසනාවන්ත විදියට ATM මැෂින් එක හිර වුනා.කාර්ඩ් එක ඇතුලේ.එත් කාර්ඩ් එක බැංකුව සතුකරගත්තේ නැහැ.කාර්ඩ් එක දාල යන්නත් බැහැ කොයි මොහොතක හෝ එලියට එවි නැත්නම් මුදල් ගන්න පුළුවන් විදියේ පසුබිමක් ඇතිවේවි කියන බයට දාල යන්නත් බැහැ.අනිත් දෙන්නත් මගේ සහයට හිටියේ හැමෝගෙම අවශ්‍යතාවල් පිරිමහුවේ මේ කාර්ඩ් එක නිසා. විනාඩි 10 ක් 15 ක් බැලුවේ මැෂින් එක සාමාන්‍ය තත්වයට ඇවිල්ලා කාර්ඩ් එක එලියට එනකන්. පසුව බැංකු කළමනාකාර තුමිය සම්බන්ධ කරගන්න හැකි වුනා. ඒ නිවාඩු දවසෙත් බැහැ නොකියා අපි වෙනුවෙන් බැංකුවට ඇවිත් මැෂිම ක්‍රියා විරහිත කර කාර්ඩ් එක අරන් දුන්නේ වද දෙන මැෂින් අතරේ උදවු කරන මිනිසුන් ඉන්නබව සනාත කිරීමටයි.නැවතත් කාර්ඩ් එක මා සතු කරගන්න පැය එකහාමාරක් විතර ගත වුනා.

ඒ අරගෙනත් තවත් කිලෝ මීටරයක් ඈතින් තිබෙන තැනකට ගියාත් ඒ මැෂිමේ මගේ එක කාර්ඩ් හිරවෙන්න කලින් වෙනත් කෙනෙකුගේ එකක් හිර වෙලා.තවත් ඈතින් ඇති මැෂිමක් හොයන් ගිහින් යන්තම් විශ්වාස කරන්න පුළුවන් තැනකින් අවශ්‍ය තරමට මුදල් අරන් හැම ප්‍රශ්නයක්ම විසඳගෙන පිට වෙද්දී 10.30 විතර වෙලා. අපේ ගමනාන්තයට ළඟා වෙද්දී හවස 1.00 විතර වුනා. ඈතින් පෙනන කැලේ ඇතුලෙන් කාක්කෙක් සද්දේ දැම්මත් අපිට ඇහෙන්නේ වලසෙක් කෑ ගහන ශබ්දයක් වගේ.අපේ හිත්වල තිබුනේ දරුණු ගනයේ සතුන් සජීවීව නරබන්න.උන්ගේ සාමාන්‍ය ජිවන රටාවත් එක්ක. සත්තුවත්තේදී වගේ කෘතිමව නැතිව.


"කුකුම් ජාතික වනෝද්‍යානය" අප්‍රිකාවේ ඇති වැසි වනාන්තරයක්.වර්ග කිලෝ මීටර් 350ක් පමණ විශාල මේ වනාන්තරේ අලි කොටි ,වලසුන් වැනි විශාල සතුන්ද ජිවත් වෙනවා.කුරුළු විශේෂ 500ක් විතර සමනළයින් හා අනෙකුත් සතුන් සමග සත්ව විශේෂ 800ක් පමණ මේ වනයේ  ජිවත් වෙනවා. 1960 දී පටන්  සංචාරකයන්ට එය නැරඹීමට අවස්ථාව හිමිවිය.සතුන් බලන්න යන්න තියෙන්නේ කැලේ මැදින් ඇති පාලමක් මගින්.ලෝකෙන්ම වනාන්තර හරහා මෙවෙනි විශාල පාලම් ඇත්තේ 4ක් පමණයි.එයින් දෙවෙනි විශාලතම පාලම  මෙයයි. අනෙකුත් පාලම් ඇත්තේ, චීනයට පළමු තැන, මලයාසියා.පේරු. අඩි 130 උසින් ඇති වැල් පාලමක් උඩින් ඇවිදන ගමන් පහල ඇති ඝන කැලේ සිදුවන සත්ව ක්‍රියාකාරකම් දැක බලා ගැනීමයි සංචාරකයන්ට අවස්ථාව ලබාදී ඇත්තේ.. මෙහි මුළු දිගා මීටර් 330ක්.මෙම පාලම නිර්මාණය කරලා තියෙන්නේ විශාල ගස් අතරේ කේබල් සම්බන්ධ කර  ඒ හරහා එල්ලෙන පාලම සම්බන්ධ කරලා.


                                                   පාලමේ යන්න පෝලිමේ.



මේක තාමා පාලම. 

                                                                ඈතට පෙන්නේ මේ වගේ.




                                         රූස්ස ගසක ඇති නැවතුම් පොලක්

ලංකාවේ ඇති වැල් පාලම් වලින් මිට කලින් ගිහින් තිබුනත් මේ පාලමේ යද්දී පොඩි චකිතයක් තිබුනා.ගඟක් හරහා  යද්දී බයක් නැහැ වැටුනොත් ගඟට එත් මේ ඝන කාලේ හරහා යද්දී වැටුනොත් කොටි වලස්සු ඉන්න කැලෙකට වැටෙන්නේ.ඒත් මේ උද්‍යානය ආරම්භ කල දවසේ සිට අද වෙනකන් කිසිම ජිවිත අනතුරක් සිදුවෙලා නැහැ.මීටර් 130 උඩින් පාලමක් මතින් ඇවිදිද්දී සතුන් බාලාගෙන ඉස්සරහට යන්නයි තියෙන්නේ.  ගියොත් ගමනේ  අවසානය වෙනකන් යන්න සිදුවෙනවා.මගින් ආපසු හැරෙන්න කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.. මීටර් 330ක ගමනේ අවසානේ ඒ මහා වනයේ හිටපු සතෙක්ව මගේ කැමරාවේ සටහන් කරගන්න හැකි වුනා.


                                               මා දැක්ක එකම සතා "සමනළයා"

අඩි 130 ක උඩින් යද්දී අඩි 60-70ක් විතර උස ගස්වල කරටි තමා පෙන්නේ.කරටි අස්සෙන් පෙන්නනම් අඩුම ගානේ ජිරාෆ්ලා රංචු වත් ඉන්න ඕනේ.එත් ඝානාවේ ජිරාෆ්ලා නැහැ.අඩුම ගානේ උස ගස්වල ජිවත් වෙන ගහෙන් ගහට පැන පැනයන  කළු වඳුරෙක් වත් ඇහැකට දැක්කේ නැහැ. අප්‍රිකාවේ ඝන වනාන්තරයක සංචාරය කර කිසිම සතෙක් නොදැකපු එකම අවසානාවන්ත ශ්‍රී ලාංකිකයා මම විතරද?.


4 Dec 2012

සිංහ උයන.



                                 අපි කාලයක් වටේම තියෙන සංගීත සංදර්ශන බලන්න පුරුදු වෙලා තිබුනා. ඉස්කෝලේ ගමන නවත්වලත් නැහැ ඒ වෙද්දී. ගෙදරට හැම දාම කියන බොරු ටික කියල ගෙදරින් පැන ගන්නේ රෑ 12 කලින් එන පොරොන්දුව පිට. ඒ කාලේ මට හරියට මල ගෙවල්, හත් දවසේ බන ගෙවල්,පිරිත් ගෙවල්,ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්ට වගේ.ඒත් මම යන්නේ වෙන වෙන ගමන්.මැරෙනවා කියල ඒ හැටි මැරෙන්න තරම් අපේ ප්‍රදේශය විශාලා මහනුවර වගේ වුනේ නැහැ.ගියපු ඒ හැම තැනකින්ම  වින්දනයක් ලැබුවා.ඒ කාලේ නරක වැඩ කිසිවක් තිබුන කෙනෙක් නෙවෙයි මම සහ අපි. ගෙදර ඉඳලා 30Km දුර තිබ්බත් අපි යන්න පුරුදු වෙලා තිබුනා. ඒ හැම දවසකම අපි ගියේ අමාරුවෙන් හොයාගත්තු සල්ලි කියක් හරි එකතු කරගෙන ප්‍රෙට්‍රල් බෝතලයක් පුරවා ගෙන.අපිත් එක්ක ඉඳපු බස් අජිත්ගේ මල්ලි නිශාන්ත ගේ බයිසිකලෙන්. පොඩි වුන් වෙච්ච  අපේ ශරීර කුඩුව ඒ හැටි ලොකුත් නැහැ. පහසුවෙන් තුන්දෙනෙක් එක බයිසිකලේ යන්නත් පුළුවන් හෙල්මට් අවශ්‍ය ලියකිවිලි කිසිවක් නැහැ. එත් ඒ කාලේ තිබුන නීතියේ නිදහස් බවේ ප්‍රයෝජනය හොඳට ගත්තා.ප්‍රධාන පාරේ තියෙන පොලිස් ස්ථාන හෙල්මට් නැතුව තුන්දෙනක් එක්ක වයස 18 අඩු අපි පහුකරගෙන යන්නේ වාසනාව උරගාබැලිම වගේ.අපි වාසනාවන්තයි කවදාවත් අපි පොලිසියෙන් නැවැත්තුවේ නැහැ ඒ පාරෙන්ම අපි ආයෙත් ආවත් පොලිසියේ ඉදිරිපිට ඉන්න දෙදෙනා හොඳට නිදි දර්ශන තමා අපි හැම දාම දැක්කේ.

අපි 7 -8   වසරේ වගේ කාලේ කොහේ හෝ ගිහින් එද්දී මේ විදියට පොලිසියක් පහු කරන යද්දී පොලිසියට "හූ" කියල පොලිසියේ ආරක්ෂාවට ඉන්න නිලදාරීන් අවදිකරන භයන්කාර සෙල්ලම ආසාවෙන් කලේ.අපි ඒ කාලේ ෆුට්සයිකල් පැදගෙන ඕන දුරක් ගියා. වටේ පිටේ කසිප්පු තිප්පොළවල් වලින් අරගත්තු කසිප්පු බැරල් පොලිසියේ ගොඩ ගහල තියන්නේ. දවසක් නිශාන්තයි,මම තව දෙදෙනෙකුයි  රෑ ගිහින් එද්දී මේ බැරල් වලට  කළු ගලක් ගහල වේගයෙන් බයිසිකලේ පැද්දා එත් අවාසනාවකට නිශාන්තගේ රබර් සෙරෙප්පුව පාරේ හැලුනා. නමුත් ඕනවට වඩා එඩිතරයා මෝඩයා කියනවා වගේ ආයෙත් හැරිලා ගිහිං සෙරෙප්පුව අරගෙන අපි හිටපු තැනටම  ආවා.ඒ එද්දිත් තව ගලක් ගැහුවලු.(අපි නිශාන්තගේ හැටි දන්නවා ) 

එදා ඉතිං අපි 5 දෙනෙක් බයිසිකල් 2 න් යන්න සුදානම් වුනේ කානිවල් එකක් බලන්න. කලින් කිවුවා වගේ අවධානම අරගෙන අපි ගියේ හැම දෙයටම වඩා කානිවල් එකේ විනෝදය වැඩි නිසා. හැම බාධකයක්ම ජය අරගෙන අපි කානිවල් භූමියට ආවා.ඇතුල් වීම නොමිලේ. මුදල් නොගෙවා බලන්න තිබුනේ වෙළඳ කුටි විතරයි. මෙලිගෝ රවුම්,කතුරු ඔන්චිල්ලා  හැම දෙයක්ම ඉතින් සල්ලි සල්ලි වලින් තමා. කතුරු ඔන්චිල්ලාවේ යන වුන්ගේ කෑගැහිල්ල හරියට අපිට දැනුනේ අපිට "කෝචෝක්" කරන වගේ. තෙල් නැතිව කැරකෙන ඔන්චිල්ලාවේ "චිරි" "චිරි" සද්දේ අපිට ඇහුනේ "වරෙන් වරෙන් පලයන් රවුමක්"  කියන්නා වගේ.අපි යනවයි කියපු දානේ ගෙදරට අරන් යන්න සීනි ගන්න සල්ලි විතරයි ගෙදරින් දෙන්නේ. ඒකෙන් පෙට්‍රල් ගහගෙන ආවේ. අපි කවදාවත් මේවා පැද්දේ නැහැ.ලඟින් ගිහින් ඈතට වෙලා බලන් හිටියා විතරයි. විශාල පිට්ටනියක් නිසා ඇවිදින්න හොඳට ඉඩ තිබුනා අපි ඇවිද්දා ඈතින් ඇහෙන "චිරි චිරි" සද්දෙත් සංගීත සංදර්ශනේ වාදනයත් විඳ ගෙන අපි කොත්තු කඩ අයිස්ක්‍රීම් කඩ පහුකරගෙන යද්දී පිටනියේ එහා කොනට වෙනකන් අපි ඇවිත් තිබුනා. රාත්‍රී 2 විතර වෙලා නිසා වැඩිය සෙනගත් පේන්නත් නැහැ. 

ටිකක් කළුවර වැඩි ගස් කොලන් වලින් වට වුන තැනක ටකරන් වලින් වටේට ආවරණ කරපු තැනකට අපි ඇවිල්ල තිබුනේ.වැඩි ආලෝකයක් නැහැ, වැඩි සෙනගක් පේන්නත් නැහැ,ටිකක් පාළුයි වගේ තැනක්.ඒත් එය ඇතුලේ මිනිසුන් එකා දෙන්න එහාට මෙහා යනවා පේනවා.තව ටිකක් ලංවෙලා බලද්දී  දොරටුවේ අයිනේ තිබුන බෝර්ඩ් එක දැක්කාම අපි කාගේත් ආසාව වැඩි වුනා. "සිංහ උයන"  ඇතැම් කානිවල්වල සත්තු පෙන්වනවා මම අහල තිබුනා.අපි දැකල තිබුනේ පුහුණු  කරපු අපිට හුරු පුරුදු සතුන් විතරයි.එත් සිංහයෝ දැකලා නැහැ. පොඩි කාලේ අහුන්ගල්ලේ සත්තුවත්ත බලන්න ඉස්කෝලෙන් එක්ක ගිය වෙලේ අපිට බලන්න ලැබුනේ හරි පොඩි වෙලාවයි ඒකත් පෝලිමේ ගිහිං. සිංහ පැටවූ හරි හුරතල්. "බූල් දිග ලොකු පුසෝ" වගේ.අපිත් එක්ක හිටපු දෙන්නේක් "පොඩිවුන්ගේ ආශාවල් බං" කියල වෙන පැත්තකට ගියා. ඒත් අපි තුන්දෙනා මේ අදහසට ගොඩාක් කැමැත්තෙන් හිටියේ.වටේ පිටේ ටිකට් ගන්න කෙනෙක් හිටියෙත් නැහැ.අපි දන්නවා මේ වගේ තැන් වල ඇත්තේ හිලෑ කරපු සිංහයෝ හරියට අහුංගල්ලේ වගේ. ටකරං ආවරණේයෙන් උයනට ඇතුළු උනා. අපි හෙමින් හෙමින් අඩිය තිබ්බේ.. ගස් අස්සේ ඉඳල කොයි වෙලේ අපේ ඇඟට පනිවිද දන්නේ නැති නිසා.පොඩි පැටවුනම් කකුල් හූරනවා. ඒක තමා ඉවසන්නම බැරි.මේ සත්තුත්  බළල් පවුලේ නිසා කොයි පැටියත් එකයි.. තුන් දෙනාට තුන් දෙනා බයෙන් තව ඇතුලට ගියා.


                                            අපි එදා බයෙන් බයෙන් ඇවිද්දේ මේ වගේ.

ගහක් යට එක මිනිහෙක් ගහට හේත්තුවෙලා ඉන්නවා දක්කමනම් ටිකක් අමුතු  බයක් දැනුනා.ඒත් පෙනුන විදියට කරදරයක් වෙලා නැහැ.හෙමින් අපි එතනට කිට්ටු කලාම දැක්කේ.ගහට හේත්තුවෙලා නිදි කියල.පව් දවල් දවසෙම මහන්සියට වෙන්න ඇති.ඇඳුම් එහෙම එහෙ මෙහෙ වෙලා තිබුනෙත්.එක්කෙනා  දෙන්නා ඒ විදියට ගස් යට පොඩි පොඩි මේස තියාගෙනත් ඒවාට ඔළුව තියාගෙනත් නිදි.එත් අපි එක සිංහයෙක්වත් සිංහයෝ දාල තියෙන කුඩුවක්වත් දැක්කේ නැහැ තවම .සර්කස් කාරයෝ වගේ ඇඳන් ඉන්න කිසි කෙනෙක් දැක්කෙත් නැහැ.අපි ගස් අස්සේ වට පිටාව  බල බල බයෙන් බයෙන් ආපු අපි ඔළුව උස්සල ටිකක් දුර බැලුවා. එතකොට අපිට තේරුනා අපිට වෙච්ච දේ. කළු පාට බෝර්ඩ් එකක කහා පාටින් "LION" කියල ගහල තිනුනා. ගස් යට වැටිලා ඉඳල තියෙන්නේ හොඳට ලයන් ලාගර්  බියර් බීපු සෙට් එකක්.ඒ සිදු වීමෙන් පස්සේ අපිට ආයෙත් ගමේ කලිසමක් ඇඳන් යන්න බැරි තත්වයක් ඇති වුනා.


ස්තුතිය සිත්තර තිලිණිට.

15 Nov 2012

වසරක අවසානේ.


                                     එදා සිට අද දක්වා මාව Follow කරපු යාළුවො.

                      මිට  හරියටම අවුරුද්දකට කලින් (නොවැම්බර් 13) පැය 13 ක වැඩ මුරයක් තිබියදී වැඩ තිබුනේ උදේ පැයකුත් හවස පැයකුත් විතරයි. උදෙත් හවසත් අතර කාලේ කරන්න වැඩ නැතුව අන්තර් ජාලයේ ඔහේ මෙහෙ ඇවිද ඇවිද  ඉද්දි හදිස්සියේම හම්බ වුනා ලස්සන කතා ලියපු ජිවිත අත්දැකීම් ලස්සනට ගොතපු "සිංහල සයිට් එකක්". එකේ තිබුනේ “හිස් අහස” කියලා. ටික දවසකින් දැනගත්තා ඒ “බ්ලොග් සයිට් එකක් විත්තිය”  එහෙම කියෝලා කියෝලා යද්දී හදිස්සියෙන්ම තව එකක් දැක්කා තැඹිලි පාට පසුබිමක තියෙන තවත් පාසල් කතා ලියන බ්ලොග් එකක්.(දැන් පාට වෙනස්) ඒක ලියන්නේ" සෑම් කියලා එකෙක්". තව තව ඒවා කියව කියව යද්දී  මටත් හිතුනා හැමෝම කරන නිසා මටත් බ්ලොග් එකක් අටවා ගන්න. කොහොම හරි  හිස් අහසේ අයිතිකාරයා සඳරුගේ උපකාරය ඇතිව බ්ලොග් එකක් අටවා ගන්න පුළුවන් වුනා. ඇස් රිදෙනකම්,ඔළුව කකියනකම්ම ගොඩාක් දෙනෙක් ගේ බ්ලොග් කියෙවුවා.කමෙන්ට් කළා. වෙලාවක් ලැබුන ගමන් මගේ ජිවිතේ කාටවත් නොකියපු සිද්දිත් ලිවුවා.

පරණ බ්ලොග් කරුවන්ගේ පොස්ට් වලට කමෙන්ට් එකසිය ගණන් වැටෙද්දී මාසයක්වත් නැති බ්ලොග් එකක් වන මගේ එකටත් ඒ වගේ කමෙන්ට් බලාපොරොත්තු වුනා තිබුන ලාමක කමට. හිතේ වේදනාවට කවි වලින් පොස්ට් එකක් දැම්මා.මේ තියෙන්නේ දුකහිතිලා මම දාපු පොස්ට් එක.එකෙන් පස්සේ මගේ ඒ තිබුන ලාමක ආසාව එහෙම්මම නැති වෙලා ගියා.ප්‍රාර්ථනා තමා සින්ඩි ගැන කියල දුන්නේ. අළුත් හැම දෙනාටම මේ තත්වය තමා මුලින්ම තිබිල තියෙන්නේ. ඒ පරණ බ්ලොග් කරුවන්ගේ උපදෙස්  ඉස්මුදුනින්ම පිළිගත්තා. කාලයක් යද්දී එයාලගේ උපදෙස් නිසා මගේ  බ්ලොග් එක සාමාන්‍ය තරමට  ජනප්‍රිය වුනා.සිංහල ටයිප් කරන ලේසි විදියක් "වර්ණා මන්දාකිනි" කියල දුන්නයින් පස්සේ පරංගියා කෝට්ටේ යන විදියේ සිංහල ටයිප් කිරීම නැවැත්තුවා.ටිකෙන් ටික සාර්ථක වෙද්දී මගේ මුල් පොස්ට් දහයට හා මුල ඉඳලම උදවු කරපු හැමෝම වෙනුවෙන් ටිකක් වෙනස් විදියේ ස්තුතියි පොස්ට් එකක් දැම්මා."බ්ලොග් කරුවන්ගේ පැටිකිරිය" කියලා.මේ තියෙන්නේ ඒක ඒවා මඩක් කියලත් කිවුවා. පායන කාලෙක ලියපු දෙයක් නිසා මම ඒ කතාව තවමත් පිලි ගන්නේ නැහැ.

පාසල් කාලේ හා  අනෙකුත් කතා හැම දාම ලිය ලිය ඉද්දි  ලංකාවේ  මිනිස්සුන් අඩුවෙන් යන අප්‍රිකාවේ රට වල හා ඒ ඒ සංස්කෘතිය ගැන  ලියන්න  මාව  උනන්දු කලේ ප්‍රහාරයේ සුමිත්, කුරුන්දේ සෙන්නාත්,හා ඉතාලි ඩිලානුත්. ලෝකේ අංක එකේ දුප්පත් රට වන කොංගෝවේ මම හිටපු කාලේ ලබපු අත්දැකීම් හා ඒ රටේ සංස්කෘතික දේවල් ලියන්න මටත් ආසාවක් ඇති වුනා.වෙනස් වෙනස් දේවල් තවත් කෙනෙකුට පොඩි හෝ අධ්‍යාපනික දෙයක් ලබා දෙන්න හැකි වුනා කියල හිතනවා ඒ වෙනසින්. ඒ වෙනස ඇති කරන්න ප්‍රධාන වශයෙන් උනන්දු කරපු ඔවුන් තිදෙනාට නැවතත් ස්තුතියි.

මම ලියපු පොස්ට් එකක් ඇගයීමට ලක්වුණා පළමු අවස්තාව තමා ඔස්ට්‍රලියාවේ සිට ක්‍රියාත්මක වන "කැඩපත" මාසික සඟරාවේ මම ලියපු “පාසල්ගමන එපා කරපු ගුරුතුමියගේ උණුවතුර බෝතලේ”පොස්ට් එක එම සඟරාවේ පලවිම. ප්‍රධාන කතුවරයා කියපු විදියට ඔහුටත් එම පොස්ට් එකට විශාල ප්‍රතිචාර ලැබිල තියෙනවා. ඔහුගේ පැත්තෙන් ඒ කරපු උදව්ව මට ලැබුන විශාල සම්මානයක්. තව " ශ්‍රී ලංකා යුත්" වෙබ් අඩවියේ මගේ ලිපි තුනක් පල වුනා සිඟන්නෙක් සමඟ රැයක්   කඩු නැති කටු ගේ  සහා අප්‍රිකානු ගුරුකම්.  .










බ්ලොග් ලිවීමෙන් සිරා බොක්කවල් තියෙන යාලුවෝ ගොඩ  දෙනෙකුත් අඳුර ගන්න ලැබුනා.පසු කාලේලේ තව තවත් අළුත් යාළුවො අඳුර ගන්න පුළුවන් වුනා. ඒ කාලේ ඉඳම කියවීමට කම්මැලි කෙනෙක් වුන මං කියවීමටත් කවියක් රස විඳීමටත් පටන් ගත්තේ මේ බ්ලොග් හරහා. ඔෆිසියේ අයිස් යුගය ඉවර වෙලා වැඩ කරන යුගය පැමිනිලා තියෙන මේ කාලේ.පහුගිය මාස තුනටම මම ලිවුවේ එක පොස්ට් එකක් විතරයි.කියෙවුවෙත් අතරින් පතර. එත් මම ලියපු අන්තිම පොස්ට් එකටත් මාව අමතක නොකර කලින් හිටපු බ්ලොග් කරුවෝ සියල්ලම මගේ බ්ලොග් එකට පැමිණීම ගැන මට ගොඩාක් සතුටුයි. එදා ඉඳල මාත් එක්ක හිටපු ඒ හැම දෙනාටම ස්තුතියි. නම් වශයෙන් කියන්න යන්නේ නැහැ එකක් හෝ මග අරුනොත් තව කෙනෙකුට දුක හිතෙන නිසා. මගේ පලවෙනි අවුරුද්දේ මාත් එක්ක හිටියා වගේ ඉදිරියේදීත් මාත් සමඟ රැදෙන්න. ඔබල සියලු දෙනාටම ස්තුතියි.

"ස්තුතිය සිත්තර තිලිණිට".

31 Oct 2012

"එරල් මුහුද". Aral Sea.




                          "එරල් මුහුද" මෙය පිහිට ඇත්තේ මධ්‍යම ආසියාවේය.රතු මුහුද,මල මුහුද, කළු මුහුද තරම්ම විශාල නැති එහෙත් නැව් ගමනාගමනය වන  විශාල ධිවර කර්මාන්තයක් තිබුන මුහුදකි.  උතුරින් කස්කස්ථානයටත් දකුණින් උස්බෙකිස්ථානයටත් මායින්ව පිහිට ඇත. එරල් මුහුදේ තේරුම නම් "ගොඩබිමේ මුහුද" යන්නයි.මෙය මුහුදක් ලෙස හැඳින් වුවාත් එය ලෝකයේ හතර වන විශාලතම "විල"මෙයයි. එහි විශාලත්වය වර්ග කිලෝ මීටර 68,000ක්.එහි  උපරිම  ගැඹුර මීටර් 68ක්. ගැඹුරේ සාමාන්‍යක් ලෙස ගතහොත්  මීටර් 16. දුපත්  1,534 වඩා  ප්‍රමාණයක් වටා ඇති මෙහි ජලයේ ලුණු සාන්ද්‍රණය 1%..  මෙහි ප්‍රධාන ජාල පෝෂකය වන්නේ "අමු දර්ය" සහ "සයීර් දර්ය" යන ගංගාවල් දෙකෙනි. එම  ගංගාවල් දෙකෙන් ලැබෙන පිරිසිදු ජලය නිසා ලවන ගතිය අඩුවීමට  එයත් එක් හේතුවකි.

                                                      1985දි.



         රුසියානුවන් මුලින්ම දියත් කල යුද නැව්

රුසියානුවන්ට අයත්ව තිබුන මෙම මුහුදට මුලින්ම යුද නැවක් යාත්‍රා කලේ 1847 තරම් ඈත අතීතයේ සිටයි. පසුව රුසියාවෙන් වෙන්වීමත් සමග එහි අයිතිය කස්කස්ථානයටත් උස්බෙකිස්ථානයටත් හිමිවිය. අඩි 100ක් තරම් දිග මගී නැව් පවා මෙහි ගමන් කර තිබේ. 1960 දශකයේ එවකට සෝවියට් සමුහ ආණ්ඩුව අනාගතයේ ආහාර අවශ්‍යතා වෙනුවෙන් කුඹුරු අස්වැද්දීමටත් "කපු" නිෂ්පාදයටත්  එරල් මුහුදට පෝෂණය දෙන ගංගාවල් දෙක ප්‍රයෝජනයට ගෙන තිබේ. දැනට ලෝකයේ අංක එකේ කපු නිෂ්පාදකයා වන්නෙත් උස්බෙකිස්ථානයයි. ගංගාවල් දෙක හරස් කරමින් වැඩි ජල  ප්‍රමාණයක් ගොවිතැනටත් කපු නිෂ්පාදනයටත්  ලබාගැනීම නිසා දැන් එම  මුහුද ඉතා වේගයෙන් සිඳී යාමට පටන් ගෙන ඇත. පසුගිය අවුරුදු 10 ඇතුලත ධීවරයන් 82,900 පමණ ප්‍රමාණයක් ඉන් ඉවත් වී තිබෙනවා.


                                          1960 සිට 2010 දක්කවා වෙනස් වීම.


1985  සහ 2010 

                                                  2012 දී.

                                   කෙමෙන් කෙමෙන් ජලය සිඳී යෑම.

1960 එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසු ගංගාවල් දෙක බෙදීමෙන් වසරකට පසු කියුබික් කිලෝමීටර් 20-60 අතර ප්‍රමාණයක් මුහුදට එකතු වීම අඩු විය.ජල මට්ටම අඩුවීම ආරම්භ  වන්නේ 1961 සිටය. 1961 සිට 1970 දක්කව සෑම වසරකම සෙන්ටි මීටර් 20ක පමණ සාමාන්‍යකින් අඩු විය.1970-1980 කාලය තුල සෙන්ටි මීටර් 50-60 ප්‍රමාණයකින් ද 1960 සිට 2000 දක්වා සෙන්ටි මිටෙර් 80-90 සාමන්‍යකින් පහත වැටි ඇත .එයට හේතුව වී ඇත්තේ කපු නිෂ්පාදනය දෙගුණ කර ඇති බැවිනි. 1960 සිට 1998 දක්කවා සම්පුර්ණ මුහුදෙන් 60% දක්කවා අඩු වී ඇත. 1960 දී විශාලත්වය වර්ග කිලෝමීටර 68,000ක්.එහෙත්  1998 වෙද්දී එය වර්ග කිලෝමීටර්  28,687 දක්වා පහත වැටි ඇත.කෙමෙන් කෙමෙන්  ජල මට්ටම සිඳී යෑමෙන් 2007 වෙද්දී  මුහුදේ ජල මට්ටම 90% සිඳී ගොස් ඇත. දැනට එය වර්ග කිලෝමීටර් 9,000 ආසන්න ප්‍රමාණයකට සීමාවී ඇත.තවත් වසර 20න් පසු සම්පුර්ණයෙන්ම සිඳී ගිය කිසිම වැඩකට ගත නොහැකි  වැලි වලින් පිරුන කාන්තාරයක් ඉතිරිවනු ඇත.

ධිවර යාත්‍රා.

 විශාල නැව්.



ජලය සිඳී යාම නිසා සිර වුනු නැවක්.










එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය මේ වන විට මෙයට යොමුවී ඇති අතර අනිකුත් පරිසර සංවිධානද "එරල් මුහුද" රැක ගැනීමට උත්සහ දරමින් සිටියි. සිඳී ගිය මුහුදේ කිසිදු වගා කටයුත්තක් සාර්ථක නොවන්නේ පොළොවේ ඇති ලවන ගතිය නිසයි.ධිවර කර්මාන්තයෙන්  ජිවත් වූ ධිවර පවුල් වෙනුවෙන් එම පසේ ඇති ලවන ගතිය රසායන ද්‍රව්‍ය මගින් ඉවත් කිරීමට ගත් උත්සාහයද සාර්ථක වීනොමැත. නුදුරු අනාගතයේ සංචාරක කර්මාන්තය දියුණුව නිසා ලංකාවේ වැව් වලටද මේ ඉරණම අත්වීමට ඉඩ ඇත.


සැයු:  නිවාඩුවට ගිහින් ආවයින් පසු මේ ලියන පලවෙනි පොස්ට් එක මාස දෙකක් තිස්සේ මොකවත් කරගන්න බැරි වුනා. ආයතනය ලොකු වෙලා වැඩ වැඩි වෙලා කාලය නැතිවීම නිසා ගොඩක් බ්ලොග් මග ඇරිලා ගියා.ආයෙත් ලියන්න කියල මාව දිරිමත් කරපු හැම දෙනාටම ස්තුතියි. ලියවිල්ලේ රිත්මය ටිකක් වෙනස් වෙලා වගේ දැනුනත් ආයෙත් සුපුරුදු බ්ලොග් ජිවිතයට හැකි හැම වෙලේම එනවා. එහෙනම් ආයෙත් පටාන් ගත්තා.
Related Posts Plugin for WordPress, Blogger...